Print this Article


බරක් නැතිව දිවි ගෙවන හැටි

බරක් නැතිව දිවි ගෙවන හැටි

අපි අද බොහෝ විට නොයෙක් බර කර මත තියාගෙන යි ඉන්නේ. මේ බර වැඩි හරියක් ම අපේ කරේ පටවා ගන්නේ අප විසින් ම යි. වෙන කවුරුවත් පටවපු බර නොවෙ යි. අපි බොහොම වේලාවට වෙහෙසට පත් වී සිටින්නේ මනසින්.

ඉතින් කය වෙහෙසීම නිසා ඇති වන බර සමහරවිට ඉක්මනින් අවසන් කරන්නට පුළුවනි. අපි මෙහෙම හිතුවොත් ඒ කරුණ මෙහෙම තේරුම් කර ගන්නට හැකියාව තිබෙනවා. එනම් යම් කෙනෙකුට දවස තුළ යම් වැඩක් පැවරුණහම ඒ වැඩේ දිවා රෑ නැතිව, කෑමක් බීමක් නැතිව වැඩ කර හරි ඒක අවසන් කරන්නට පුළුවනි. ඒ වැඩේ එතනින් අවසන් වෙනවා. නැවත ඒ ගැන හිත හිත ඉන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යම් තරුණයෙකුට අවශ්‍ය වෙනවා හදිසියේ මගතොටේ දී හෝ පාරේ ගමන් කරන විට නිතර නිතර දැකලා පුරුදු වෙච්ච යම් රූමත් තරුණියක්.

ඒ තැනැත්තිය තම සිත ඇද බැඳගත්තට පස්සේ ඇය තමා සතු කර ගැනීමේ රාගික අවශ්‍යතාවක් ඇති වෙනවා. අත්පත් කරගත හැකි නො වීම නිසා හිතින් මහත් අසහනයට පත් වෙනවා. ඉතින් මේ සම්බන්ධ ව නොයෙක් බාධකවලට ඔහුට මුහුණ දෙන්නට වෙනවා. මේවා දිග්ගැහිලා ගිහින් ජීවිත විනාශ කර ගැනීම දක්වා දියුණු වෙන්නට පුළුවනි. ඉතින් මේවා තමයි අපේ ජීවිත ගැටලු. නොපැමිණි බරක් කෙරෙහි යොමු වෙලා අවාසනාවන්ත තත්ත්වයන්ට මේ විදිහට මුහුණ දෙන නොයෙක් ගැටලුවලින් අපේ මනසින් අප බර දරනවා. මේ කරුණ සම්බන්ධව ස්ත්‍රී පුරුෂ හෝ බාල මහලු හෝ ජාති ආගම් වශයෙන් භේදයක් නැහැ. පුහුදුන් අප කවුරුත් මේවට මුහුණ පානවා.

ඉතින් මනසින් අපි දුක් විඳීන්නේ අප විසින් ම ඒවා හිතින් ගොඩනගා ගැනීමෙන්. අපි හුඟක් දුරට වැඩ කරනවා වුණත්, හිතින් කරදර විඳීමින් තමා ඒවා කරන්නේ. මොකද? අපි හැම කරුණක දී ම හිතනවා වැඩියි. අපි පුරුදු වෙලා නැහැ වර්තමානයේ ජිවත්වීමේ චින්තනයට. අපට යම් රාජකාරියක් පැවරුණත් අපි කරන්නේ ඒ පවරපු උසස් නිලධරයා ගැන හිතමින්, ඔහුට ද්වේෂ කරමින්. රාජකාරිය ඉටු නො කර කල් මැරීමට යි. මේවායින් සිත අපිරිසුදු වෙනවා.

