Print this Article


සතිපට්ඨාන භාවනාව 64: සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා වායාම: අත්නොහළ යුතු උත්සාහය

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා වායාම:

අත්නොහළ යුතු උත්සාහය

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමස්ත ලෝකයේ ම විසිරී පැතිරී ගියා. අනන්ත ලෝකවල දෙව් බඹුන් පැමිණ ධර්ම ශ්‍රවණයෙන්, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් බවට පත් වුණා. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහයේ ලෝම ධාතූන් වහන්සේ, කේෂ ධාතූන් වහන්සේලා විවිධාකාර දේව, බ්‍රහ්මයන් විසින් වැඩමවනු ලැබ වැඳුම් පිදුම් කරනු ලැබුවා.

බුද්ධ ශාසනය නිසා ලැබුණු ලාභයෙන් කෙතරම් පිනක් ලැබෙනවා ද? බුද්ධ පූජාව, වන්දනා මාන, සර්වඥධාතූන් වහන්සේලා, වෙහෙර විහාරාදී සියල්ල ම ලැබුණේ සම්මා වායාම මූලිකව යි. එනම්, උතුම් උත්සාහය යි. බුදුවරු දාහක් ලොව පහළ වුණත් උත්සාහය නැතිනම්, අපට වැඩක් වන්නේ නැහැ. එසේනම්, උත්සාහය කොයි කා ළඟත් හොඳින් තිබිය යුතු යි. සම්මා වායාම යනු නිවැරැදි උත්සාහය යි. ‘සම්මා’ වදනට තේරුම් කිහිපයක් ද වෙයි. උතුම් , ශ්‍රේෂ්ඨ , යහපත් , පිරිසුදු, නිවැරැදි අති උතුම් ආදී වශයෙනි.

සම්මා මාර්ගාංගය, නිවැරැදි උත්සාහය තේරුම සම්මත වෙයි. උට්ඨාන වීර්යය , උත්සාහය, සම්‍යයග් ප්‍රධන් වීර්යය, වීර්යය ඉන්ද්‍රිය, වීර්යය බලය, විරිය සම්බොජ්ඣංගය, විරිය ඍද්ධිපාද , ආදියෙන් බහුලව ම කියැවෙන්නේ වීර්යය ගැන යි. සම්මා වායාම යනුවෙන් පවසද්දී මෙම ධර්මයන්ට සිත නැඹුරු විය යුතු යි.

නූපන් අකුසල් ඉපදවීම නොකළ යුතු යි. නො කළ අකුසල් නො කළ යුතු යි. එසේම උපන් අකුසල් නැති කිරීමට ගන්නා උත්සාහය, තමන්ගේ සිතේ තිබෙන ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල් කම්මැළිකම මුල්වී හට ගත්තා. මේවා නැති කිරීම සඳහා ගන්නා උත්සාහය යි. නූපන් කුසල් ඉපදවීමට ගන්නා උත්සාහය යි. කර ගැනීමට නොහැකි වූ දාන, සීල, භාවනා පින්කම් සීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කර ගැනීම සඳහා ගන්නා උත්සාහය යි. උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා ගන්නා උත්සාහය යි . එසේනම්, තමන් කරගෙන යන සියලුම කුසල සම්පත්තිය පවත්වාගෙන යා යුතු යි. වැඩි දියුණු කරගත යුතු යි. එය සම්මා වායාම යි.

භාවනාවට ගැනීමේ දී තමන් නිවැරැදි උත්සාහයෙන් කටයුතු කරන බව අධිෂ්ඨාන තබාගෙන ‘මම නූපන් අකුසල් නූ පදවන්නෙමි, මම උපන් අකුසල් නැති කරන්නෙමි, මම නූපන් කුසල් උපදවන්නෙමි, මම උපන් කුසල් දියුණු කරන්නෙමි’ යනුවෙන් සිය දහස්වර සිතෙන් මෙනෙහි කරන්න. අවසානයේ මම උත්සාහවන්තයෙක් වන්නෙමි, යනුවෙන් කිහිප වරක් ම මෙනෙහි කරන විට සම්මා වායාම හොඳින් වැඩෙයි. එසේම, නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීම සඳහා සුවිශේෂී ධර්ම සම්පත්තියක් රැස් කරගත්තා වෙනවා. උත්සාහය සහ ප්‍රඥාව හොඳින් ක්‍රියාත්මක කළ යුතු යි. එවිට නිවැරැදි ප්‍රතිපත්තියක පිහිටාගෙන ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා.

මහා සීව නමින් ස්වාමීන් වහන්සේනමක්, උත්සාහයෙන් දොළොස් වසක්ම භාවනා කරද්දී, සක්මන් කිරීමෙන් යටි පතුල් පැලී ගියා. පසුව දෙදණින් ද සක්මන් කළා. දෙදණ පැලී ගිය ද රහත් වීමට නොහැකිව උන්වහන්සේ ගසක් පාමුල වැඩ සිටිමින් අසවල් පුද්ගලයා රහත් වුණා, අනේ ! මට තවමත් රහත් ඵල ලැබුණේ නැතැ ‘යි හඬා දොඩා වැළපුණා. එහි දී අසල ගසක් මත වූ වෘක්ෂ දේවතාවෙක් ද ස්වාමීන් වහන්සේට ඇසෙන සේ අඬන්නට වුණා. එහි දී ස්වාමීන් වහන්සේ ගසේ සිට අඬන්නේ කවුදැ’යි විමසුවා. ස්වාමීනි, මා වෘක්ෂ දේවතාවෙක්. මට ද මාර්ග ඵලයක් ලැබේවා’ යනුවෙන් අඬනවා යැයි වෘක්ෂ දේවතාවා පැවසුවා. මෙය ස්වාමීන් වහන්සේගේ සිතට තදින් දැනී ගියා. මහා සීවය පෙනෙනවා නේද? දෙවියොත් ඔබ ගැන බලාපොරොත්තුවෙන් සිටින්නේ යනුවෙන්. ඒ නිසා උන්වහන්සේ උත්සාහය අත නො හැර ම දැඩි අදිටනින් යුතුව නුවණ දියුණුවෙන් නැවත භාවනාව අරඹා නොබෝ වේලාවකින් රහත් මඟඵල ලබා නිවනට පත්වුණා.

