Print this Article


පහන් සිතක කවි

සැම සිත් පිනවන්න

තළුගල්පිටිය සමිඳුන් සමඟින් ඉන්න
ආරිය විපුල හිමියෝ එහි වැඩ ඉන්න
කවි බණවලට හැම විට මුල් තැන දුන්න
පව් පින් කියා දෙයි සැම සිත් පින වන්න

සුවසෙත සදාලන්නට දහමට හුරුව
සසුනේ වැඩවලදි සැමවිට එක මුතුව
දායක සභාවේ සැමගෙම සිත දිනුව
ආරිය විපුල හිමි නමදිමි ගරු සරුව

****

වියෝ දුක

හමන මදනල පිපුණු සුවඳැති මලක ඇතිවුණ සුවඳ බීවා
විහඟ තුරු කැල මතට වී ඉඳ අහර නොගෙනම සුසුම් ලෑවා
අහිංසක හදවතක ශෝකය නොනිමෙනා ලෙස ඇවිල වූවා
දයාබර මෑණියන්, මා හැර නොඑන ගමනක පිටත් වූවා

****

සසුනට පිදූ පුතු

හැම සිත් දිනාගෙන ඒවා මැද වැඩුන
දඟ කෙරුවත් කලින්, ඒ ගති මග ඇරුන
වග මැවෙනා, නිතර සිහියේ මුල රැඳෙන
මගෙ රං පුතා කහ සිවුරක් දරාගෙන

දහමෙන් වැඩෙන නුවණැස හිස රුවාගෙන
යහපත් සපිරි ගුණ පිළිවෙත දරාගෙන
කහවත් දරන බුදු පුත් බව සිතාගෙන
මහ යතිවර මගේ වඩිනුය පතාගෙන

****

සිරස නමා

සිත් දම් රසින් නහවා මුලු තිලොව තෙමා
පත්කර අමා නිවනට මෙත් ගුණය යොමා
සත්ථා ගුණෙන් යුතු සම්බුදු මුනිඳු තුමා
මෙත්තා බැතින් නමදිමි මම සිරස නමා

****

පියාණෙනි

ඔබ නොදුටු සිහසුනෙහි පුංචි පුතු හිඳු වන්න
අවැසි සම්පත් දිදී සිප් සතර ජය ගන්න
දිවා රෑ නිදි වරා ඉවසු තම කුස ගින්න
අවසරයි පියාණෙනි, පා පියුම් නම ඳින්න

****

භවයෙන් මිදුණා

අප බෝසතුන් මිස මෙසසර දුක දැක්ක
වෙන අන් කෙනකු නැහැ ඒ දුක පිටු දැක්ක
පුරමින් පාරමී පිරිසුදු සිල් රැක්ක
භවයෙන් මිදුණි සම්බුදු පදවිය එක්ක

****

මෙත් පතමු

බිය වන නොවන සියලුම සත්ත්වයන්ට ද
දිග් වූ මහත් වූ හැම සත්ත්වයන්ට ද
ලොකු මධ්‍යම කුඩා කෙටි සත්ත්වයන්ට ද
සැපවත් සිතක් බිහි වේවා පතනෙමු ද

****

ඇසළ සඳ

ඇසළ සඳයි සඳ කිරණ යි
ඉසිපතනේ මිග දාය යි
දම්සක් පැවැතුම් දෙසුම යි
සදෙව් ලොවම එකලු කළ යි

සාධු සාධු හඬ නැගුණ යි
සිවුපාවුන් නිති අමුණ යි
සුර නර බඹ දැහැමි වුණ යි
දම් සක් දෙසුමේ වරුණ යි

****

යතිවර මහිම

බුදුන්ගෙ දහමින් සැනහුණු
කුසල ධම්ම හිමිගේ නම
ඉර හඳ පවතිනා තුරුම
නොනැසී පවතී සැක තැන්
දහම් අසන්නට කාටත්
දිවා රැයේ කොයි මොහොතෙත්
දෙන්න කරපු මෙහෙය මහත්
අදත් කරමු අපි සිහිපත්

****

පස්පව් කරනු එපා

ප්‍රාණඝාත නොකරම ජීවත් වන්න
අන්සතු දේ එපා සොර සිතකින් ගන්න
කාමය වැරැදි විදිහට හොඳ නැහැ හැසිරෙන්න
මුසාවාද හොඳ නැහැ නොවැ පව සන්න

කේලම් හිස් වචන කිසි දින කියනු එපා
මත්වන දේ මුවයට නම් ගලනු එපා
නරක වැඩ කළොත් නොදැනිම යන්නෙ අපා
ජීවිත කාලයේ පස් පව් කරනු එපා

****

ඇසළ පෙරහර

දළදා පෙරහර
වසරක් පාසා
මහ ඉහළින්
ඇරඹෙනවා
දසතම මිහිරෙන්
හේවිසි හඬ
දෙසවන පැතිරෙනවා
විසිතුරු තාලෙට
දළදා පෙරහර
සාමය සව්සිරි
පතමින් යනවා

****

සමරමු මලියදේව හිමි

නිවන් ම ඟට පිළිපන් වීරිය ලාලා
සැටපොළ තුන් දහස් ගණනක් සඟ ලීලා
වචනයෙ නිසි අරුතින් දම් පද මාලා
අසිරි මලියදෙව් හිමි සමරමු බැති පාලා