මේ නිසා බොහෝවිට රැකියා කරන බොහොමයක් දෙනා මනසික් කරදර විඳීමින් ජීවත් වෙනවා. මේ කරුණට අදාළ ව බුදුරජාණන් වහන්සේ දේශනාවක් කර තිබෙනවා. ඒ අනුව, පණ්ඩිතයෝ දෙදෙනෙක් ඉන්නවා. උන්වහන්සේ එහි දී පැමිණි බර දරන පුද්ගලයාත්, නො පැමිණි බර නො දරන පුද්ගලයාත්, යන දෙදෙනා පණ්ඩිතයින්, නුවණැත්තන් දෙදෙනෙක් විදිහට යි පෙන්වා දීලා තිබෙන්නේ. නො පැමිණි බර දරන පුද්ගලයාත් පැමිණි බර නො දරන පුද්ගලයාත් අනුවණ හෙවත් බාලයන් දෙදෙනෙක් හැටියට ත් උන්වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් කවුද මේ නො පැමිණි බර දරන පුද්ගලයා කියලා පළමුවෙන් ම විමසා බලමු. මේ තත්ත්වයේ සිටින අය අප සමාජයේ කොතෙකුත් ඉන්නවා.

දැන් අපි හිතමු මේ දිනවල නවක උපාධිධාරීන්ට රැකියා පත්වීම් ලබා දෙනවා. අප දන්නවා දැනටමත් රජයට සම්බන්ධ ආයතනයක රැකියාවක් කරමින් සිටි අයෙක් එයත් සඟවලා සිටිමින් එවැනි පත්වීමක් ලැබුවා. ඉතින් පත්වීම ලබා ගන්නට පෙර හරි ම උනන්දුවක් දැක් වුවා එය ලබා ගන්නට. සම්මුඛ පරීක්ෂණයට ත් බොහෝම උනන්දුවෙන් ගිහින් පෙනී හිටියා. හැබැයි පත්වීම ලැබුණට පස්සේ මහත් අසහනයට පත් වුණා. දැන් කල්පනා කරමින් ඉන්නවා. අලුතෙන් ලබා ගන්නට නියමිත රැකියාවේ දොස් දකිනවා. මානසික වශයෙන් අසහනයට පත් වී සිටිනවා. දැන් ඔහු හිතන්නට පටන් ගෙන සිටිනවා අලුතෙන් ලබපු රැකියාවේ වැටුප අඩු යි.

ටික කලක් එනම් අවුරුදු දෙකක් සේවය කරන තුරු ස්ථිර කරන්නේ නැහැ කියල ත්, ඒ කාලය තුළ දීමනාවක් පමණ යි දෙන්නේ. ඒ වැටුපත් දැන් ලබන වැටුපට වඩා අඩු යි ආදි වශයෙන් හිතමින් දුක් වෙනවා. ඉතින් දැන් මොක ද? වෙලා තිබෙන්නේ, තවත් අයෙකුට ලැබෙන්නට තිබුණු රැකියාව අහිමි කරලා, තමන් ඒ රැකියා අවස්ථාව ලබා ගෙන දැන් ඒ අලුතෙන් ලද පත්වීමේ වියහැකි ආදීනව ගැන හිතමින් හිතින් කරදර විඳීනවා.

මෙය මානසික වශයෙන් එක පැත්තකින් රෝගි තත්ත්වයක්. මේ තත්ත්වය ජීවිතයේ නොයෙක් අවස්ථා කෙරෙහි බලපාන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ගියොත් සිදුවන්නේ මානසික රෝගී බවකට පත්වීම යි. ඉතින් මේ තත්ත්වය කොහොම ද? මග හරවා ගන්නේ. එහි දී අපේ චින්තනය වෙනස් කර ගන්න උනන්දු වන්නට ඕන.

