[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඳුරට එළියක්- 08 : තුනුරුවන්ට ගෞරව කිරීම අප්‍රමාණ පිනක්

තුනුරුවන්ට ගෞරව කිරීම අප්‍රමාණ පිනක්

ඇමදීම යනු පිරිසුදුවට අතුපතු ගෑම යි. තම නිවස වුව ද පිරිසුදුවට තබා ගත යුතු යි. විහාරස්ථානය අපවිත්‍ර කරන්න හොඳ නැහැ. එය තුනුරුවන් වැඩ සිටිනා පොදු ස්ථානයක්. විහාරස්ථානයට ඇතුළුවෙන කොටම පිරිසුදුකම නිසා සිතේ පැහැදීමක් ඇති කරගත යුතු යි.

කුණු කසළ යම් තැනක තිබුණොත් එය සුදුසු තැනක දැමිය යුතු යි. අහක බලාගෙන නොයන්න. තමන් වුව ද විහාරස්ථ භූමිය තුළ කෙළ නොගැසිය යුතු යි. මූත්‍රා කරන්න එපා. කැළි කසළ , අපවිත්‍ර දේ දමන්නට එපා. විහාරස්ථානයේ පරමල් තිබේනම් ඉවතලා, මල් ආසන සෝදා පවිත්‍ර කර , හොඳින් අතු පතු ගා ඉවත් කර ගැනීම තමන්ට කරගන්නා දෙයක් වෙයි.

දෙඅත් පවිත්‍ර ව තබාගෙන විහාරස්ථානයේ ඇති මල් , මල් වට්ටි ආදිය පිළිවෙළට තබා හොඳින් වඳින්න පුරුදු වෙන්න. විහාරස්ථානය අපිරිසුදු නම්, පිරිසුදු කරන අදහසින් කටයුතු කළ යුතු යි. මිදුල ඇමදා දාගැබ්, බෝධිය හොඳින් පිරිසුදු කර ගත යුතු යි. අනවශ්‍ය තණකොළ ඉවත් කළ යුතු යි. වතුරු පිරුණු වලවල් ආදිය වසා දැමීම ද විශාල පින්කමක්.

තෙරුවන් වැඩ සිටිනා තැනක, ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ඥාන හොඳින් වැඩෙයි. වියදමක් නැතිව ම පහසුවෙන් කරගත යුතු පින්කමක්. ඇමදීමේ ප්‍රධාන අනුසස් කිහිපයකි. අපදාන පාලියේ සඳහන් සේ බුදුන් වහන්සේ ද දේශනා කර ඇති පරිදි උපදින , උපදින ජාතියේ අංග සම්පූර්ණ ජීවිතයක් ලැබෙනවා. උස මහතින් යුක්ත වෙනවා. ශරීරය වර්ණවත් වෙයි. සම සිනිඳු වෙයි. ජනප්‍රිය වෙයි. දීර්ඝායුෂ ලැබී සිරුර සවිමත් වෙයි. බොහෝ කලක් දුක් විඳිනා ජනයාට අප්‍රිය වන ලාදුරු, පරංගි , කඩුවේගම්, කැසිළි, පිළිකා , කුෂ්ට රෝග ආදිය සියල්ල ම ඉවත්ව යයි. හොඳ නිරෝගී කෙනෙක් වෙයි. සුදු කබර, වායු ගෙඩි, ඉනි ගැට, සුදු ලප, කලු ලප, කුරුළෑ , අළුහම්, තොල් අතුල් පතුල් පැලීම, සම ඉරි තැලීම, ආදී සමේ රෝග සියල්ල ඉවත්ව යයි. මේ ආනිසංස ටික ලැබෙන්නේ අතුපතු ගාන අයට යි.

