Print this Article


බැණුම් අසා සිත රිදවා ගන්නවාද?

බැණුම් අසා සිත රිදවා ගන්නවාද?

තරහ, කේන්තිය, වෛරය, ක්‍රෝධය ගැන කතාකරන විට ත්‍රිපිටකයෙහි එන වැදගත් සූත්‍ර දෙකක් අපගේ මතකයට නැගෙනු ඇත.

“පඨම ආඝාත පටිවිනය” සූත්‍රය එයින් පළමුවැන්නයි. මෙය බුදුරදුන් විසින් දේශනාකරන ලද සූත්‍රයක්. අනෙක් සූත්‍රය දුතිය ආඝාත පටිවිනය” සූත්‍රයයි. මෙය සැරියුත් හිමියන් විසින් දේශනා කරන ලද්දක්.

සැවැත් නුවර ජේතවනාරාමයේ දී භික්ෂූන් අමතා සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරනවා කිසියම් කෙනෙකුට ආඝාතයක් එනම් තරහක්, කේන්තියක් ආවොත් එය වළක්වා ගැනීම සඳහා ක්‍රම පහක් යොදාගත හැකි බව. මෙහි “ආඝාත” යනු තරහයි. පටිවිනය යනු හාත්පසින් ම හික්මවා ගැනීමයි. ඒ අනුව “ආඝාත පටිවිනය” යනු තරහ, කේන්තිය, සම්පූර්ණයෙන් ම හික්මවා ගන්නා ආකාරය පෙන්නුම් කිරීමයි. අප හැමෝටම තරහ යනවා, මා කිසිම දෙයකට තරහ ගන්නේ නැහැ කියා කීවත් ඒ චරිතය දෙස විපරමින් බලා සිටියොත් තරහ ඇතිවන අවස්ථා පෙන්වා දෙන්නට පුළුවනි.

තරහ ඇතිවීමට බලපාන සියලු කරුණු විග්‍රහකර බැලුවොත් මේ සඳහා කරුණු දෙකක් මුල්වන බව ඉතා පැහැදිලියි. තමන් කැමැති දේ නොලැබීමත්, අකමැති දේ ලැබීමත් ය. කවුරු හෝ අපේ දොස් කියනවානම් අප එයට කැමැති නැහැ. අපේ ගුණ කියනවානම් අප එයට කැමැතියි.

මව්පියන් විසින් දරුවනට ඉඩකඩම් පවරා දෙන විට තමා කැමැති ඉඩම තමාට නොලැබුණු අවස්ථාවල තරහින්, කේන්තියෙන් කටයුතු කරන සිද්ධීන් සමාජය තුළ නිතර දැකගන්න පුළුවන්. මෙතන දී කැමැති ඉඩම ලැබුණේ නැහැ. අකැමැති ඉඩමක් තමයි ලැබුණේ. එවිට තරහ මතු වෙනවා. සමහරු පින්කමක් කරලා ඒ පින්කමට වියදම් කළේ මමයි, ඒ වුණාට හාමුදුරුවෝ මගේ නම කීවේ නැහැ. කිසිම උදව්වක් නොකළ මිනිහෙකුගේ නමක් තමයි කීවේ. මෙතන දී තරහ මතුවන හැටි බලන්න. අප කාගෙන් හෝ ගුටිකන්න කැමැති නැහැ. බැණුම් අහන්න කැමැති නැහැ. මෙවැනි අවස්ථාවල අපට තරහ එනවා. ඒ අප අකැමැති දේ ලැබෙන නිසයි.

