Print this Article


සිතට තරහ ගතිය ඇති වන්නේ ඇයි?

සිතට තරහ ගතිය ඇති වන්නේ ඇයි?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා
සම්බුද්ධස්ස
“සත්තිමෙ භික්ඛවෙ ධම්මා සපත්ත
කන්තා
සපත්ත කරණා කොධනං ආගච්ඡන්ති
ඉත්ථිං වා පුරිසං වා”

පින්වත්නි,

අද ධර්ම දේශනාව සඳහා මා තෝරාගත් මාතෘකා පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ එන කොධන සූත්‍රයට ය.කොධන කියන වචනයෙන් කිපෙන සුළු, කෝප බහුල යන අර්ථය ප්‍රකාශ වෙනවා.

බුදුරජාණන් වහන්සේ එක් කාලයක් අනේපිඬු සිටුතුමන් පූජා කළ ජෙතවන ආරාමයේ වැඩවෙසෙනවා. සවස් භාගයේ භික්ෂු සංඝයා එක් රැස්වූ අවස්ථාවක මේ සූත්‍රය දේශනා කළා”

“මහණෙනි , අනුන්ට ක්‍රෝධ කරන, වෛර කරන අය කැමති, ඒ අය තුළ ඇති, කාරණා හතක් තිබෙනවා. ඒ කාරණා හත එසේ කරන ස්ත්‍රීන්ටත්, පුරුෂයින්ටත් ඒ කරුණු හත පෙරලා පැමිණෙනවා “යනුවෙන් වදාරන බුදුන් වහන්සේ ඒ කරුණු හත මේ සූත්‍රයේ විස්තර කර තිබෙනවා.

ක්‍රෝධය, තරහව, වෛරය, ද්වේෂය පදනම් ව ඇති වන ඍණාත්මක චිත්තවේග සමූහයක්. බුදුන් වහන්සේ නරක සිතිවිලි තුනක් දක්වා තිබෙනවා. ඒවා ලෝභ, දෝස, මෝහ යි මේවා අකුසල, නරක, හානිකර සිතිවිලි. “තිණිමානි අකුසල මූලානි. ලොභො, අකුසල මූලං දොසො...මොහො” බුදුන් වහන්සේ දක්වන අන්දමට මේවා තුළ සැකසෙන කායික ක්‍රියා, ප්‍රකාශවන වචන සහ සිතිවිලි ද, සියල්ලක්ම අකුසල් , නරක වැරැදි , දෝෂ සහිත දේ බවට පත් වෙනවා. මේ සිතිවිලි තුන නිසා නොයෙක් නරක, පාපි අකුසල තත්වයක් මිනිස් මනස තුළ හටගන්නවා. මේ නිසා ලෝභ, දෝස මෝහ මත සැකසෙන මනස මේ සංසාරයේ පැවැත්මට ඍජුව බලපෑමක් ඇති කරනවා. සිත මුල් කරගනිමින් අප විවිධ ක්‍රියාකාරකම් සිදු කරනවා. සිත මුල් වී කායික ක්‍රියා වචන ප්‍රකාශ කිරීම සිදුවෙනවා. අතක් එසවීම සඳහා ඊට ප්‍රථම සිතක් ඇති විය යුතුයි. මේ නිසා, කය සහ සිත අතර ඇති සම්බන්ධයේ දී සිත පෙරටු කොට ක්‍රියා සිදුවන බව මෙහි දී තේරුම් ගැනීම ඉතා වැදගත්. බුදුහාමුදුරුවෝ දකින්නේ , සිත වැරැදි මාර්ගයක් ගත් විට කායික ක්‍රියා ද වැරැදි වන බවයි. මේ නිසා සිත වැදගත් වේ. සිතේ පදනම වැදගත් වේ. ක්‍රෝධය , තරහව, වෛරය අයත් වන්නේ දොස කියන මේ සිතිවිල්ලටයි. ද්වේෂය පදනම් කර ගනිමින් ක්‍රෝධය වෛරය තරහව ක්‍රියාත්මක වීමේදී කායික ව හිංසාකාරී ක්‍රියාවන් කිරීමට පෙළඹෙනවා. ගහන්න, තලන්න, තුවාලකරන්න, මරන්න පෙළඹෙනවා. එමෙන්ම වචනය මුල්කරගෙන අප්‍රසන්න දෝෂාරෝපණයන් කිරීම, නරක වචන කියන්න, ගරහන්න, කේළාම් කියන්න, භේද කරන්න, කෙනෙකු පොළඹ වනවා” මේ සූත්‍රයෙන් කෙනෙකු ක්‍රෝධයෙන් සිටින විට ක්‍රෝධයට ලක්වන්නා වූ පුද්ගලයා පිළිබඳව ද්වේෂ මූලික ව සිතේ ඇති වන නරක පැති කීපයක් ගැන සඳහන් වනවා.

