Print this Article


ශාසනයේ උන්නතියට භික්‍ෂුවගේ කාර්‍ය භාරය

ශාසනයේ උන්නතියට භික්‍ෂුවගේ කාර්‍ය භාරය

මෙම ලිපියෙහි පළමු කොටස දුරුතු පුර අටවක (ජනවාරි 03) පත්‍රයෙහි පළවිය.

මේ ප්‍රකාශයෙන් අනතුරුව වච්ඡගොත්ත පිරිවැජියා ගෞතම ශාසනයේ සිව්පිරිස පිළිබඳ ව ප්‍රශ්න කීපයක් යොමු කළේ ගෞතම සසුන පිළිබඳ හොඳ හැඳීනීමක් ඇතිව බව පෙනේ.

භවත් ගෞතමයන් වහන්සේ හැරෙන්නට එසේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ, චේතෝවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් , මේ ජීවිතයේ දී තමා ම දැන ප්‍රත්‍යක්‍ෂ කර ඊට පැමිණ වෙසෙන එක් භික්‍ෂුවක් වත් වේ ද?

භවත් ගෞතමයන් වහන්සේ හැරෙන්නට භික්‍ෂූන් හැරෙන්නට, ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ, චේතෝවිමුක්තියත්, ප්‍රඥාවිමුක්තියත් මේ ජීවිතයේ දී තමා ම දැන ප්‍රත්‍යක්‍ෂ කර ඊට පැමිණ වෙසෙන එක් භික්‍ෂුණියක් වත් වේ ද?

භවත් ගෞතමයන් වහන්සේ හැරෙන්නට, භික්‍ෂූන් හැරෙන්නට, භික්‍ෂූණීන් හැරෙන්නට, පංච ඕරම්භාගීය සංයෝජන ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ, සුද්ධාවාසයෙහි පිරිනිවෙන සුලු, ගිහි සුදුරෙදි අඳීන බ්‍රහ්මචාරී එක උපාසකයකු වත් වේ ද?

භවත් ගෞතමයන් වහන්සේ හැරෙන්නට, භික්‍ෂූන් හැරෙන්නට, භික්‍ෂුණීන් හැරෙන්නට, ගිහි සුදුරෙදි හඳීන බ්‍රහ්මචාරී උපාසකවරුන් හැරෙන්නට, ශාසන කාර්යය කරන, අවවාදය පිළිගෙන ක්‍රියා කරන, කුසලයෙහි සැක ඉක්ම වූ, සසුනේ විමති බැහැර කළ, විශාරද බවට පැමිණි, ශාස්තෘ ශාසනයෙහි පරප්‍රත්‍ය රහිත, ගිහි සුදුරෙදි හඳීන, කාමභෝගී ශ්‍රාවක එක උපාසකයකු වත් වේ ද?

භවත් ගෞතමයන් වහන්සේ හැරෙන්නට, භික්‍ෂූන් හැරෙන්නට, භික්‍ෂුණීන් හැරෙන්නට, බ්‍රහ්මචාරී උපාසකයින් හැරෙන්නට, කාමභෝගී උපාසකවරුන් හැරෙන්නට, පංච ඕරම්භාගීය සංයෝජන ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ, සුද්ධාවාසයෙහි පිරිනිවෙන සුළු, සුදුරෙදි හඳීන බ්‍රහ්මචාරී එක ශ්‍රාවිකා උපාසිකාවක් වත් වේ ද?

භවත් ගෞතමයන් වහන්සේ හැරෙන්නට, භික්‍ෂූන් හැරෙන්නට, භික්‍ෂුණීන් හැරෙන්නට, බ්‍රහ්මචාරී උපාසකයින් හැරෙන්නට, කාමභෝගී උපාසකයින් හැරෙන්නට, බ්‍රහ්මචාරී උපාසිකාවන් හැරෙන්නට ශාසන කාර්යය කරන, අවවාදය පිළිගෙන කරන, කුසලයෙහි සැක ඉක්මවූ, සසුනෙහි විමති බැහැර කළ, විශාරද බවට පැමිණි, ශාස්තෘ ශාසනයෙහි පරප්‍රත්‍ය රහිත, සුදුරෙදි හඳීන ගිහි කාමභෝගී ශ්‍රාවිකා එක් උපාසිකාවක් වත් වේ ද? යනුවෙනි.

