Print this Article


දැහැමි ජීවන ප්‍රතිපදාවෙන් දිනූ දිවි මග අර්ථවත් - කේ.ආර්.ජී.විජේසුන්දර

දැහැමි ජීවන ප්‍රතිපදාවෙන් දිනූ දිවි මග අර්ථවත් - කේ.ආර්.ජී.විජේසුන්දර

" පූජනීය, සම්භාවනීය මහ සඟ රුවනෙහි ඇසුර අවවාද අනුශාසනා ජීවන ගමනේ මිහිරි මතක සටහන් අතර පවතිනවා. කාරුණික මව්පිය සෙනෙහස, කාරුණික ගුරු ඇසුර සිත දිරිමත් කළ කරුණු අතර වෙනවා. දහදිය මහන්සියෙන් දැහැමිව යමක් උපයා ගනිමින් ශක්ති පමණින් යුතුකම් හා වගකීම් ද ඉටු කරන්නට හැකිවීමත්, හැකිතාක් අන්‍යයන් වෙත සේවය සැලසීමත් මෙලොව ජීවිතයේ ලද වාසනාවක්."

සම්බුදු දහම ලෞකික ලෝකෝත්තර දෙ අංශයෙහි ම පරිපූර්ණත්වය ලක් කර ඇති උතුම් සදහම් මාර්ගයක් වේ. ලෞකික දියුණුව අපේක්ෂා කරන ගිහි සමාජය, කළ යුතු දැහැමි රැකියා පිළිබඳ ව්‍යග්ඝපජ්ජ, සිඟාලෝවාද, කූටදන්ත, පත්තකම්ම ආදී දේශනාවන් හි සඳහන් වේ. ආර්ථික දියුණුව සලසා ගැනීමේ දී දැහැමි වෙළෙඳාම පැසසුමට ලක් කර ඇත.

මහනුවර මාපාමඩුල්ලේ සිට සිදාදියට පැමිණි විජය සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ, කේ.ආර්.ජී.විජේසුන්දර මහතා දශක හතරකට අධික කාලයක් දිරිය වඩා තම ව්‍යාපාරය තුළ සලසා ගත් දියුණුව ගැන සිය අදහස් පළ කළේ ය.

සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලක අටවැනියා වූ ඒ මහතා ගුණවත් ,සැදැහැවත් මව්පිය ආභාෂය නිසා ම සොබා දහමට ඇලුම් කරමින්, ගැමි සුවඳ ලබමින් කුඩා කල පටන් ගමේ පන්සලට යොමු වෙමින් ආගමික, සාමාජික කටයුතු කෙරෙහි ද දැක්වූයේ මහත් ලැදියාවකි.

නුගවෙල ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා හයවන වසරේ දී නුගවෙල මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. මාලගම්මන චන්දජෝති නාහිමියන්ගේ ඇසුර ලබමින් දහම් අධ්‍යාපනය ලද විජේසුන්දර මහතා සිදාදියට පැමිණි මග මෙසේ හෙළි කළේ ය.

මගේ ආච්චි, සීයා පවා ආගමට දහමට ලැදියි. ඔවුන් සුවිශේෂී ආගමික මෙහෙවරක නිරත වුණා. ගමේ සංස්කෘතිය හැම දෙනාටම පි‍්‍රය මනාපයි. ගම ම සාමකාමීයි. සහජීවනයෙන් බැඳී පවතිනවා. පෙර පිනකට වගේ ඕනෑම කටයුත්තක දී ඉදිරි දැක්මක් එදා පටන් මට පැවතුණා. ගමට එන ගුරු පාර දිගේ ඉඳහිට ආ භූමිතෙල් කරත්තය, ගොවිතැන ජීවන වෘත්තිය කරගත් ඒ සුන්දර මතකය අද පවා සිහියට නැගෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමෙන් පස්සේ මගේ සොහොයුරා නුගේගොඩ පදික වේදිකාවේ කරගෙන ගිය සුළු ව්‍යාපාරයට අතදීමට කොළඹට පැමිණියා. මගේ පැමිණීමත් සමඟ එදිනෙදා අය වැය සටහන් කරමින් එහි පාලනයක් ඇති වුණා. 1973 දී පමණ මගේ සහෝදරයා රත්න ටෙක්ස්ටයිල් නමින් ආයතනයක් ආරම්භ කළා.