සිතේ තරහව, කෝපය, වෛරය ඇති වන ආකාර දහයක් කොධවත්ථු සූත්‍රයේ සඳහන් වෙනවා. අතීතයේ දී තමාට නපුරක් කළාය යන අතීත සිද්ධියක් නිසා කෝපයක්, කෙනෙකුගේ සිතේ ඇති විය හැකියි.දෙවනුව වර්තමානයේ දී තමාට නපුරක් කරාවි යන සැකය උඩ සිතේ තරහක් ඇති විය හැකියි. තෙවනුව අනාගත භයක් මත එනම්, අනාගතයේ දී තමාට නපුරක් කරාවි යන අදහසින් කෙනෙකු කෙරෙහි සිතේ තරහක්, කෝපයක් වෛරයක් හටගත හැකි බව සූත්‍රය පෙන්වා දෙනවා. එසේම තමා පි‍්‍රයකරන කෙනෙකු වෙනුවෙන් ද ඔහුට කෙනෙකු නපුරක් කළ විට තම මිතුරා වෙනුවෙන් සිතේ තරහව හටගන්නවා. “පි‍්‍රයයා නම් තමාග් දෙමාපියන්, සහෝදර සහෝදරියන්, බිරිඳ, ස්වාමියා, දරුවන් , ලේ ඤාතීන් , සමීප මිතුරන්. පක්ෂයක් නම් තම පාක්ෂිකයින් මහාපාරිමාණයෙන් ජාතීන්, ස්වකීය ආගමට අයත් පිරිස සහ රටවැසියන් ආදී පිළිවළට ගණනය කළ හැකියි. ඒ අයට වර්තමානයේ දී නරකක් කරන විට තම සිතේ ඒ දේ කරන කෙනා කෙරෙහි වෛරය බැඳගනියි . මෙලෙසින් අනාගතයේ දී එබඳුම නරකක් කිරීමට සැරසෙන විට දීද, තම සිතට තරහවක් ඇතිවේ. එමෙන්ම තමා අකැමැති කෙනෙකුට යම් අර්ථ සිද්ධියක් සිදුවන විට එය උපේක්ෂාවෙන් බාර ගන්නවා වෙනුවට සිතට තරහක් ඇති වේ.මගේ සතුරාට උදව්වක් කළාය යන අදහසින් කළ තැනැත්තා කෙරෙහි වෛර බඳියි. වර්තමානයේ දී එසේ උදව් කරන විට ද වෛර බඳියි. මින් නොනැවතී අනාගතයේ දී තම සතුරාට උදව්වක් කරා වි යන සැකයෙන් ද වෙර බැදගනී. අවසානයේ දී තරහව ඉපදිය යුතු නැති තැන්වල කෝප වීම සිදුකරයි. අස්ථානයේ කෝපවීම දහවෙනි අවස්ථාවයි. රථවාහන තදබදයක දී මේ කෝපය ඇති වේ. දිගින් දිගට වහින කොට ඇති වන අපහසුතාවයන් නිසා කෝප වේ. මෙබඳු අවස්ථා නියෝජනය වන්නේ අස්ථානයේ කෝපවීමටයි. මෙසේ ධර්මයට අනුව මිනිස් සිත් තුළ කෝපය, තරහව, පලිගැනීම සිදුවිය හැකියි. බුදුවදන මේ තරහව තැන්පත් වූ සිත සත්‍යය නොදකින බවයි.” කුද්ධො අත්ථං නජානාති” ඔහු මුලාවට පත්ව නොපවතින, හානිකර අයහපත් දෙයක්ම දකී. ඒ මත කටයුතු කරයි. ඒ දේ සිදුවන්නේ සිත තුළ හැඟීම් ක්‍රියාත්මක වීම නිසයි. දැනීම නැති තැන හැඟීම ඒ තැන ගනී. සිත සන්සුන් නම් සිත දැනීම් පෙරදැරිව ක්‍රියකරයි. තරහව ,කෝපය වැනි සිතිවිලි නිසා සිතේ ප්‍රකෘත්තිය පහව ගොස් හැඟීම් සහිතව ක්‍රියාකිරීමට පෙළඹේ, එබඳු මානසික පරිසරයක දී සිත නොසිතිය යුතු දේ සිතයි. නොකටයුතු දේ කරයි. සිත පැහැපත් ස්වභාවයෙන් තිබෙන විට යථාර්ථවාදීිව සිතයි. එසේ නොමැතිව සිත ද්වේෂයෙන් ආවරණය වූ විට ප්‍රතිවිරෝධකයා ගැන නපුරක් ම සිතයි. එසේ සිතන කරුණු හතක් කොධන සූත්‍රයේ ගෙනහැර දක්වා ඇත. විරුද්ධවාදින්ට පි‍්‍රය වූ විරුද්ධවාදින්ට පි‍්‍රයහළවන මේ කරුණු හත පෙරළා කොධකරන පුද්ගලයා කරා පැමිණේ.