මෙහි දී බුදුරජාණන් වහන්සේ යට කී සය ආකාරයට ම අදාළව වෙන වෙන ම වදාළේ එබඳු ශ්‍රාවක ශ්‍රාවිකාවන් හාරපන්සියයක් නොව බොහෝ කොට මේ සසුනෙහි වන බව ය. මෙසේ භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු ද, බ්‍රහ්මචාරී උපාසකයෝ ද, කාමභෝගී උපාසකයෝ ද, බ්‍රහ්මචාරී උපාසිකාවෝ ද, කාමභෝගී උපාසිකාවෝ ද ලොව්තුරු දහම සම්පාදනය කළාහු නම්, මේ බඹසර හැම අතින් ම පිරිපුන් බව පවසන වච්ඡගොත්ත ඉදිරිපත් කළ නිගමන වාක්‍යය මෙයයි.

“භවත් ගෞතමයන් වහන්ස, යම් සේ ගංගා නදිය මුහුදට නිම්න ව, මුහුදට නැඹුරු ව, මුහුදට බර ව, මුහුදෙහි හැපී සිටී ද, එසේ ම භවත් ගෞතමයන් වහන්සේගේ ගිහිපැවිද්දන් සහිත පිරිස නිවනට නිම්න ව, නිවනට නැඹුරු ව, නිවනට බර ව, නිවනෙහි හැපී සිටී.” යනුවෙනි. වච්ඡගොත්ත කළේ බුද්ධිමත් විමසීමකි. එය ම ඔහුට මේ සසුනේ පැවිදි උපසම්පදාව ඉල්ලන්නට ප්‍රමාණවත් විය. පැවිදි උපසම්පදාව ලත් ආයුෂ්මත් වච්ඡගොත්තයන් වහන්සේ අර්හත්‍වයෙන් සසුන ද සාක්‍ෂාත් කළහ. සසුනේ සිව්පිරිසේ සැකැස්ම මෙයයි.

ශාස්තෘත්‍වය අතීතගතව ඇති බැවින් මේ සැකැස්ම පවත්වාගෙන යාම පිළිබඳ ව වගකීම පැවරෙන්නේ භික්‍ෂු සංඝයා වෙත ය. දිගු ඓතිහාසික ගමන් මඟක සසුන වර්තමානය දක්වා ඇදී ආයේ අන්‍ය තීර්ථකයින් වෙතින් සාමයික වශයෙන් ද, අන්‍ය චරතීර්ථක මතවාද වෙතින් සාම්ප්‍රදායික වශයෙන් ද, සංස්කෘතික විපර්යාස වෙතින් සාමාජික වශයෙන් ද, විදේශ ජාතීන් වෙතින් ආක්‍රමණික වශයෙන් ද, ස්වභාවික විපත් වශයෙන් ද එළඹුණ අභියෝගයන් රැසකට මුහුණ දෙමින් ය. සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් සංගීතිකාරකයින් වහන්සේලා, භාණකයින් වහන්සේලා සද්ධර්මය ආරක්‍ෂා කිරීමට කටයුතු කළහ. ස්වභාවික විපත් ඉදිරියේ සද්ධර්මය ලේඛ්‍යාරූඪ කළහ. අටුවා ටීකා සම්පාදනයෙන් ධර්මය විවරණය කළහ. ලක්දිව, බුරුමය, සියමය රටවල භික්‍ෂු සංඝයා එකිනෙකාට අනුග්‍රහය දක්වමින් ථෙරවාද ධර්මවිනය චිරස්ථායී කිරීමට සමගි සන්‍ධානගත වූ හ. ඒ සියලු අතීත කැපකිරීම් කෙරෙහි කෘතවේදී වීම පිණිසත් , පොදුවේ මිනිසාගේ ආධ්‍යාත්මික බෙලහීනත්‍වයෙන් මිදීම පිණිසත් වර්තමාන බෞද්ධ ගිහිපැවිදි සැමගේ වගකීම වියයුත්තේ දහම සජීවී වශයෙන් භාවිතයට නැංවීමයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අව අටවක (ජනවාරි 17) පත්‍රයේ පළවේ