එහෙත් මගේ හිත ඉගෙනීමට යොමුවුණා. 1973 දී නැවත සාමාන්‍ය පෙළ විභාගයට ගමේ දී පෙනී සිට උසස් ලෙස සමත් වුණා. 1976 දක්වා නුගවෙල මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරීමට ලැබුණා. උසස් පෙළ සමත් වූ මිතුරන් සරසවි අධ්‍යාපනයට යොමු වෙද්දී, නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණයෙහි අඩි 15ය20 ප්‍රමාණයේ කඩ කාමරයක් ගෙන එහි 1977 දී පමණ, විජය සෙන්ටර් ආයතනය ආරම්භ කරන්නට හැකිවුණා. වත්කමක් හෝ ශ්‍රම බලකායක් ද නොවු එකල එම කඩ කාමරය රුපියල් 7000 ක පමණ මුදලකට ලබා ගැනීමට හැකි වුණා. එහි දී පාරිභෝගිකයා සතුටු කිරීමට හැකිවීම නිසා බොහෝ දෙනා ආයතනයට ඒමට පටන් ගත්තා.

මේ අතර මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඇසුර නිසා නිතර ආගමික වතාවත්වල නිරත වන්නට අවස්ථාව ලැබුණා. සුරාසූදුවෙන් තොර ජීවිතයට කුඩා කාලයේ සිටම පුරුදු වුණා. සෑම හිමිදිරියක ම පන්සිල් සමාදන් ව, තෙරුවන් ගුණ සිහි කරලයි දවසේ වැඩ ආරම්භ කළේ. පංචශීල ප්‍රතිපදාව දිවිහිමියෙන් සුරැකීමට මම කැප වුණා. ඒවගේම ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වුණා. සේවකයන් දෙතුන් දෙනෙකු ගේ සහායෙන් නුගේගොඩ වෙළෙඳසැල් දෙක තුනක් අරඹන්ට හැකිවුණා. ව්‍යාපාරය තවත් පුළුල් වුණා. සේවක පිරිස ද තිහ හතළිහ දක්වා වර්ධනය කළා. ඒ සේවක පිරිසට උපරිම පහසුකම් සලසමින්, සේවක අයිතීන් ද සුරක්ෂිත කරමින් කළ මෙහෙවර නිසා සේවක පිරිස ද ආයතන වෙත මහත් ඕනෑකමකින් මෙන්ම ලැදියාවෙන් ද ක්‍රියා කළා. 1977 දී මෙරටට විවෘත ආර්ථිකය හදුන්වාදීමත් සමඟ නිමි ඇඳුම් ක්ෂේත්‍රයට ද සී.අයි.බී. නමින් ඇතුළත් වුණා. මෙරට අවශ්‍ය ඇඳුම් පැළඳුම් නිපදවා අලෙවි කිරීමට ඇඟලුම් කම්හල් කොළඹ, නාවින්න, පොල්ගස්ඕවිට, මහනුවර, ගම්පොළ ආදී ප්‍රදේශවල ද ආරම්භ කරන්නට හැකිවුණා. එක් දහස් පන්සියයක පමණ පිරිසක් එහි සේවය කළා. එම ව්‍යාපාරය පුළුල් කරමින් නුගේගොඩින් මහරගමටත්, රට පුරාත් මේ වන විට වෙළෙඳ ප්‍රදර්ශනාගාර දහනවයක් පමණ පවත්වා ගෙන යන්නට හැකිවීම වාසනාවක්. ඒ සෑම වෙළෙඳ ආයතනයක ම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කර, පන්සිල්හි පිහිටා, ආයතනික ප්‍රතිඥාව සිහිකර දවසේ කටයුතු ඇරඹීම අනිවාර්යයෙන් ම සිදු කෙරෙනවා.