ඒ අවධානය දැන් අපි යොමු කරමු

මොහු දුර්වර්ණ වේ නම් හොඳයි. විරුද්ධකාරයා ් තම විරුද්ධකාරයාට මෙසේ වන්නේ නම් කැමති වේ. වෛර කරන පුද්ගලයා තම විරුද්ධකාරයා ගේ වර්ණභාවයට අකැමැතියි. ඔහු කැතවෙනවා නම් ඒකට කැමතියි.ඔහු ලස්සනට ඉන්නවාට කැමැත්තක් නැත. හැමෝම එය අවලස්සනයි කියා කියනවාට කැමතියි. මෙසේ සිතන විට එසේ සිතන, ක්‍රෝධකරන පුද්ගලයාගේ සිත ක්‍රෝධයෙන් අපිරිසුදු වේ. හේතුව ඔහු දන්නෙම නැතිව ක්‍රෝධය ඔහු මැඩගෙන සිටීමයි. එසේම ඔහු තුළ ක්‍රෝධය වැඩිදියුණු වී ඇති නිසා ක්‍රෝධය විසින් ඔහු ව පාලනය කරනු ලබයි. අවිඤ්ඤාණක සිතට ඇතුළු වූ මේ සිතිවිල්ල භවංග සිත තුළ රහසිගත ව ක්‍රියාත්මක වේ. මේ ප්‍රතිඵලය තමාට ම මුහුණ දීමට සලස්වයි. මේ නිසා බුදුන් වහන්සේ ප්‍රකාශ කළා දුර්වර්ණය තමා වෙතටම එන බව. ඔහු හොඳින් ස්නානය කළත්, සුවඳවිලවුන් පාවිච්චි කළත්, හොඳට කෙස් රැවුල් කැපුවත්, සුදු වස්ත්‍ර ඇන්දත් ඔහු දුර්වර්ණ වේ. මින් ප්‍රකට වන්නේ කෙනෙකුගේ ලස්සන රැඳී තිබෙන්නේ බාහිර කෘතීම දේ තුළ නොව මනසේ පවිත්‍රත්වය තුළ බවයි.

මොහු ( මගේ සතුරා) දුකසේ නිදියන්නේ නම් මැනවි. ඒ කියන්නේ මගේ සතුරාට රෑට නින්දක් නොවේවා. සුවසේ නිදියන කෙනාගේ සෞඛ්‍යය යහපත්, ප්‍රබෝධමත් . නින්ද නොයන විට ගතේ සිතේ ගිලන් බවක් ඇතිවෙනවා. අකර්මන්‍යය වේ. මනස වෙහෙස වීම නිසා අලසකමක් ඇති වෙනවා. එය තම දෛනික ධන ඉපයුමට බාධා ඇති කරනවා. මේ නිසාම කෙනෙකු ක්‍රෝධ කරන විට අනිත් කෙනාගේ අපහසුව කැමතිවෙනවා. මේ ප්‍රාර්ථනා කරන විට පෙරලා ඔහු වෙත නිදිවර්ජිත බව ඇතිවනවා. මොනතරම් සුවපහසු ඇතිරිල්ලක සැතපුණත් ඔහුට නින්ද නොපැමිණේ. මෙය දෙවන විපාක යයි.

තම තරහකාරයා පිළිබඳව ඇති වන තුන්වන කැමැත්ත නම් මොහු ධනවතෙක් නොවේවා. මගේ හතුරාට ධනය ලැබෙන්න එපා. ඔහු දුප්පතෙක් වේවා. මෙහෙම හිතන්නේ හතුරාට ධනය ලැබීම අකැමැති නිසා. “ඔහු, අනුන්ගෙන් ඉල්ලන තැනට වැටෙනවාට කැමැතියි. මෙය හොඳ දෙයක් නොවේ. තමා හොද දෙයක් කරනවා කියා හිතන්නේ. නමුත් එය පෙරළා තමන්ට එනවා. ලාභ ය, පාඩුවක් ලෙසටත් පාඩුව, ලාභයක් ලෙසටත් පේන්න පටන් ගන්නවා. මනස විකෘති වීමයි මෙයට හේතුව.

මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු අව අටවක (ජනවාරි 17) පත්‍රයේ පළවේ