[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රති උපකාර කර අවසන් කළ නොහැකි දෙදෙනෙකි

ප්‍රති උපකාර කර අවසන් කළ නොහැකි දෙදෙනෙකි

සැදැහැවතුන්ගේ පින් නමැති බිත්තර වැපිරීමට ඉතාමත් වටිනා පින් කුඹුරු හතරක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඒ තමයි බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ, මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ. මව්පිය උපස්ථානය බුද්ධ උපස්ථානයක් හා සමාන පින්කමක් බව මේ දේශනාවලින් පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා සිදුකළා පමණක් නොව, මව්පියන්ට සැලකීම ආදර්ශයෙන් පෙන්වා දුන්නා. ශාසනයේ පැවැත්ම හරි අඩක් ම අඩුවන බව දැනදැනත්, තම සුළු මව වන ප්‍රජාපති ගෝතමී තෙරණියට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා දුන්නා. එමෙන්ම තමා මෙලොවට ජනිත කළ මෑණියන් වන මාතෘ දිව්‍ය රාජයා වැඩ වෙසෙන දිව්‍ය ලෝකයට වැඩම කර අභිධර්ම පිටකයෙන් ධර්මය දේශනා කළා. එමෙන්ම ප්‍රජාපතී තෙරණීය වෙනුවෙන් ගාථා පන්සියයකින් එතුමියගේ ගුණ වර්ණනා කර පිරිනිවන් පෑමට යන මොහොතේ දී පසු ගමන් කළ බවත් වාර්තා වෙනවා. තම පියාණන් වන සුද්ධෝදන රජතුමාට සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන තත්ත්වයන්ට පත්වන තුරුම ධර්මය දේශනා කර සංසාරයෙන් නිදහස් කරවූවා. ඒ වගේම පිණ්ඩපාතය මගින් හෝ තමන්ගේ මව්පියන් පෝෂණය කිරීමට විනායානුකූල ව අවසර ලබා දුන්නා. මේ ආකාරයෙන් මව්පියන්ට සලකන්න ඉගැන්වූ ශාස්තෘවරයෙක් මුළු ලෝකයේ ම නැහැ.

ඒ වගේම පත්තකම්ම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. තමා උපයා ගන්නා ධනය පළමුවන කොටස තමන්ගේ පැවැත්ම වෙනුවෙන්ද, දෙවන කොටස මව්පියන් වෙනුවෙන් ද, තුන්වන කොටස අඹු දරුවන් වෙනුවෙන් ද, හතරවෙනි කොටස සේවක ආදී පිරිස වෙනුවෙන් ද, යොදවන්න. මේ හැම දේශනාවක දී ම ඉස්මතුකර පෙන්වන්නේ හැමදේටම කලින් මව්පියන්ට සැලකීමේ වැදගත්කම යි. අද අපට පෙනෙනවා මව්පියන් තඹ දොයිතුවකට මායිම් නොකරන දරුවෝ තමන්ගේ දරුවාට විදේශ රටක අධ්‍යාපනයක් ලබා දෙන්නට ලක්ෂ පනහක්, හැත්තෑ පහක් වියදම් කරනවා. නමුත් තමන්ගේ අම්ම, තාත්ත දඹදිව වන්දනාවේ යවන්න ලක්ෂ දෙකක්, තුනක් වියදම් කරන්නේ නැහැ. අම්මට, තාත්තට කන්න බොන්න, ඇඳුම් පැළඳුම් අරන් දෙන්නේ නැහැ. ඒ අයට සතුටින් ඉන්න අවස්ථාවක් සලසල දෙන්නේ නැහැ. ඇතැම් පුතාලා විවාහ වූ පසුව බිරිඳගේ වදන් අසා මව්පියන්ට වෙනස්කම් කරනවා. දූවරු විවාහ වූ පසුව ස්වාමියාගේ වදන් අසා මව්පියන්ට වෙනස්කම් කරනවා. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ මව්පියන් විසින් දරුවන්ට කුඩා කාලයේ දී ගුණධර්ම නිසිලෙස පුරුදු නොකිරීමයි. මේ තත්ත්වය අප තේරුම් ගත යුතුයි. යහපත් සමාජයක් බිහි කරන්නට නම් අප අනිවාර්යයෙන්ම මව්පියන්ට සැලකිය යුතු යි. අම්මට, තාත්තට සලකන සමාජයක් යනු යහපත් සමාජයක්.

