Print this Article


ගෝනදූවේ ගුණානන්ද හිමියෝ නායක පදවි ලබති

ගෝනදූවේ ගුණානන්ද හිමියෝ නායක පදවි ලබති

කළුතර වාද්දුව, කොරොස්දූව, පුරාණ වජිරකොත් මහා විහාරය සහ බණ්ඩාරගම, කිම්මන්තුඩාව, රද්දෙගොඩ දීපාරාම මහා විහාරය යන විහාරද්වයාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද හිමියන්වෙත "සිරිමහා විහාර වංසාලංකාර සද්ධර්ම වාගීස්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස " ගෞරව නාම සම්මුතිය සහිත ව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ජනාවරි 8 වෙනි දින මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයීය රාජ පූජිත මංගල උපෝසථාගාරයේ දී පැවැත්වීමට නියමිත ව තිබිණි. අභිනව නාහිමිපාණන් වහන්සේට උපහාර දැක්වීමේ උත්සවය ජනවාරි 12 වෙනි දා වාද්දුව, කොරොස්දූව වජිරකොත් මහ විහාරස්ථානයේ දී අග්ගමහා සද්ධම්ම, ජොතිකධජ සාහිත්‍ය චක්‍රවර්ති, ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ව තිබුණි. විජිනිපත පිළිගැන්වීම, අග්‍රාමාත්‍ය, බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කිරීමටද නියමිතව තිබිණි.

තෛ‍්‍රනිකායික මහානායක, සානුනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ප්‍රභූන් රැසකගේ සහභාගිත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි.