Print this Article


පොහොය සීමා මන්දිරය විවෘත කෙරෙන බෙන්තොට දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය

පොහොය සීමා මන්දිරය විවෘත කෙරෙන

බෙන්තොට දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය

" සුන්දර බෙන්තර නදියෙන් ලස්සන වන මෙම පින්බිම නැගෙනහිර දිසාවෙන් සම්බුදු පහස ලද ශී‍්‍ර පාදස්ථානය ද, බෙං ගඟට ඉස්මත්තෙන් වැලිපැන්න කොට්ටාව අධිවේගී මාර්ගය ද, මතුගම පහුරු කන්ද විහාරය ද, ලෝ සුපතල ජෙප්රිභාවා වත්ත ද, මෙම අරමට මනාව දර්ශනය වේ."

දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙන්තොට කහඹිලියකන්ද සිව් මංසන්ධියෙන් වමට හැරී නැගෙනහිර දෙසට ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ බෙන්තොට සිට කි.මී. 4 ක් ගිය විට මෙම මනරම් පින්බිම දිස් වේ.


සම්බුදු මැදුර


ධර්ම මන්දිරය සහ සෑ රදුන් වහන්සේ

දෙද්දුව හන්දියේ සිට ඉදිරියට ටිකදුරක් ගිය විට මෙම ගංගාරාම විහාර බිමට පිවිසිය හැකි ය.

සුන්දර බෙන්තර නදියෙන් ලස්සන වන මෙම පින්බිම නැගෙනහිර දිසාවෙන් සම්බුදු පහස ලද ශී‍්‍ර පාදස්ථානය ද, බෙං ගඟට ඉස්මත්තෙන් වැලිපැන්න කොට්ටාව අධිවේගී මාර්ගය ද, මතුගම පහුරු කන්ද විහාරය ද, ලෝ සුපතල ජෙප්රිභාවා වත්ත ද, මෙම අරමට මනාව දර්ශනය වේ.

අවුරුදු 200 කට වඩා ඈත ඉතිහාසයක කියාපාන මෙම විහාරය බහුශ්‍රැත පඬිවරුන්, උගතුන්, ශික්ෂාකාමී හිමිවරුන්ගෙන් අලංකාර වු විහාර බිමකි. වරෙක කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ අනු ශාඛාවක් ද, එම විහාරයේ පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි.


දානශාලාව

විවෘත කෙරෙන ගම්භාර දේවාලය හා දොළොස් මහේ පහන

බෙන්තොට දෙද්දුව ගංගාරාම පුරාණවිහාරය මුල්කරගෙන මෙහි ගංගාරාම විහාර පාර්ශ්වය නමින් වෙනම විහාර පාර්ශ්වයක් බිහි වී ඇත. බෙන්තොට දෙද්දුව ගංගාරාම පුරාණ විහාරය, හබුරුගල චූලබෝධි විහාරය, මතුගම උඩුගම කරපාගල සුවිසුද්ධාරාම විහාරය, පිටිගල උහන්ඕවිට ශ්‍රී විවේකාරාම විහාරය යන විහාරයන් දෙද්දුව ගංගාරාම විහාරයට අයිති වෙති.

බෙන්තොට ගලපාත විහාර පරම්පරාවෙන් මූලික ව ආරම්භ වන දෙද්දුව පන්සලෙහි මුල්ම විහාරාධිපති පදවිය දරන ලද්දේ ගලපාත විහාරවාසී සියනෑ කෝරළයේ සෝභිත හිමිපාණන් විසිනි.

එදා සිට අද දක්වා මෙම විහාරයේ විහාරාධිපතින් වහන්සේලා අට නමක් විහාරාධිපති පදවිය දරා ඇත. 1968 මෙම විහාරාධිපති පදවියට පත්වූයේ අප ගුරු දේව උත්තම දක්ෂිණ ලංකාවේ කවි සමාජයේ සභාපති බෙන්තර කළුතර දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක කාව්‍ය ශ්‍රී උහන්ඕවිට ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ ය.


ප්‍රතිසංස්කරණය කරන ලද සීමා මන්දිරය

නාහිමි ගුරු දේව උත්තම උහන්ඕවිට ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ 1999 සැප්තැම්බර් 09 දින අපවත් වී වදාළහ. අනතුරුව දෙද්දුව ගංගාරාම විහාරාධිපති පදවියට පත් වන්නේ අපවත් වූ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වන ශාස්ත්‍රපති බටුවන්හේනේ ඤාණානන්ද හිමිපාණෝ ය.