2007 දී ඇරඹූ කේ.ආර්.ජී. විජේසුන්දර ජාතික සහ සේවක සුබසාධන පදනම තුළින් ජාතික, ආගමික, සාමාජික හා අධ්‍යාපනික වශයෙන් ද පුළුල් මෙහෙවරක් සිදු කරන්නට හැකි වුණා.

අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මා හිමිපාණන් වහන්සේ ගේ ‘මිනිසා හදා රට හදන චින්තනය ආදර්ශයට ගනිමින් පුළුල් සමාජ සුබ සාධන මෙහෙවරක් සලසනවා. සේවකයන්ගේ ආවාහ විවාහ කටයුතුවල දී වගේම, ඔවුන්ගේ මව්පියවරුන්ගේ අවංමග්‍යලයන් හි දී වෙසෙසින් විශේෂ සහන සලසනවා. රෝගාබාධයන්ගෙන් පෙළෙන සේවක දරුවන්ගේ ද යහපත සලසනවා. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ගිණුම් අරඹා උපකාර කරනවා. කළමනාකාරිත්වයේ ඉහළ සේවකයන් දඹදිව වන්දනාවේ වාර්ෂිකව යොදවනු ලබනවා.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයටත්, කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයටත් මහනුවර මහ බෝ පදනමටත් එක්ව ආගමික මෙහෙවර ඉටු කරන්නට හැකිවීම මා ලද භාග්‍යයක්.

විජය සමූහ ව්‍යාපාරයට හා ඊට අනුබද්ධිත සී.අයි.බී. ෂොපින් සෙන්ටර් නාමය ජනතා සම්මානයට ලක්වන්නට පංචශීල ප්‍රතිපදාව, ආයතනික ප්‍රතිඥාව බවට පත්කර ගනිමින් ක්‍රියාකිරීම දෙලොව ජය ගෙනෙන කටයුත්තක් ලෙසයි මා දකින්නේ. කවර තරමකින් ජීවත් වුව ද සසර ගමනට මග වියදම් සොයා සපයා ගත යුතුයි. එනම් අධ්‍යාත්මික සුවයත් සලසා ගත යුතුයි.

එදා පදික වේදිකාවෙන් ඇරඹූ ගමන කටුක අමිහිරි අත්දැකීම් ලබමින් දිවියට එය සවියක් කර ගන්නට හැකිවුණා. නොපසුබට උත්සාහය සම්බුදු දහම කෙරෙහි දැක්වු විශ්වාසය ගෞරවය නිසා දිවියේ හැමදාටම මානසික සුවයක් සැලසුණා

ගමින් ගමට සදහම් චාරිකා, මාසික ධර්ම දේශනා වැඩ සටහන්, රණවිරු උපහාර, දහම් පාසල් ප්‍රතිසංස්කරණ, වැඩිහිටි උපහාර, සුවසරණ සේවා, රෝහල්, ළමා නිවාස පිළිසකර කරවීම්,ලේ දන්දීම් , සීල සමාදාන වැඩසටහන් ආදී සේවා රැසකින් නිහඬ දායකත්වය සැපයී මට කටයුතු කරනවා.

පූජනීය, සම්භාවනීය මහ සඟ රුවනෙහි ඇසුර අවවාද අනුශාසනා ජීවන ගමනේ මිහිරි මතක සටහන් අතර පවතිනවා. කාරුණික මව්පිය සෙනෙහස, කාරුණික ගුරු ඇසුර සිත දිරිමත් කළ කරුණු අතර වෙනවා. දහදිය මහන්සියෙන් දැහැමිව යමක් උපයා ගනිමින් ශක්ති පමණින් යුතුකම් හා වගකීම් ද ඉටු කරන්නට හැකිවීමත්, හැකිතාක් අන්‍යයන් වෙත සේවය සැලසීමත් මෙලොව ජීවිතයේ ලද වාසනාවක් ලෙසයි මා දකින්නේ.

මානසික සැහැල්ලුව සිතට දිව ඔසුවකි. කවර කටයුතු අතර වුව ද අධ්‍යාත්මික, ගුණ වගාව දියුණු කර ගැනීම මහත් සතුටක් ගෙන දෙනවා.