[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වී වදාළ රත්කැරැව්වේ විමලධම්ම නාහිමි

අපවත්වී වදාළ රත්කැරැව්වේ විමලධම්ම නාහිමි

" උන්වහන්සේ අනතිමානී, මුදු බවෙන් යුත් මහා තෙරනමක් ලෙස ප්‍රකට වූ හ."

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට විශේෂයෙන් ම පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් දිගු කලක් පුරා සිදුකොට අති මහත් යශෝරාවයක් ලැබූ දුර්ලභ ගණයේ සංඝ පීතෘ වරයෙකි, රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්යය ත්‍රිපිටකාචාර්ය, මහෝපාධ්‍ය රත්කැරැව්වේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ උදාරතර ජීවන චරිතය ඕනෑම භික්ෂූන් වහන්සේ නමකට ආදර්ශයට ගත හැකි අපිස් බවෙන් පරිපූර්ණ බව ඒ අසමසම චරිතය දෙස මැනවින් බැලීමේ දී පෙනේ.

1926 මාර්තු මාසයේ 07 දින කුරුණෑගල, රත්කරව්ව ගම් පියසේ පින්වත් මාපිය යුවළකට දාව උපන් විමලධර්ම දරුවා උඩබද්දාව සුදර්ශන මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටියදී 1938 දී ජූලි මස 02 දින වල්පොල සුමනසාර, වල්පොල පියරතන, මහකෙළියේ සුමන යන හිමිවරුන් ගුරු කොට ගෙන රත්කැරැව්වේ විමලධම්ම යන නමින් සසුන්ගත වූහ. අනතුරුව පාරිවෙණික අධ්‍යාපනයට යොමුවූ විමලධම්ම සාමණේර හිමියෝ ඉගෙනුම් මාවතේ පියවර පහසුවෙන් තබමින් අති දක්ෂ ලෙස විභාග කඩඉම් පසු කරමින් පෙරට ගමන් කළහ. මුල් කාලයේ ගමනා ගමන පහසුකම් අසීරු වූ දිනවල පන්සලේ සිට කිලෝ මීටර් 14 ක් දුරින් පිහිටි කුරුණෑගල නගරයේ මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙන වෙත පා ගමනින් වැඩම කළහ. එසේම උගත මනා පත පොත අපහසුවෙන් සපයා ගනිමින් කුරුණෑගල ඇතුගල මස්තකයේ ඉබ්බාවල විහාරයට දවසට දෙවරක් ඇතුගල තරණය කළහ. ගුරු සිත් නොරිදවමින් මහත් බැතියෙන් යුතු ව උසස්ම සහතික උපාධි රැසක් අපහසුවෙන් තොරව හිමි කරගත් උන්වහන්සේ 1946 ජූලි 05 දින උපසපන් භික්ෂුවක් ලෙස සසුන් කෙත වැඩ වැඩීමේ කාර්ය භාරයට යොමු වූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පින් බිමෙහි වැඩ සිටි අති පූජ්‍ය පණ්ඩිත කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමි, සාහිත චක්‍රවර්ති සාරභෞම පණ්ඩිත යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමි, මහාචාර්ය කොටනෙලුවේ චන්දජෝති නා හිමි ආදි විශ්වකීර්තිධර මහා යත්‍රීන්ද්‍රයන් වහන්සේ ඇසුරු කරමින් සිංහල, පාලි, සංස්කෘත, හින්දි , දෙමළ, ආදී භාෂාවන්හි ප්‍රමානික දැනුමක් ලබාගත් අතර පාලි, සංස්කෘත නිබන්ධන සඳහා පසු කාලීන ව මෙරට වැඩසිටි අතලොස්සක් පඬිවරුන් අතරට රත්කැරැව්වේ විමලධම්ම හිමිපාණන් වහන්සේ ඇතුළත් වීම ද මහකෙළිය ගමේ කොළෑගල පන්සලට විශ්ව කීර්තිරාවයක් ම විය.පුරා වසර 31 අධ්‍යාපන සේවයේ නිරත උන්වහන්සේ තවත් වසර 25 ක් විද්‍යාලංකාර මහා පිරිවෙනේ ප්‍රමුඛාචාර්යවරයකු ව කටයුතු කරමින් ශිෂ්‍ය පුත්‍රයන් දහස් ගණනකට ගුරු දෙව් බවට පත්වූහ. එසේම කෙතරම් කටයුතු තිබුණත් ගොදුරු ගම් ගණනාවක, විහාරස්ථාන දෙකක සතර පේරුවේ විශාල දායක පිරිසකට දෙලොව වැඩ තකා උපකාර වූ උන්වහන්සේ දිවා රාත්‍රි නොබලා ශාස්ත්‍රීය සේවයතුළ කැපවූහ.

ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ කාරක සභික, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් විභාග ප්‍රධාන පරික්ෂක, විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විභාග පරීක්ෂක, ශබ්ද කෝෂයේ සංස්කාරක, මාණ්ඩලික ආදී තනතුරු හොබවමින් ගැඹුරු දහම් කරුණු සරල ව දේශනා කරමින්, කාගේත් බුහුමනට ලක්ව සිටියහ. 1984 මල්වතු මහා විහාරයෙන් පිරිනැමූ කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද පසුව ලද මහෝපාධ්‍ය තනතුර ද පිළිගත් උන්වහන්සේ අනතිමානී, මුදු බවෙන් යුත් මහා තෙරනමක් ලෙස ප්‍රකට වූ හ. ගිනිපෙන්දේ ධම්මරතන හිමි, කප්පාගොඩ පියරතන හිමි යන හිමිවරුන් උන්වහන්සේගේ ශිෂ්‍යවරුන් වෙති. කෙටි කලක් රෝගාතුර ව සිට 2014 දුරුතු පුන් පෝ දින අලුයම අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ගුණ සමරා සපිරිකර සංඝගත දක්ෂිණාවක් 14 දින කොළලෑගල විහාරස්ථානයේ දී පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]