මේක අනවශ්‍ය බරක් දරා ගෙන ඉඳීමක්. මෙතෙක් සිදු නො වූ දෙයක්, සිදුවන්නට තිබෙන දෙයක් කියා හිත හිතා දුක් විඳීමක් තමා කර ගෙන තිබෙන්නේ. මෙහි දී වෙලා තිබෙන්නේ තමන්ගේ මනසට තමන් වහල් වීමක්. තම සිත සිහියේ පිහිටුවා ගෙන ක්‍රියාකිරීමේ ශක්තිය තමා තුළ නැති බව තේරුම් කර ගෙන තමන් උනන්දුවෙන් ක්‍රියා කරන්න ඕන. නො පැමිණි බර ගැන අපි කල්වේලා ඇතිව හිතන්නට පුරුදු වෙන්නට හොඳ නැහැ. අනාගතයේ සිදු විය හැකි දේ ගැන සිතන්නේ වර්තමානයේ පවතින කරුණු දිහා බලල යි. ඉතින් අද තිබෙන තත්ත්වයන් වෙනස් විය හැකි බව අප හිතන්නේ නැහැ. අනාගතය කියන කාලය අපට එළඹුණා ම එදා තිබුණු ලෝකය වෙනස් වෙලා ඇති බව අපට වැටහෙන්නට පුළුවනි. ඒ වෙනස තුළ පෙර පැවති ගැටලු දැන් පහව ගිහින් වෙන්න පුළුවනි. එසේත් නැතිනම් තිබුණටත් වඩා ගැටලු මතු වෙලා වෙන්නත් පුළුවනි. ඒවා බලාපොරොත්තුවෙන් තමා අපි ඒ බර දරන්නට අපේක්ෂා කළේ. එවැනි කරදර, බර අපට විඳීන්නට සිද්ධ වෙනවා. එය පැමිණි බරක් ලෙස අප තේරුම් ගෙන ඊට මුහුණු දීම යි වැදගත්කම වන්නේ.

මේ අතර පැමිණි බර ගැන දුක් වෙන බොහෝ දෙනාත් අපේ සමාජයේ ජීවත් වෙනවා. දැන් අප හිතුවොත් අපි අනිවාර්යයෙන් ම ජරාව, ව්‍යාධිය, මරණය යන මේ කරුණුවලට මුහුණ පානවා. ඉතින් මේවා අනිවාර්ය බර. ඒක දරන්නට ඕන. එහි දී අපි බුද්ධිමත් ව හිතන්නට පුරුදු වෙන්න ත් ඕන. දැන් අපි දන්නවා දරුණු රෝගයක්, ආබාධයක් වෙනකොට අපි ඒක ගැන දුක්වෙනවා. සමහර විට ඇඬූ කඳුළින් කල් ගත කරනවා. ඉතින් මෙවැනි අවස්ථාවල අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති හේතුඵල ධර්මතාව, අනිත්‍යතාව, අෂ්ටලෝකධර්මවල ස්වභාවය, එවැනි තත්ත්වයන්ට අප කවුරුත් මුහුණ දෙන්නට ඕන කියන මානසික මට්ටම තමන් ලබාගෙන නැතිකම නිසා දුකට පත් වෙනවා. ඉතින් ධර්මානුකූලව හිත සකස් කර ගත් අය අප දකිනවා.

එවැනි උදවිය ඒ කිසිවකට දුකට පත් වෙන්නේ නැහැ. ජීවිතයේ අනිවාර්ය බර හැටියට තමා ජාති, ජරා, ව්‍යාධි, මරණ, යන මේ කරුණු. ඉතින් මෙවැනි කරුණුවල දී අප ධර්මානුකූලව හිතා පැහැදිලි මානසික තත්ත්වයක් ඇති කර ගැනීමේ වැදගත්කමයි මෙහි දී දේශනා කර තිබෙන්නේ. බරක්, අභියෝගයක් පැමිණියහම ඊට මුහුණ දීම යි ඉතා වැදගත් වෙන්නේ. ඉතින් මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපට මෙහි දී පෙන්වා දී තිබෙන්නේ බාල ලක්ෂණ දෙකක්. එකක් තමා නො පැමිණි බර, ගැටලු, ප්‍රශ්න, අවුල් ගැන කල්වේලා ඇතිව හිත හිත දුකට පත්වෙන, ජීවිතය අසාර්ථක කර ගන්නා අය බාලයන් ලෙසින් මේ දේශනාවෙන් පැහැදිලි කරලා දෙන එක් කාරණයක්.

