Print this Article


හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානයට අභිනව චෛත්‍යයක්

හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානයට අභිනව චෛත්‍යයක්

හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය සැප්තැම්බර් මස 12 වන ගුරු දින පස්වරු 3.25 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතව තිබිණි.

හොරණ - මාරගහහේන ජයබිම විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ස්ථානයකි. මෙම ස්ථානය 1967 දී පමණ ‘ජයබිම ආරාමය’ නමින් ආරම්භ කරන ලද්දේ අනගාරික දන්ගල්ලේ නාරද තුමන් විසිනි. ශ්‍රීපාද වන්දනාවේ ගිය මාරගහහේන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු බෑන සමනල ප්‍රදේශයේ භාවනානුයෝගී ව වැඩ විසූ අනගාරික නාරද තුමන් දැක, පැහැදී කළ ආරාධනාවක් මත මෙම ප්‍රදේශයට පැමිණ ‘ජයබිම ආරාමය’ ආරම්භ කර ඇත. ‘ජන යහපත බිහිකරන මග’ යන අර්ථයෙන් මෙය ‘ජයබිම’ ලෙස නම් කර තිබේ. මුලදී නාරද තුමන් වැඩ විසුවේ ලෑලි වලින් තැනූ කුඩා කුටියක ය.

අනගාරික නාරද තුමන් වඩා ප්‍රසිද්ධියට පත්වූයේ විචිත්‍ර දේශකයෙකු වශයෙනි. ගව ඝාතනයට විරුද්ධව රට පුරා දේශන පැවැත්වූ මෙතුමා රට, ජාතිය, ආගම හා ත්‍රිවිධ හමුදාවට සෙත්පතා කළ ආශිර්වාද පූජා දහස් ගණනකි. මෙතුමා ‘ලංකා පූජාව’ නම් විශේෂ පූජාවක් ද ජයබිම ආරාමයේ සිදු කරන ලදී. අනගාරික නාරදතුමා කතරගම කිරිවෙහෙර මුල් අවදියේ අභාවයට ගොස් ඇති අවස්ථාවේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද නාහිමිවරුන් සමඟ එක්ව කටයුතු කර ඇත.

අනගාරික නාරද තුමන් වියපත් වීමත් සමඟ අසරණ තත්ත්වයට පත් වූ එතුමා රැක බලා ගැනීමේ කටයුතු හා මෙම ස්ථානයේ දියුණුව සඳහා එවකට කුඩා උඩුව නාලන්දා පරිවේණාධිපතිව වැඩ විසූ දඹර සෝභිත හිමියන්ට ආරාධනා කරන ලදී. කුඩා උඩුව නාලන්දා විද්‍යායතන, බෝධිමළු විහාරයේ විහාරාධිපති දැනට එංගලන්තයේ වැඩ වසන ආචාර්ය හාන්දුපැල්පොල මහින්ද නාහිමියන්ගේ එක් ශිෂ්‍යරත්නයක් වන දඹර සෝභිත හිමියෝ ශාස්ත්‍රපති උපාධිධරයෙක් වන අතර දැනට හොරණ ක/තක්‍ෂිලා කනිෂ්ඨ විද්‍යාලයේ සහකාර විදුහල්පති ධූරයේ ද කටයුතු කරති. උන්වහන්සේගේ වැඩම කිරීමත් සමඟ ‘ජයබිම ආරාමය’ විහාරස්ථානයක් බවට පත්ව වර්තමාන දියුණුවේ මූලාරම්භය බවට පත්විය. අනගාරික නාරද තුමන් විසින් ඇරඹි ප්‍රදේශයේ සමාජීය, ආගමික පුනර්ජීවන කටයුතු තරුණ, වැඩිහිටි, මහලු සැමගේ ප්‍රසාදය දිනා ගනිමින් වැඩි දියුණු කිරීමට දඹර සෝභිත හිමියන් කැප විය. එය ප්‍රදේශවාසීන්ගේ ගෞරවාදරයට පත්වී ඇත. විහාරස්ථානයට අඩුපාඩුවක් ව පැවැති බොහෝ අංගෝපාංගයන් ප්‍රදේශවාසීන්ගේ උදව් උපකාර ඇතිව සම්පූර්ණ කිරීමට දඹර සෝභිත හිමියෝ කටයුතු කරමින් සිටිති. අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ ද එම උත්සාහයේ ප්‍රතිඵලයකි.

ඒ සඳහා මුල්වී කටයුතු කරනු ලැබුවේ හොරණ විජයසිරි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ බී. ඒ. ආනන්ද විජයසිරි මහතා ය. ඒ මහතාගේ මග පෙන්වීමෙන් හොරණ විජයසිරි ෆ්‍රෙෂ් ෆුඩ් අධිපති, හොරණ මෙට්ට්‍රො සිංහ සමාජයේ වරලත් සභාපති සිංහ ලලිත් විජයසිරි මහතා විසින් මියගිය තම මෑණියන් වන පාඨශාලාචාරිනී වල්පිටගේ කරුණාවතී මෑණියන්ට නිවන් සුව පතා සියලු සහෝදර සහෝදරියන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය නිර්මාණය කර ඇත.