Print this Article


70 වන ජන්ම දිනය සමරන බානගල උපතිස්ස නා හිමි

70 වන ජන්ම දිනය සමරන බානගල උපතිස්ස නා හිමි

 

මීට දශක හතකට පෙර ජනවාරි පස්වෙනි දින මෙලොව එළිය දුටු උපතිස්ස නම් ළදරුවා වසර ගණනකට පසුව ලොව පුරා සිය නාමය පතුරවනු ඇති බව ට එදින නම් කිසිවෙකුත් නොසිතන්නට ඇත. මාතර දිස්ත්‍රික්කයෙහි සිංහරාජ මායිමේ බානගල නම් ග්‍රාමයේ දී ජාසින්ලියනගේ දොන් හෙන්ද්‍රික් ජයසේන සහ අම්පාගොඩ ලියනගේ පේ‍්‍රමවතී යුවළට දාව නව දෙනෙකුගෙන් යුත් පවුලේ හත්වෙනියා ලෙස 1950 ජනවාරි 05 දින උපතිස්ස ළදරුවා මෙලොව එළිය දකින ලදී. බානගල සීලරතන විදුහලෙන් සහ අලපලාදෙණීය විදුහලෙන් අධ්‍යාපනය ලැබූ උපතිස්ස කුමරුවා අනගාරික ධර්මපාලතුමා ආරම්භ කරනු ලැබු විදේශීය ධර්මදූත සේවාවන්ට බඳවා ගැනීමට වයස 11 දී මහාබෝධි සමාගමට පැමිණියහ.

එහි දී මැටිවල සංඝරතන හිමියන් විසින් 1962 දී බරණැස ඉසිපතනාරාමයට රැගෙන ගොස් අධ්‍යාපනය ලබා දෙන ලදී. 1967 වසරේදී නැවත ලංකාවට පැමිණි එම තරුණයා කොළඹ මහා බෝධි විහාරයේ දී බානගල උපතිස්ස නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය. ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්වුයේ ඉන්දියාවේ සාංචි විහාරාධිපති හා කොළඹ අග්‍රශ්‍රාවක විහාරාධිපති හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන් යටතේ ය. 1970 දී උපසම්පදා ශීලයෙහි පිහිටුවූ බානගල උපතිස්ස හිමියෝ අධ්‍යාපන කටයුතු සිදුකරමින් විදේශීය ධර්මදූත සේවයේ කටයුතු කරමින් සිටියදී හැඩිගල්ලේ නාහිමියන්ගේ අනුග්‍රහය මත ජපානයට වැඩමවීමට අවස්ථාව උදාවිණ. ජපන් ගමන සිය ජීවිතයේ නව පෙරළියක් බවට පත්කර ගැනීමට බානගල උපතිස්ස හිමියන්ට හැකිවිණ.

ජපානයේ ජපන් භාෂාව සහ ළදරු අධ්‍යාපන ය පිළිබඳව අධ්‍යාපන ය ලැබූ බානගල උපතිස්ස හිමියන් එහිදී හඳුනාගත් කොතිකේ යොෂිඩා ආර්යාවගේ ද සහායෙන් 1979 දී සපුගස්කන්ද අබේසේකරාරාමය තුළ ළදරු පාසලක් ඇරඹීමට කටයුතු කරන ලදී. එයින් සමාජිය මෙහෙවර ඇරඹූ බානගල උපතිස්ස හිමියෝ ළදරු අධ්‍යාපනය නැංවීමට විශාල මෙහෙයක් සිදුකළ අතර බානගල ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා ද නොපැකිලිව කටයුතු කළ මහා යතිවරයකු බවට පත්විණි, උන්වහන්සේගේ සේවය අගයමින් 1986 වසරේදී කෝට්ටේ සාමගී‍්‍ර මහා සංඝ සභාව විසින් ජපානයේ ප්‍රධාන සංඝ නායක ධූරය උන්වහන්සේ වෙත පිරිනමන ලදී. 200 0 ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ධුරයෙන් ද පිදුම් ලැබූ බානගල උපතිස්ස හිමියන් ජපානයේ සවාරා ලංකා ජි විහාරාධිපති හිමියන් ලෙස මෙන්ම සාංචි ඓතියගිරි විහාරයේ සහ අග්‍රශ්‍රාවක විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස ධර්ම ප්‍රචාරයේ යෙදමින් ද , සාමාජිය කටයුතුවල යෙදෙමින් ද මානව වර්ගයාගේ උභයලෝකාර්ථ සිද්ධිය උදෙසා අත්‍යුදාරසේවාවක යෙදෙමින් හුදී ජන සාදර බහුමානයට පාත්‍රව සිටියි. බානගල උපතිස්ස නාහිමියන්ට ආයුරාරෝග්‍යා දී සම්පත් සාධනය වේවා