විවාහකයෙක් නම් ඒ විවාහ ජීවිතය නිසා ඇති වන අනිවාර්ය බර ගැන අවබෝධයකින් ඔහු ඊට ඇතුළත් වෙන්නට අවශ්‍ය යි. රැකියාවකට යන අයෙක් නම්, ඒ රැකියාවේ ස්වභාවය අනුව, එහි ආදීනව ගැන වැටහීමකින් එම රැකියාව හෝ පත්වීම භාර ගතයුතු වෙනවා. එතකොට කිසිදු අසහනයකින් තොරව තමා වෙත ඒ ඒ කරුණට අදාළව පැවරෙන කටයුතු හොඳ මානසික තත්ත්වයක් ඇතිව ක්‍රියා කිරීමේ ශක්තිය ඇති කර ගන්නවා. එහෙම නො නොවුණහොත් හැමදාම ත් ඔහු අසහනයෙන් ජීවත් වෙනවා. රැකියාවේ වගකීම් ගැන බිය වෙනවා. ඒ රැකියාව සම්බන්ධයෙන් වැරැදි මත ඇති කරගන්නවා. ඒ නිසා හැමදාම ත් අසහනය ම යි. රැකියාවේ තෘප්තිය ඔහුට නැහැ.

ඒ නිවසෙන් සතුට සාමය පළා යනවා. අද ගිහි ජීවිත ගත කරන බොහෝ දෙනෙක් අසහනයෙන්, පැමිණි බර වගේ ම නො පැමිණි බර නිසා හිතෙන් ප්‍රශ්න ගොඩ නගා ගෙන ජීවත් වන අය යි. ඉතින් මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අඳ බාල ලක්ෂණයක් ලෙසට යි. අපි කවුරුවත් මේ තත්ත්වයට පත්විය යුතු නැහැ. මේ නිසා අප ගත කරන මේ භවය තුළ පමණක් නොව ඊ ළඟට ලබන භවය පවා දුක් සහිත තත්වයකට පත්වීමට ඉඩ ඇති වෙනවා. මොක ද? නිරන්තරයෙන් එවැනි අසහනකාරි තත්වයක් තුළ හිතේ ඇති වන්නේ අකුසල් සිතිවිලි. ගෙදර දොරේ ජීවත් වන දරුවන්, අඹුව, ගෙදරට පැමිණෙන ආගන්තුකයන් සමඟ පවා අසතුටෙන් සමහර විට වෛරී සිත් ඇතිව ක්‍රියා කරන්නට ඉඩ තිබෙනවා.

ඒ හැම කරුණක් ම අකුසල ගණයට වැටෙනවා. ඉතින් මේවා බලා, ඉන් මිදීමේ තත්ත්වයක් ඇති කර ගැනීම යි බුදු දහමේ දක්වා තිබෙන්නේ. මෙච්චර පිරිසුදු දහමක් සන්දිට්ඨිකව ම අපට ලැබී තිබිය දී ඇයි අපි බාල තත්ත්වයට පත්වන්නේ. එ නිසා මේ කරුණ ගැන හිතලා මේ සූත්‍ර දේශනාවෙන් පෙන්වන පරිදි අපි පණ්ඩිතයන් වශයෙන් ක්‍රියා කරන්නට නම් නො පැමිණි බර ගැන හිතමින් අසහනයට පත් ව හිත අවුලකට, අපහසුතාවයකට පත් කරගන්නේ ත් නැති, පැමිණි බර පිළිබඳව පසු තැවෙන්නේත් නැතිව උත්සාහවන්තව මුහුණ දී අභියෝග ජය ගැනීමේ තත්ත්වයක් උදා කර ගැනීම තුළින් පණ්ඩිත ගති ලක්ෂණ ඇති කර ගැනුමට අදිටන් කර ගැනීම යි වැදගත් වන්නේ.