Print this Article


පහන් සිතක කවි

වසරක් ගෙවී...

වසරක් ගෙවී නව වසරක් ඇරඹෙනවා
නව වසරේ කිරි ඉතිරේ, කොයි කවුරුත් සැරසෙනවා
නුවණැති දනෝ පිනට දහමට තම සිත හරවනවා
රිය සක වගේ අට ලෝ දම කැරකෙනවා

නව වසරේ සෑම දෙනම අලුත් වෙන්න ඕනේ
නිවැරැදි දසුනෙන් මිසදිටු වෙස් ගලවනු ඕනේ
රැල්ලට යට වී ඇති අය ගොඩට ගන්න ඕනේ
පස් පව් දැනගත්තට මදි වැළකෙන්නට ඕනේ

ඇඳුම් පැළඳුම් ගේ දොර අලුත් වුණාට මදී
රා මෝ දෝ ඉසි කෝ හැම දෙයකින් මිදී
පස්කම් සැපයට ගිජුවී එපා ඉන්නට බැඳී
හදේ කසළ ඉවත හෙළා හොඳින් ඉඳිමු හැදී


බුදු සසුන

බුදු සසුන දිලේවා
සඟ සසුන නිවේවා
තුන් කල්ම රකීවා
සැමට මෙත් මල් උදා වේවා

තරහව, ක්‍රෝධය සදහට දුරු වේවා
මේ පින් බලෙන් ලක්මව නිති ජය වේවා
බුදු ගුණ වලට සැමගේ හද යොමු වේවා
ලක් සසුන උතුම් මඟ බව පැවසේවා


මහියංගණ සෑ රදුන් නමදිමි

මහා කරුණා බෙලෙන් ලක්දිව දුරුතුවේ බුදුරදුන් වැඩියා
මහා වැලි ගඟ අසල වූ මහියංගනේ බුදුරදුන් සිටියා
මහා යක්ෂයො යුදට සැරැසුණු පලව හැරියා බුදුන් මපියා
සාධු ! සාධූ ! වඳිමි මම අද ලෝක නාථ වූ බුදුන් මපියා

බුදුරදුන් වැඩි බව අසා දැනගත් සමන් දෙව් රඳුන් වැඩියා
බණ අසා සෝවාන් වීලා වැඳ පුදා ගනු පිණිස වැඩියා
පාරිභෝගික වස්තුවක් ඉල්ලුවා සුමණැයි සමන් දෙවියා
සාධු! සාධූ ! වඳිමි මම අද බුදුන් දුන්න වූ කේශ වැටියා


මරණයේ නිමාව

සසර සරමින් නොනිමි ගමනේ
ඇවිද යන තුන් ලෝක දහනේ
කඩ ඉමක් වෙද හමු වුණේ
එයයි මරණය නොමැත නිවුණේ

මරණය අතැර යළි ජන්මය ලබනු ඇත
ජන්මය පසෙකලා මරණය ලබනු ඇත
මරණය ජන්මයෙන් යළි නිමවනු නොමැත
මේ දෙක නසන පිළියම නම් නිවන වෙත


මෙවර ජයග්‍රාහී කවිය

පොඩි සාධුට ඔවදනක්

පැවිද්ද ලැබ ගෙන රැක්මට
අතිශය දුෂ්කර හැම විට
සිත කය දෙක පැවිදි කළොත්
අම ඵල ගෙන දෙයි සැම විට
කසාවතට වෙමු හිතවත්
පොත පත කියවමු හරවත්
මහ පඬිතෙරවරු ගිය මග
යනු යනු කවුරුත් සලකත්


සම්බුදු මහිමය

බුදු හිමිගේ මිහිරි හඬට සවන් යොමා සතුටු වුණා
ගොපලු කොලුගෙ කෙවිට ඇනී පපුව පැලී මිය ඇදුණා
දහම නොදැන සිටියත් මා මිහිරි හඬට කන් දුන්නා
පින ඵලදී ඒ මොහොතෙම දෙව්ලොව ඉපදී උන්නා


නව වසරට සුබ පැතුම්

බුදු සරණින් දම් ආලෝකය අපෙ ලක් දෙරණේ සුදිලේවා
සියලු දෙනා වෙත අවිහිංසාවේ මා හැඟි භාවය වැටහේවා
මෙත් කරුණා මුදු ගුණ හැම හදවතකම ඉතිරේවා
ට පතමි ආසිරි නවමු හැඟුම් ඉන් මතු වේවා


