Print this Article


සතිපට්ඨාන භාවනාව 67: සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි: නිවන් මගට බාධා කරගනු එපා

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි:

නිවන් මගට බාධා කරගනු එපා

ආනාපාන සතිය හොඳට සිහියෙන්, හුස්ම ඇතුළුවීම, පිටවීම බලා සිටීමෙන් තමන්ට තමන්ගේ සිතේ සමාධි අවස්ථාවට එන්නට පුළුවන්. මාසයක් දෙකක් ගත වුව ද සමාධි අවස්ථාව ලැබෙනවා ම යි.

සීල සාරය(පන්සිල්, අටසිල්, දස සිල් සියල්ල) සමාධි සාරය(භාවනාවෙන් ලැබෙන චිත්ත සමාධිය) පඤ්ඤා සාරය ( නුවණ දියුණු කර ගැනීම) විමුක්ති සාර(නිර්වාණය) යනුවෙන් සාර සතරක් බුදු දහමේ තිබෙයි. මේ සතර වැදෑරුම් සාර ක්‍රම දියුණු කළවිට, අනුගමනය කළ විට මාර්ග ඵල අවස්ථාවට යා හැකි යි. එසේම ජීවිතවල නොයෙක් කරදර, පීඩා, බාධා තියෙන්න පුළුවන්. මේවා සියල්ලම තම සිතෙන් බැහැර කරන්නට වෙනවා. ඇලීම, ගැටීම තුරන් කළ යුතු යි. එවිට තමන්ට හොඳට මේ ගමන යා හැකි යි. දන් දීම පුරුදු කළ යුතු යි. වතාවත් කිරීම පුරුදු කළ යුතු යි. ධර්මයේ හැසිරිය යුතු යි. සමානාත්මතා අදහස් තිබිය යුතු යි. එවිට නිවන් මග බාධාවකින් තොරව පැහැදිලිව ඉදිරියට යා හැකි යි. බාධා යනු මන්දොත්සාහී ගතිය යි. ඉදිරියට ම යා යුතු යි. එවිට කරදර, පීඩා යටකරගෙන ම අපට යා හැකි යි. අනේ! කරදරයි යනුවෙන් සිතුවොත් ඇද වැටෙනවා. එසේම ප්‍රමාදව ආපස්සට යයි. බුදු දහම ආපස්සට යන දෙයක් නො වෙයි. ඉදිරියටම යි යන්නේ. ඒවා අප පුළුවන්තරමින් ඉගෙන ගෙන තමන්ගේ ගුණ සම්පත්තියක් හොඳින් වර්ධනය කරගත්තොත් තමන්ට පුළුවන්කම තියෙනවා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල අවස්ථාවට යන්න.

එසේනම්, සම්මා සමාධිය නැතිව මාර්ග ඵල අවස්ථාවට, ධ්‍යාන අවස්ථාවට යන්නට බැහැ. ඒ නිසා බුදු දහමේ පෙන්වන හැටියට සිතේ තැන්පත්කම බොහොම වැදගත්. එය දවසකින් දෙකකින් ලබන්න බැහැ. බොහෝ දවසක් ගිය ද පංචනීවරණ සංසිඳුවා ගන්නට, යටපත් කරගන්නා විට සිතට ලැබෙන්නේ විශාල ශක්තියක්. එමෙන්ම සිත සමාධි අවස්ථාව දක්වා පත් කරගන්න පහසු වෙයි. සමාධි ගත අවස්ථාවට පත් වීමේ දී පංචනීවරණ තුරන් ව යයි. සම්මා සමාධියේ සතුරන් වන්නේ පංච නීවරණ යි. සම්මා සමාධිය තහවුරු ව ඉදිරියට යද්දී කරදර, පීඩා, බාධා අඩුවී යයි. ඇතැම් විට බාධා ධර්මතා ටික ඉවත්ව නොගියොත් සමාධිය තහවුරු කරගන්න අපහසු වෙයි. නමුත් සමාධිය දිගින් දිගටම මෙනෙහි කළොත්, එය තහවුරු කරගත්තොත් කුමන ශබ්ද ඝෝෂා තැනක වුව ද සිටිය හැකි යි. එතරම් ම සිතේ තැන්පත්කම අගනා වෙයි.

යම් කිසිවෙක්, සතිපට්ඨාන භාවනාව දියුණු කරනවා නම්, අවුරුදු හතකින් මාර්ග ඵල අවස්ථාවට පත් වෙයි. වසර හය, පහ, හතර, තුන , දෙක, එක , මාස පහ, මාස හතර, මාස තුන, මාස දෙක, අඩ මස, යටත් පිරිසෙන් දින හතක් හෝ සතිපට්ඨාන භාවනාව දියුණු කරනවා නම්, මාර්ග ඵල පිළිවෙළින් නිවනට පත්වෙනවා යනුවෙන් ආනිශංස වාරය පැහැදිලි කරනවා.

පටන් ගත්තේ ද, අවසන් කරන්නේ ද එලෙස යි. මෙලෙස දියුණු කළොත් සිත පිරිසුදුව, ශෝක පරිදේව සංසිදී, දුක් කරදර සංසිදී , නිවනට බැසගත්, නිවන අවබෝධ කළ උත්තමයෙක් වෙයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය කරන්නේ බණ ඇසීම, භාවනාව, දාන පින්කම් ආදිය යි. බහුලව ම ගුණ ධර්ම දියුණුවෙන් සම්මා සමාධිය තහවුරු කරගෙන ඉදිරියට ම යන්නට පුළුවන්. සම්මා සමාධිය තමන් ළඟ තිබෙන බව හොඳට සිතේ තබාගෙන අධිෂ්ඨානයෙන් මේ ගමන ඉදිරියටම යා යුතු යි. එවිට වසවර්ති මාරයාගෙන් පවා කරදර වුව ද , හානි විපත් සිදු වුව ද මේවාට නැඹුරු නොවී කොයි කවුරු වුණත් තමන් ඉගෙන ගත් දේ පමණක් සිතට අරගෙන භාවනා දැනුම දියුණු කරගත්තොත් වටිනවා. මේ තාක් ඉදිරිපත් කළේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව යි. මෙහි දිගු විස්තරයක් සඳහන් කළා. භාවනා කරන ක්‍රම, සිතේ පව් යටකරන ක්‍රම පිළිබඳ දිගු විස්තරයක් කළා. මේවා පුළුවන්තරමින් කියවා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අවසන් වෙද්දී තිස් දාහක් ස්වාමීන් වහන්සේ රහත් බව ලැබුවා. සතිපට්ඨාන සූත්‍රයෙන් රහත් වූ සංඛ්‍යාව මෙපමණයි කියා සඳහන් කරන්නට බැහැ. මේ ගැන හසල දැනුමකින් සම්මා සමාධිය භාවනාව රැගෙන එය දියුණුවෙන් නීවරණ යටපත් කරගෙන තම සිත අලෝභ, අදෝශ, අමෝහ, චේතනාවන්ගෙන් පුරවාගෙන, අනාශ්‍රව සංඛ්‍යාත අමා මහා නිවන් පසක් කර ගැනීම සඳහා සම්මා සමාධිය හේතු වාසනා වේවා!