මේ ආනිසංස ටික හොඳින් සිතට ගෙන, අතුගෑම හොඳින් පුරුදු කරන්න. පන්සලට විත් හොඳින් පිරිසුදු කරන්න. එසේම විහාර මළුව, විහාර ගෙය, බුදු මළුව, බෝධිය වටා, චෛත්‍ය මළුව, චෛත්‍ය වටා සියල්ල පිරිසුදු කරන්න. සැවොම එකතුව තින්ත ආලේප කරන්න. එසේම වළ ගොඩ සහිත තැන්වල වැලි අතුරන්න. මෙයින් ලැබෙන පින සීමාවක් කරන්නට බැහැ. අනන්ත ජාතිවල දී අප්‍රමාණ සැප සම්පත් ලබාදෙන පින්කමක්. තමන්ගේ ජීවිතයට සියලු කරදර, පීඩා සංසිඳුවා ගන්න පුළුවන්.

තුනුරුවන්ට උපස්ථාන කිරීම, ගෞරවය පුද කිරීම, භවාන්තරගත කර්ම රෝග පවා යට කර ගන්න පුළුවන්. එය එතරම්ම බලවත් පින්කමක්. මේ ගැන සිතා කල්පනාවෙන් විහාරස්ථාන පවිත්‍ර කරන්න. ස්ත්‍රීන්ට, පුරුෂයන්ට අපරාධ කිරීම්, අන්සතු දේ පැහැර ගැනීම්, නොයෙක් පව්කම් මඟින් කුෂ්ඨ රෝග හටගන්නා බවත්, කුෂ්ට රෝගියා මරණින් මතු බොහොම දුක් විඳින බවත්, සඳහන් වෙයි. ගුණවතුන්ට අපරාධ කිරීම් මඟින් කුෂ්ඨ රෝග හටගන්නා බව බුදු දහමේ සඳහන් වෙයි. කෙතරම් ප්‍රතිකාර කළත් සුව වන්නේ නැහැ. මෙවැනි පුද්ගලයෝ වෙහෙර විහාරස්ථාන හොඳින් පිරිසුදු කර, අතුපතු ගෑමෙන් තමන්ගේ රෝගාබාධ මදක් හෝ සුව කරගන්න පුළුවන්.

ඇමදීමෙන් කය පිරිසුදු වීම, පමණක් නොව, සිත පිරිසුදු කරගන්නට ද පුළුවන්. ඇමදීමෙන් කය වෙහෙසට පත්ව කයට ව්‍යායාමයක් වන අතර සිත ද පිරිසුදු වෙයි. මාගේ මේ ව්‍යායාමයෙන් විහාරස්ථානය පිරිසුදු වන්නාක් මෙන්, මගේ මේ සිතෙහි පවතින ලෝභ, ද්වේශ, මෝහ , මාන, දිට්ඨි, විචිකිච්ඡා, කෙලෙස් කසළින් මගේ සිත පිරිසුදු වේවා’ යන අදිටනින් චිත්ත පාරිශුද්ධියෙන් යුක්තව ම හොඳින් විහාරස්ථානය අතු පතු ගා දමන්න. එවිට නැවත නැවත, අපායේ උපදින්නේ නැතිව, චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වෙයි. වෙහෙර විහාරස්ථාන විනාශ කළොත්, ඒවා අවතක්සේරු කළොත්, අපිරිසුදු කළොත් කිසිම සම්පතක් නොලැබෙයි. අතුපතු ගාන විට මුලින් ම තමන්ගේ සිත පැහැදෙයි. අනුන්ගේ සිත් ද පැහැදෙයි. දෙවියෝ ද තම සිත සතුටු කරවයි. ප්‍රසාද ජනක ව තමන්ගේ පින් රැස්වන අතර , කය මරණින් මතු දෙව්ලොව යන බවට ප්‍රධාන අනුසස් පහක් වෙයි.

අනුසස් ගැන සිතාම පින් දහම් කර ගන්න. මේ අති උදාර පිනෙන් බුද්ධාදී උතුමන් නිවී සැනසුණු නිවන් පසක් වේවා.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]