එසේනම්, බලවත් උත්සාහයෙන්, සීල ආදී ගුණ, මාර්ග ඵල දියුණු කර ගැනීම දක්වා ම යන්නට පුළුවන්. කාටත් අවශ්‍ය කරන බලවත් උත්සාහය පදනම් ව භාවනාව සිතෙන් මෙනෙහි කරමින් සිය, දහස්වර පෙර සඳහන් කරුණු සතර මෙනෙහි කළ යුතු යි. අවසානයේ ‘මම උත්සාහවන්තයෙක් වන්නෙමි’ යනුවෙන් සිය දහස්වර මෙනෙහි කළ යුතු යි. එවිට තමන් සම්මා වායාමයෙන් පිරිපුන් කෙනෙක් බවට පත් ව නිවන් මඟට බැසගෙන ඉදිරියට යන්න පුළුවන්.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ බලවත් වීර්යයකින් පාරමී දම් පුරා සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයකින් පසුව බුද්ධත්වය ලැබුවා. උන්වහන්සේට උත්සාහය සේ ම හොඳ නුවණක් තිබුණා. නුවණින් සමන්විත, සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයකින් බුද්ධත්වය ලැබූ උන් වහන්සේ උග්ඝටිතඤ්ඤ බුදුවරු නමින් හඳුන්වනවා.

දස සංයෝජන එනම්, තමන්ගේ ශරීරය පිළිබඳව තිබෙන දෘෂ්ටිය , සැක සාංකාව , වැරැදි සීල සමාදාන, කාම තෘෂ්ණාව, තරහව, රූප සහ අරූප ලෝකවලට තිබෙන ඇලීම , මාන්නය, උඩඟුකම සහ මෝඩකම තිබෙනතාක් කිසිම කෙනෙකුට සසර දුකෙන් නිදහස් වෙන්න බැහැ. දස සංයෝජනයෝ සම්පූර්ණයෙන් විනාශ කර ගැනීමට උත්සාහය, නුවණ අවශ්‍යය යි. උත්සාහය පදනම්ව මෙනෙහි කරන විට නුවණ අනිවාර්යෙන් යෙදෙනවා. නුවණ සහ වීර්යය දෙක යෙදීම නිසා සසර ගැට ගසා තිබෙන දස සංයෝජන විනාශ වෙනවා. තව ද බණ ඇසීම, භාවනා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙයි.

සිතෙහි පල්වූ නරක් වූ දේ එනම් ආශ්‍රවයන් ද, පංචකාම වස්තූන් පිළිබඳව ඇති තෘෂ්ණාව කාමාශ්‍රව ද එනම් තණ්හාව අධික බව ද, ලෝභකම, මසුරුකම, කාමච්ඡන්දය ආදී තම සිතට ලැබෙන පංචකාම පිළිබඳ තෘෂ්ණාව ද දුරු කළ යුතු යි. තණ්හාවට නම් සියයක් ද, තණ්හා වර්ග එකසිය අටක් ද වෙයි. මෙහි බැරෑරුම් බව දැන් වැටහෙනවා නේද? ඒ නිසා තණ්හාව තුරන් කරන්නට උත්සාහය බොහොම වැදගත්. ඒ සඳහා එනම් සම්මා වායාමය බොහොම වැදගත් වෙයි.

මෙලෙස කාමාශ්‍රව නැති කරන විට, භව තෘෂ්ණාවක් හට ගනි යි. එනම් භවයට ඇති ආශාව යි. එසේනම්, කාමාශ්‍රව නැති කළා සේ භව තෘෂ්ණාව ද කවුරුත් නැති කළ යුතු යි. තව ද, දිට්ඨාශ්‍රව මිසදිටුකම් ඇති බව ද, විවිධාකාර වැරැදි අදහස් සිතිවිලි ආදිය ද සිඳ බිද දැමිය යුතු යි. අවිජ්ජාශ්‍රව ආදී ආර්ය සත්‍ය අවබෝධ නො වීම, මෝඩකම නමින් හඳුන්වයි. එයත් ආශ්‍රවයක්. මෙලෙස සඳහන් කළ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව, ආදිය නැති වූ විට අනාශ්‍රව වෙයි. එනම් රහතන් වහන්සේ යි. ඒ සඳහා සම්මා වායාම හොඳින් දියුණු කළ යුතු යි. චතුරාර්ය සත්‍ය අවබෝධකරගෙන නිවනට පත්වීම සඳහා සම්මා වායාම හොඳට මෙනෙහි කරමින් සමාධිය තහවුරු කර ගන්න. හමුවෙන මාරක, බාධක සියල්ල සිඳ බිඳ දමා උත්සාහය පදනම්ව මේ ගමන යා යුතු යි. ඒ සඳහා සම්මා වායාම මාර්ගාංගය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. උත්සාහය පෙරමුණට ගෙන කටයුතු කළොත්, තමන් බලාපොරොත්තු වන අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්.