Print this Article


ස්වර්ණමාලි මහා සෑ මළුවේදී අසිරිමත් පින්කමක්

ස්වර්ණමාලි මහා සෑ මළුවේදී අසිරිමත් පින්කමක්

පින්කම් රැසකට දායකවීමටත් අවස්ථාවක්

අනුරාධපුර මහ මෙවුනා උයනේ පිහිටි රුවන්මැලි මහා සෑය ලෝකයේ ම අසිරිමත් ම සෑය යි. මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙවියෝ ද , මනුස්සයෝ ද, බ්‍රහ්මයෝ ද ගෞරවයෙන් සලකන, වැඳුම් පිදුම් කරන සෑයක්. ද්‍රෝණයක් (නැළි දෙකක්, එනම් හුණ්ඩු හතරක්) සර්වඥ ධාතූන් වහන්සේ මෙහි වැඩ සිටින අතර මෙතරම් ම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමාණයක් වැඩ සිටින සෑයක් ලොවේ වෙනත් කවර ස්ථානයකවත් නැහැ. ඒ නිසා මෙම සෑ රදුන් වහන්සේ මහා චේතිය නමින් හඳුන්වනවා.

දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ රුවන්මැලි මහා සෑ රදුන් වහන්සේගේ ගර්භය තුළ නිධන් වස්තු, මැණික්, රත්තරං, රිදී, තඹ , ගජමුතු ආදී වටිනා අපමණ වස්තූන් රැසක් තැන්පත් කර තිබෙනවා. බෝසත් උපත, බුද්ධත්වය, බුද්ධ ගයාව , දම්සක් සූත්‍ර දේශනාව, පරිනිර්වාණය ආදී සම්බුදු සිරිතේ සුවිශේෂී සිද්ධීන් රැසක් ප්‍රතිමාවන් මඟින් චෛත්‍ය ගර්භය ඇතුළත නිර්මාණය කර තිබෙනවා. මෙම සෑය ගොඩනංවා ගන්නට දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, මනුස්සයෝ ද, නාගසුකර්ණයෝ ද බොහෝ උදව් උපකාර කළහ. විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා සෑ රදුන් වහන්සේ ඉදිකරන තැනැත්තාට ආරූඪ වූ බව සඳහන් වෙන අතර, ඒ නිසාම සෑ රදුන් වහන්සේගේ වැඩ කටයුතු ඉක්මනින් ම සිදු වෙන්නට ඇත.

රුවන්මැලි මහා සෑය දෙනෝ දාහක් ජනතාව නිතර වඳින පුදන මහා සෑයක්. රාජ, රාජ මහාමාත්‍යයන්ගෙන් වැඳුම් පිදුම් ලබන සෑයක්. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් දැක වදාළ සෑයක්. සවණක් ගණ බුදු රැස් දහරාවන් විහිදෙන සෑයක්. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරද්දී, විහදී ගිය බුදු රැස් අසිරියෙන් අති විශාල ජනතාවක් මාර්ග ඵල නිවන් සුව ලැබුවා. සෑ රදුන් වහන්සේ ගොඩ නැංවූ දවසේ පටන් අද දක්වා ම වැඳුම් පිදුම් කරන සංඛ්‍යාව අපමණ යි. මෙලෙස ලැබෙන පූජා සත්කාර සීමාවක් නැහැ. මේ සියල්ලම කරන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේට යි. ඒ නිසා කවුරුත් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් සෑ රදුන් වහන්සේට ගෞරවය පුද කළ යුතු යි.

2020 පෙබරවාරි 15 වන දා සවස 4.00වන විට කවුරුත් රුවන් මැලි සෑයට පැමිණ අති විශාල පින්කමක් කළ හැකි යි. අටපිරිකර පනස් දහසක පූජාවක්, කප්රුක් තිහක පූජාවක් , විදුලි ආලෝක පූජා, ලක්ෂ ගණනක් වටිනා උඩරට මල් පූජාව, නෙළුම් මල් පූජාව, අටවිසි බුද්ධ ප්‍රතිමා වඩා හිඳුවන අටවිසි බුද්ධ පූජාව, ගුවනින් මල් ඉසීම, කොඩි පූජා පැවැත්වීම, ස්වාමීන් වහන්සේ දහසක් පමණ වැඩම කරවීම, පින්කමට සහභාගිවන සැමටම දන්සල් ආදියෙන් සංග්‍රහ කිරීම් , සෞඛ්‍ය පහසුකම් සලසා දීම ආදියෙන් කටයුතු සිදු කිරීමට නියමිත ව තිබෙනවා. රැය පහන් වන තුරුම මෙම පින්කම සිදු කරන අතර, ධර්ම දේශනා කිහිපයකින් ද, උදෑසන මහණ පින්කම සහ පසුදා උදෑසන 5.00ට කිරි ආහාර බුද්ධ පූජාවෙන් පින්කම නිමාවට පත් කරනවා.

පැවිදි වීමට බලාපොරොත්තු වන පින්වතුන් හැකිතාක් ඉක්මනින් අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයට පැමිණ විමසිය හැකි බව කහගොල්ලේ සෝමවංශ හිමි පවසති. එවැනි පින්වතුන්ට රුවන්මැලි මහා සෑ මළුවේ දී මහණකම ලබා ගත් බවට සතුටට පත් වෙන්නට පුළුවන් වීම වැදගත් කාරණයක්.

එසේනම් මෙවන් විශාල පින්කමක් දැක බලා ගැනීමට සැවොම අනුරාධපුර රුවන්මැලි මහා සෑ රදුන් වහන්සේ සමීපයට පැමිණ සංසාරෙවත් ගෙවා නිමකළ නොහැකි පිනක් සිද්ධ කර ගන්න. තමන්ගේ පින වැඩි කර ගැනීම සඳහා හැකිතාක් ශ්‍රද්ධා , වීර්යය, සති, සමාධි, ඥාන දියුණුවෙන් සෑ රදුන් වහන්සේ වෙත පැමිණීම ඉතා වැදගත්. බුදු ගුණ සිහිපත් කර, චිත්ත ප්‍රසාදයෙන් කරන පින්කමෙන් ලැබෙන පින සීමාවක් කරන්නට බැහැ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම ආදී සතර බුදුවරයාණන් වහන්සේ වැඩම කිරීමත්, සර්වඥධාතූන් වහන්සේ තැන්පත් කිරීමත් සිදුවුණු මෙවැනි අසිරිමත් සෑයකට ගෞරවය පුද කිරීමෙන්, සසර වසන තුරු සැප විපාක ලැබෙන අතර, අපායෙන් අත් මිදී , මනු ලොව, දෙව් ලොව, බඹ ලොව ම වාසය කර පාරමී ගුණ දියුණුවෙන්, නිවන් සම්පත් අවබෝධය පිණිස ම මෙම පින්කම දැක බලා වැඳ පුදා ගන්නා පින ඔබ සැමට හේතු වාසනා වේවා!