[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැත්තෑපස් වන ජන්ම දිනය සමරන රද්දොළුවේ විමලවංශ අනු නා හිමි

හැත්තෑපස් වන ජන්ම දිනය සමරන රද්දොළුවේ විමලවංශ අනු නා හිමි


ලොව විවිධ රටවලට වරින්වර වැඩම කරමින් ආගමික කටයුතු සඳහා සහභාගි වූ උන්වහන්සේ නැවත මෙරටට වැඩමවා රද්දොළුව ශ්‍රී සුබෝධාරාමයේ අභිවෘද්ධිය සඳහා උදාර මෙහෙවරක නිරත ව වැඩ සිටිති.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක සීදූව රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරාධිපති රද්දොළුවේ විමලවංශ අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 75 වන ජන්ම දිනය මෙම මස 18 වන දාට යෙදී ඇත.

රද්දොළුවේ පාරම්පරික වෛද්‍යවරයෙකු වූ පී. සලමන් පෙරේරා සහ ටී. ජෙනී චාලට් පීරිස් දම්පතින්ගේ පුත්රුවනක් ලෙස 1945 ජනවාරි 18 වන දා උපත ලද පින්වත් කුමරු නිසි වියේ දී රද්දොළුවේ පඤ්ඤානන්ද පාසලට ඇතුළත් කරන ලදී. පස්වන ශ්‍රේණිය දක්වා එහි අධ්‍යාපනය ලබා අනතුරුව මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා එහිදී අධ්‍යාපනය ලැබී ය.

මව්පිය ආශීර්වාදයෙන් 1964 මාර්තු 12 වන දා රද්දොළුව අභිනවාරාමයේ දී (ශ්‍රී අමර විහාරය) එම කුමරුවා සසුන් කෙතට ඇතුළත් විය. රද්දොළුවේ අරියවංශ නාහිමියන්ගේ සහ රද්දොළුවේ අමරවංශ නාහිමියන්ගේ ද ආචාර්යත්වයෙන් එසේ පැවිදි බිමට පත් වූ අතර, මූලික අධ්‍යාපනය සිය ආචාර්යවරුන් වෙතින් ලබා අනතුරුව පානදුර රන්කොත් මහා විහාරස්ථ සෞගත විද්‍යාලයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ.

අම්බලන්ගොඩ සිරි සුනන්දාරාමස්ථ මාදම්පාමෝදර උදකුක්ඛෙප සීමා මාලකයේ දී 1967 ජූනි 21 වන දා අධි සිල් ලැබූහ. එම රන්කොත් විහාරස්ථ පිරිවෙනෙහි ඉංගී‍්‍රසි විෂය පිළිබඳ ආචාර්ය ධූරයකට 1970 දී පත් වූ රද්දොළුවේ විමලවංශ හාමුදුරුවෝ මීරිගම ඉංගී‍්‍රසි ගුරු අභ්‍යාස විදුහලෙන් දෙවසරක පුහුණුව ලැබූහ.

අනතුරුව 1983 සිට දොරණාගොඩ සදානන්ද මහ පිරිවෙන්හි වසර නවයක් පුරා සේවය කළ අතර, හීනටියන පොත්ගුල් විහාරස්ථ ධර්මදූත පිරිවෙණහි ද ආචාර්යවරයෙකු ලෙස සේවය කළහ.

එවකට පැවැති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බලගල්ල ආයතනයේ ඉංගී‍්‍රසි විෂයය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළහ.

1996 දී පමණ විදේශ ධර්ම දූත මෙහෙවර සඳහා වැඩම කළ රද්දොළුවේ විමලවංශ හාමුදුරුවෝ ජර්මනියේ බොන් විහාරයේ වැඩවසමින් ආගමික කටයුතු මෙහෙය වූහ. අනතුරුව උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඉතාලියේ කතානියාහි සිසිලි විහාරය ආරම්භ කිරීමට ද පුරෝගාමී ව ක්‍රියා කළහ. ලොව විවිධ රටවලට වරින්වර වැඩම කරමින් ආගමික කටයුතු සඳහා සහභාගි වූ උන්වහන්සේ නැවත මෙරටට වැඩමවා රද්දොළුව ශ්‍රී සුබෝධාරාමයේ අභිවෘද්ධිය සඳහා උදාර මෙහෙවරක නිරත ව වැඩ සිටිති. 2005 වසරේ දී ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද පිරිවෙන ආරම්භ කළ අතර, එමඟින් සාමණේර හිමිවරුන් රැසකට අධ්‍යාපනය ලබා දෙමින් උන්වහන්සේලා

ගුණ නුවණින් ද පෝෂණය කිරීමට මහඟු මෙහෙවරක් සලසන හෙයින් ශ්‍රී ධම්මානන්ද පිරිවෙන මහ පිරිවෙනක් බවට ද පත් කෙරේ.

අමරපුර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ධූරයට පත් වූ රද්දොළුවේ විමලවංශ හාමුදුරුවෝ එමගින් ශාසනාභිවෘද්ධිය පතා සුවිසල් මෙහෙවරක් සිදු කරමින් එම පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය රද්දොළුවේ දී සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර වූහ. සිය දායක කාරකාදීන්ගේ ශ්‍රද්ධාව වර්ධනයට ද, එය මෙහෙයවමින් ඒ සඳහා ප්‍රත්‍ය පහසුකම්ද සැපයීම සඳහා කාරුණික වූහ. 2015 දී එම පාර්ශ්වයේ අධිකරණ නායක ධූරයෙන් ද පිදුම් ලද රද්දොළුවේ විමලවංශ නායක හාමුදුරුවෝ ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ ජාතික, ආගමික, සාමාජික, ශාසනික සුවිසල් මෙහෙවරක නිරතව වැඩ සිටිති.

රද්දොළුව බෞද්ධ මහා සංගමයේ අනුශාසක ධූරය ඇතුළු ප්‍රදේශයේ සමිති සමාගම් රැසක විවිධ නිලතල දරමින් මහඟු මෙහෙවරක් සිදු කරනු ලැබේ.

රද්දොළුවේ විමලවංශ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට චිර ජීවනය පතා සුබෝධාරාම මහා විහාරයේ දී මෙම 18 වන දා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ. උන්වහන්සේට චිර ජීවනය සැලසේවා.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]