පින් බිම නමදිමු

බුදු රැස් විහිදේ සෙංකඩගලපුර පින්වත් දළඳා සමිඳුගෙ නමට
බුදු රැස් විහිදේ සෝමවතියේ පුලතිසි පුරවරයේ නමට
බුදු රැස් විහිඳේ අනුරපුරයේ ශ්‍රී මහ බෝධියෙ පින් කඳට
බුදු රැස් විහිඳේ රන්මැලි සෑයේ ගැමුණු රජුනි ඔබගේ පිනට

දළදා සමිඳුගේ පින් බලයෙන් බැබළේ දළදා මාලිගය
හේමමාලා දන්ත කුමරුවන් දන්ත ධාතූන් ගෙන ආවෝය
මුලු ලොව පුදනා ජීවමාන වූ වැඩ ඉන්නේ අප බුදු හිමිය
සිරිලක් වැසියන් කළ පින් හින්දා උරුමය අප රැක ගත යුතු ය

රන්වැලි සෑයත් අභය ගිරිය හා මුතියංගණයත් බැතිබර ය
මහියංගනයත් ලෝවාමහපායත් මිරිස වැටියනම් අගනේ ය
බුදු හිමිගේ ශ්‍රී පතුල පිහිටි තැන ශ්‍රී පාදය නම් පින්බරය
හෙළ රජ දරුවෝ කළ ඒ විස්කම් මුලු ලොව වටිනා සම්පත් ය


හද බැති මල්

බුදු පුත් තැනූ රජවරු යතිවරුන් තැනූ
අම්මා නමට බැති කුසුමන් පුබුදු වනු
නිම්මා නැති සෙනේ ගඟුලේ කුමුදු වෙමු
අබැටක වුව රිදීමක් එ සිතකට නොදෙමු

කවදා කොහොම ආවත් මුදු සිනහ පපා
අම්මා කැවූ බත් කටවල් සෙනෙහෙ පපා
ඒ නෙත් කෙවෙනි උණු කඳුලෙන් තෙමනු එපා
උහුලන එකක් නෑ මේ මහ පොළොව පවා


ලුම්බිනි සල් උයන

\සල් මල් සුවඳයි ලුම්බිනි අරණ
සත් පියුමන් මත කුමරුන් වඩින
අබිමන් සිහ නද ගුවනට නඟින
මෙ කුමරුන් නියතය බුදු බව ලබන


දුටුවෙමි අනිත්‍ය

එදා පැහැපත් ව තිබූ
රූ සපුව ගිලිහිලා
කෙස් ටික ද සුදු වෙලා
ගත තිබේ වැහැරිලා
වියපත් ව ඇති සිරුර
මට මහත් පිළිකුලකි
සිරුර අතහැර දමා
යන දිනය බල බලා
මම ඉඳිමි නිදි වරා
බවුන් වඩ වඩා
පිළිකුල මෙනෙහි කර
සිරුර හැර යන තුරා


නන්ද තෙරුන්ගේ උදානය

සුපෙම් අරණේ වසන්තය ගෙවුණා
වසත් මල් ගොමු කඳුළු වී සැලුණා
ගංගා පොකුණු විල් පිරුණා
මහදේ සුසුම් රැළි නැඟුණා
කුටිය තුළ සිරවී
සිත නිවන වෙර දරමී
පිනැති දෙව්රම් වෙහෙර වැඩ වසනා
බුදු සමිඳු ළඟ කහවතින් රැඳුණා
නන්ද කුමරුන් නොවේ මා දැන්
විරහ දුක් විඳිනා
දුටිමි සුරඟන අසිරි රූ සේයා
කුමට ජනපද කල්‍යාණියට බැඳි මායා
නිමා කරනෙමි සසර මේ භවයෙන්
අමා නිවනේ අමර වූ සුවයෙන්


අනියත

සමිඳුන් දෙසූ සදහම් දම් අදහන්න
හැකිය එවිට නිවන වෙතට පැමිණෙන්න
බුදුන් දෙසූ අනියත එය පිළිගන්න


අනන්තය සොයා

කිසිදා කෙලෙසක නොලැබෙන
සැප සම්පත් ගැන සිහින දරාගෙන
මිනිසා දිවයන මේ බව කතරේ
අනන්තයක් නැති දෝ...

සිහින සිතිවිලි හද දරා
එයින් මත් වී දුක් අරා
ලැබෙන නොලැබෙන සැපත අතරේ
බිහි වෙලා ඇත වේදනා

-