Print this Article


අනුබුදු මිහිඳු මා හිමි පූජෝපහාරයට මිහිඳු මහා පෙරහර

අනුබුදු මිහිඳු මා හිමි පූජෝපහාරයට මිහිඳු මහා පෙරහර

අනුබුදු මිහිඳු මා හිමි පරිනිර්වාණය නිමිත්තෙන් අතීත රජවරුන් මහා පින්කම් සිදු කර ඇති අතර එම මහඟු කාර්ය යළිත් ඉටු කිරීම ආරම්භ කිරීමට හැකිවීම ජනතාවගේ භාග්‍යයකි. ඔක්තෝබර් 04 වන දා රාත්‍රී අනුබුදු මිහිඳු මහා පෙරහර සංස්කෘතිකාංග රැසකින් සහ අලි ඇතුන්ගෙන් සමන්විත ව වීථි සංචාරය කෙරේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට සිදු කළ අපරිමිත ශාසනික, ඓතිහාසික, පූජනීය මෙහෙවරට කෘතෝපහාර ලෙස උන්වහන්සේගේ පරිනිර්වාණය නිමිත්තෙන් වප් මස පුර අටවක දා මිහිඳු මහා පෙරහර සහ පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ.

ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම ශාසනික වශයෙන් ලද භාග්‍යයක් බවත්, අනුබුදු හිමියන්ගේ පරිනිර්වාණය සිදු වූ වප් මස පුර අටවක දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙස කළ ඉල්ලීම පිළිබඳ කටයුතු සිදුවන බවත් වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ එසේ සඳහන් කළේ මිහින්තලේ රජමහා විහාරස්ථ රතනසාර දහම් පාසල් ශාලාවේ දී පැවැති මිහිඳු මාහිමි පරිනිර්වාණ දින සැමරුම් සාකච්ඡාවේ දී ය. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් එය පැවැත්විණි.

වාර්ෂික පොසොන් මහා පින්කම හා සමාන ව අනුබුදු මිහිඳු මාහිමි අනුස්මරණ පින්කම සිදු කෙරෙන අතර, මිහිඳු මහා පෙරහර පොසොන් උත්සව සමයේ දී පැවැත්වීමට අපේක්ෂා කළ ද, සිදු වූ අවාසනාවන්ත සිද්ධි හේතුවෙන් එම අවස්ථාව මග හැරී ගිය බව ද, එහෙත්, රජය මගින් පොසොන් මහා උත්සවය, මිහිඳු මහා පෙරහර ආදී කටයුතුවලට නෛතික බලයක් ලබාදීමට හා මිහිඳු මහා පෙරහර ගැසට් කර රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබෙන බව ද උන්වහන්සේ පැවසූහ.

අනුබුදු මිහිඳු මහා සෑය, පියගැට පෙළ, ධර්ම ශාලාව සහිත දෙමහල් මන්දිරය, සේල චෛත්‍ය ඇතුළු ඓතිහාසික මිහින්තලා පුදබිමේ නෂ්ඨාවශේෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ජනාධිපතිතුමාගේත්, අග්‍රාමාත්‍යතුමාගේත් මැදිහත්වීමෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ කටයුතු සිදු කරගෙන යන අතර ඔක්තෝබර් මස 30 වන දා පමණ වන විට එය අවසන් කර ශාසනයට පූජා කිරීමට කටයුතු යොදන බව ද අනතුරුව ජාතික පුණ්‍ය මහෝත්සවයක් ලෙස වප්මස (ඔක්තෝබර්) 4, 5, 6 තෙදින පුරා මිහින්තලා පුද බිමේ දී පින්කම් සිදු කෙරෙන බව ද පැවැසූහ.

අනුබුදු මිහිඳු මා හිමි පරිනිර්වාණය නිමිත්තෙන් අතීත රජවරුන් මහා පින්කම් සිදු කර ඇති අතර එම මහඟු කාර්ය යළිත් ඉටු කිරීම ආරම්භ කිරීමට හැකිවීම ජනතාවගේ භාග්‍යයක් බව ද ඔක්තෝබර් 04 වන දා රාත්‍රී අනුබුදු මිහිඳු මහා පෙරහර සංස්කෘතිකාංග රැසකින් සහ අලි ඇතුන්ගෙන් සමන්විත ව වීථි සංචාරය කෙරෙන අතර ඔක්තෝබර් 05 වන දා පස්වරු 5.00 - 6.30 දක්වා හේවිසිකරුවන් පන්සියයකගේ පමණ සහභාගීත්වයෙන් ශබ්ද පූජාව සිදු කෙරෙන අතර අනතුරුව පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව අනුග්‍රහයෙන් අනුබුදු මිහිඳු මාහිමි විශේෂ වන්දනා වැඩසටහනක් ද, 6 වන දා මිහින්තලා පුද බිමේ දී තෛ‍්‍රනිකායික මහ සඟරුවන දහස් නමක් උදෙසා මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමෙන බව ද පැවසූහ.

එම ඓතිහාසික පින්කමට සහභාගිවන පින්වතුන්ට අවශ්‍ය ආරක්ෂාව පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකාය මගින් ලබාදෙන අතර ජලය, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සැලසීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව ද ඒ සඳහා රජය හා පෞද්ගලික ආයතන මෙන් ම, ස්වේච්ඡා සංවිධාන ආදියට ද දායකත්වය ලබාදෙන මෙන් සිහිපත් කරන අතර විශේෂයෙන් පන්ලක්ෂයක පමණ පිරිසක් සහභාගිවීමට නියමිත හෙයින් දන්සැල් ආදිය පැවැත්වීමට පරිත්‍යාගශීලීන්ට ද ඒ සඳහා දායකත්වය ලබාදීමට ඉදිරිපත් වන ලෙස ද ඉල්ලීමක් කළහ.

ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ අනුශාසක, අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඔක්තෝබර් 05 වන දා සන්ධ්‍යා භාගයේ දී ගුවනින් පිච්චමල් පූජාවක් මිහින්තලේ පුදබිමේ දී සිදු කෙරෙන අතර මහමෙව්නා භාවනා අසපු සංචිතයේ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන අනුබුදු හිමි ගුණ වන්දනා පින්කම සහ අනතුරුව පසුදා පහන්වනතුරු වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ පොල් පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ද ඊට ඇතුළත් වන බව ද පැවසූහ.

මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේලා 800 නමක් සහ මෑණිවරු තුන්සිය නමක් ඇතුළු ලක්ෂ පහක පමණ පිරිසක් ඊට සහභාගිවන බව ද සඳහන් කළහ.

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් සහ වැලිමඩ සද්ධාසීල හිමියන් ද එහි දී අනුශාසනා පැවැත්වූ හ.

එම අවස්ථාවට පූජනීය මහ සඟරුවන සහ ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ප්‍රචාරක හා මහජන සබඳතා කළමනාකාර ශාන්ත ජයමහ මහත්වරු ඇතුළු මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු රැසක් ඇතුළු විවිධ ස්වේච්ඡා සංවිධානවල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගි වූ හ.