තරහ, ක්‍රෝධය, වෛරය ඇතිවන අවස්ථා නවයක් ගැන ධර්මයෙහි සඳහන් වෙනවා. අසවල් තැනැත්තා මට බැණලා තියෙනවා. මට දොස් කියා තියෙනවා. ඒ තැනැත්තා දැනුත් මට බණිනවා. දොස් කියනවා. අනාගතයේ දී ත් ඔහු මට දොස් කියාවි. බණීවි. මේ අයුරින් තමන් ගැන අතීත, වර්තමාන, අනාගත යන අවස්ථා තුන ගැන සිතා ඔහු ගැන වෛරයක්, ද්වේෂයක්, බොහෝ විට ඇතිකර ගන්නවා. මේ අයුරින් ඉස්සර අපට විරුද්ධව වැඩකරපු සිද්ධීන් සිහිපත් කරමින් දැනුත් ඔහොමයි, ඉස්සරහටත් එසේමයි . කරන්නෙ කියල ඔහු කෙරේ වෛර බඳිනවා.

අර මනුෂ්‍යයා අපේ අම්මට තාත්තාට දොස් කියල තියෙනවා. බැණවැදී තියෙනවා. අපේ ළමයින්ට ගහලා තියෙනවා. අපේ ඤාතීන්ට නොයෙක් අයුරින් නින්දා අපහාස කරල තිබෙනවා.

මේ අයුරින් ම දැනුත් ඒ මනුෂ්‍යයා මගේ මව්පියන්ට, ළමයින්ට, ඤාතීන්ට ගහන්න පුළුවන්. ප්‍රශ්න ඇතිකරන්න පුළුවන්. අනාගතයේ දී ත් ඒ අයුරින් ම අපේ අයට තර්ජන ඇතිකරන්න පුළුවනි. මේ අයුරින් තම ඥාතීන් ඉලක්ක කරගෙන අතීත, වර්තමාන, අනාගත යන අවස්ථා තුනම සම්බන්ධකර ගනිමින් වෛරී සිතිවිලි ඇතිකර ගන්න පුළුවනි. මේ අයුරින් ක්‍රෝධය ඇතිවන අවස්ථා හයක් දැක්වූවා. අනිත් අවස්ථා තුන ඇති වන්නේ අපේ සතුරා, විරුද්ධකාරයා මුල් කරගෙන යි " ඒ මනුෂ්‍යයා අපේ තරහකාරයාගේ, විරුද්ධවාදියාගේ ගුණමයි කියන්නේ. මට බණින එක ගහන එක ඉවසන්න පුළුවනි. මගේ විරුද්ධවාදියා, වර්ණනා කරන එක කොහොමටවත් ඉවසන්න බැහැ. ඒ මනුෂ්‍යයා කලිනුත් මගේ තරහකාරයා වර්ණනා කළා. අදත් ඒ මනුෂ්‍යයාගෙ ගුණ කියනවා. ඔය ආකාරයට ඉදිරියේදීත් ඒ මනුෂ්‍යයාගේ ගුණය කියන්න පුළුවනි. මේ අයුරින් තරහකරුගේ ගුණය ගැන කියන අවස්ථා තුනක් ගැන සිතමින් ඒ ගුණ කියන්නා කෙරෙහි වෛරී සිතිවිලි ඇතිකර ගනියි.

මේ අයුරින් තමන් මුල්කරගෙන, ඤාතීන්, මුල්කරගෙන, විරුද්ධවාදියා, මුල්කරගෙන, අතීත, වර්තමාන, අනාගත කාල අනුව ක්‍රෝධ සිතිවිලි ඇතිවන අවස්ථා නවයක් පෙන්නුම් කර ඇත.

මේ අයුරින් විවිධාකාරයෙන් අපට ඇතිවන තරහ නැතිකරගැනීමේ ක්‍රම පහක් ගැන සැරියුත් මහරහතන් වහන්සේ “දුතිය ආඝාත පටිවිනය” සූත්‍රයේ දී පෙන්වාදී ඇත. මේ සූත්‍රයට අනුව ලොව සිටින මිනිසුන් වර්ග පහකට බෙදා දක්වා ඇත. මේ වර්ග පහ ගැන විස්තර කියවා බැලූ විට .තමන් අයත් වන්නේ කුමන වර්ගයකට දැයි සිතා ගන්නට පුළුවනි.