1973 ජුනි 17 දින පැවිදි බිමට පත් මුන් වහන්සේ 1982 ජූලි 22 වනදා මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. මූලික අධ්‍යාපනය අලුත්ගම කන්දේ විහාර මහා පිරිවෙණින් ලැබූ අතර, කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඥානේශ්වර විද්‍යායතනයෙන් ද උසස් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. දැනට අලුත්ගම කන්දේවිහාර මහ පිරිවෙනේ ප්‍රවීන ආචාර්යවරයෙකු වශයෙන් සේවය කරන මුන්වහන්සේ දෙද්දුව ගංගාරාම විහාරයේ දියුණුව සඳහා ඇප කැප වී වැඩ කටයුතු කරති.

දෙද්දුව විහාරයට එතෙක් අඩුපාඩුවක්ව පැවැති චෛත්‍යය රාජයාණන් වහන්සේ නමත්, අලංකාර දාන ශාලා මන්දිරයක්, අටවිසි බුදුමැදුරක්, ධර්මශාලා වහල, ප්‍රධාන පාර අලුතෙන් ඉදිකරලීම මුන්වහන්සේ විසින් සිදුකරන ලදී.

ගංගාරාම විහාරයට අනුබද්ධ ශ්‍රී ඤාණානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය හොබවන මුන්වහන්සේ එමගින් ළමුන් සිය දහස් ගණනකට දහම් අධ්‍යාපනය ලබා දෙන්නේ කාරුණිකව ය.

2019 වසරේ පැවැත්වෙන කඨින පින්කම මෙම නොවැම්බර් මස 07-08 -09 යන තෙදින තුළ ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

අභිනවයෙන් ඉදිකළ ගම්භාර සුද්ධ සූනියම් දේවාලය 07 වැනිදා විවෘත කෙරෙන අතර, එහි නේත්‍රා තැබීම, ආභරණ පැළැඳවීම, තැන්පත්කිරීම සිදුවන අතර, එදින රාත්‍රී දේව ආශිර්වාද පතා මහා මුරුතැන් පූජාවක් හා අලංකාර හේවිසි නැටුම් සන්දර්ශනයක් පැවැත්වේ.

8 වැනිදා රාත්‍රී කඨින වස්ත්‍රය රැගත් පෙරහර ගම වටා සංචාරය කරන අතර, මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ බෙන්තොට බොල්ගොඩ පදිංචි විශේෂඥ වෛද්‍ය කුෂාන් ජයසිංහ මහතා ඇතුළු මව්පියන් හා පවුලේ සැම විසිනි. ලක්ෂ 10 ක් පමණ ධන පරිත්‍යාගයෙන් තනා නිම කරන ලද අභිනව පොහොය සීමාව විවෘත කිරීම කඨින පින්කම දා හවස සිදුවේ.

9 වන සෙනසුරාදා දවල් 50 නමකට අධික මහා සංඝරත්නය වෙත දවල් දානය පිරිනැමෙන අතර, හවස 2.00 ට කඨින වස්ත්‍රය පඬු පෙවීම, වස්සාවාසික සිවුරු පූජාව, ගරු භණ්ඩ පූජාව, කප්රුක් පූජාව සිදුකරන අතර, ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රධාන පාරේ විදුලි පද්ධතිය ද විවෘත කෙරෙනු ඇත.

එදින ම මහා විෂ්ණු දේවාලය, තීන්ත ආලේප කර විවෘත කිරීම ද සිදු වේ.

මෙම වසරේ කඨින පින්කමේ කඨිනානිසංස ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ විචිත්‍ර ධර්ම කථික බෙන්තොට හබුරුගල සුධර්මාකාර පරිවේනාධිපති කාව්‍යශූරී, ශාස්ත්‍රපති මාවනාවත්තේ චන්දන හිමියන් විසිනි.

9 වනදා සවස කුමුදු මුණිරත්න මහතාගේ ධන පරිත්‍යාගයෙන් බුදුසරණ පුවත්පතෙහි පිටපත් ධර්ම දානය පතා බෙදා දීමට කටයුතු සංවිධානය කොට ඇත.

මෙවර කඨින පින්කමේ ප්‍රධානත්වය දරන්නේ දායක සභාව, සංඝමිත්තා කුලඟන සමිතිය, වැඩිහිටි සමිතිය, දහම් පාසල හා තරුණ පිරිස් විසිනි.