අතීතයේ විසු රජ දරුවෝ පවා තම මව්පියන්ට නිසි ලෙස සැලකීම් කළා. මේ පිළිබඳ ඉතිහාසය විමර්ශනය කර බැලීමේ දී මහා වංශයේ දෙවන භාගයේ දී අපට එක චරිතයක් හමුවෙනවා. ඒ තරම් මව්පියන්ට සැලකූ වෙනත් රජ කෙනෙක් අපට සොයාගන්නට බැහැ. ඒ තමයි දෙවන අග්බෝ රජතුමා. එතුමා තමන්ගේ මෑණියන්ට උපස්ථාන කිරීමට බොහෝ වෙහෙසුණා.

එතුමා දිනපතා ම උදෑසන මවට උපස්ථාන කිරීමට යනවා. හිසේ තෙල් ගල්වලා, නියපොතු පිරිසුදුකර, ආදර ගෞරවයෙන් නහවා, සුව පහසු අලුත් වස්ත්‍ර අන්දවා, ඉවත්කරන ලද වස්ත්‍ර තමන්ගේ අතින්ම සෝදා එම වස්ත්‍ර සේදූ ජලය හිසට ඉහ ගන්නවා. ඉන්පසු දාගැබක් වන්දනා කරනවා මෙන් අම්මාට සුවඳමල් පූජා කරනවා. තුන්වරක් වන්දනා කර පැදකුණු කරනවා. මවගේ පිරිසටත් කැමති පරිදි වස්ත්‍ර ලබා දෙනවා. ඉන්පසු මෑණියන්ට ඉතා අනර්ඝ රාජ භෝජන තම අතින්ම කවනවා. මෑණියන් අනුභව කළ පසු ඉතිරි වූ භෝජන තමන් අනුභව කරනවා. එතුමියගේ පිරිසටත් උතුම් රාජ භෝජන ලබාදී ඇය වාසය කරන නිවස සුවඳමලින් සරසවනවා. අම්මාගේ යහන් ඇතිරිලි තම දෑතින් සකස් කර ඇයගේ පාද සෝදා සුවඳ තෙල් ගල්වනවා. මවගේ පාදයන් මොලොක් ලෙස සියතින් පිරිමැද නිදන්නට සලස්වනවා. නින්දගිය පසු ඇගේ යහන තුන්වරක් පැදකුණු කර මනාකොට වඳිනවා. දාසයන්, කම්කරුවන්, ආරක්ෂක භටයන් අම්මගේ රැකවරණයට යොදවනවා. අම්මාට පිටුපාන්නේ නැතිව, පසුපසට පියවර කිහිපයක් පැමිණ, නැවත තුන්වතාවක් වන්දනා කර සතුටු සිතින් රජමාලිගය කරා නික්ම යනවා. මෙන්න මේ ආකාරයටයි අම්මාට උපස්ථාන කළේ.

අතචපනපේතානං කාලකතානං දක්ඛිණං අනුපදස්සාමි.

මව්පියන් දරුවන්ට කළ උපකාරවලට ප්‍රතිඋපකාර කර අවසාන කරන්න බැහැ කියලා දුප්ප්‍රතිකාර සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම්කෙනෙක් එලෙස ප්‍රතිඋපකාර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කළ යුත්තේ ශ්‍රද්ධාව නැති මව්පියන් ශ්‍රද්ධාවේ පිහිටුවීමයි. දුස්සීල මව්පියන් සීලයේ පිහිටුවීමයි. ලෝභී මව්පියන් නිර්ලෝභී කිරීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

පසුගිය වසරවල අතපසු වූ කරුණු තේරුම්ගෙන මව්පියන්ගෙන් සමාව ඉල්ලා නව වසරේ දී ඔවුන්ට හොඳින් උපස්ථාන කර පින් රැස්කර ගැනීමට අදිටන් කරගත යුතු යි.

ඒ තුළින් මෙලොව පරලොව ජීවිත යහපත් කරගනිමු. සුගතිගාමී කරගනිමු. අවසානයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිමු. ඒ සඳහා වාසනාව උදාවේවා.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]