Print this Article


අසිරිමත් වූ දළදා ප්‍රාතිහාර්ය

අසිරිමත් වූ දළදා ප්‍රාතිහාර්ය

නැවත දන්ත පුරයට ගොස් දළදා වහන්සේ තැන්පත් කළ පසු ඛීරධාර නම් රජෙකු ගුහසීව රජු හා යුධ පිණිස ආවේ ය. එවිට ගුහසීව රජු යුද්ධයෙන් ජය ගැනීම සැක සහිත යැයි සිතා දළදා වහන්සේ රකිනුවස් ස්වකීය දියණිය වූ හේමමාලා හා බෑණනුවන් වු දන්තකුමරුට භාර දී තමා යුද්ධයෙන් පැරදුණ හොත් ලංකාද්වීපයට වැඩම කරවන ලෙස දැන්වී ය. ගුහසීව රජු යුද්ධයෙන් මළ බව දැනගත් දන්තකුමරු බමුණු වෙස් ගෙන හේමමාලාවන් සමඟ වෙස් වලාගෙන ඇයගේ කේශ කලාපයේ දළදාව සඟවා නුවරින් පිට වී, නැව් නැගී බුද්ධ වර්ෂයෙන් අටසිය පනස් හතර වැන්නෙහි ලංකාවට පැමිණියේ ය. එකල ලක්දිව රජකළ කිත්සිරිමෙවන් මහරජු දළදා වහන්සේ සිය දේශයට වැඩම වූ පුවත අසා මහත් පී‍්‍රතියට පත්ව සහ පිරිවරින් මේඝගිරි විහාරයට ගියහ.

දළදා වහන්සේගේ පැහැය පිළිබඳව රජුට ඇතිවූයේ සැකයකි. බුදුරජාණන් වහන්සේගේ දළදාව ඉතා සුදු පැහැයෙන් යුතු ය. එසේ නම් මේ දළදාව අව පැහැ ගැන්වී ඇත්තේ කෙසේදැයි සිතී ය. එකෙණෙහි ම දළදා වහන්සේ රාජ හංසයකු මෙන් අහසෙහි දක්ෂිණාවෘතව ගමන් කොට නිල් ගුවන් ගැබ සරසමින් සවණක් රැස් පෙළහර පෑ සේක. ඒ දුටු සියලු ජනයෝ සාධුකාර දුන්හ. ඒ ලක්දිව ප්‍රථම දළදා පෙළහරයි.

දළදා වහන්සේ රන් කරඬුවෙන් අහසට පැන නගින බවත්, සුදු රශ්මි දහරා විහිඳුවමින් විටෙක දුමින්ද, විටෙක ගිනි ජාලාවන්ගෙන් ද, විටෙක නිවීමෙන් ද පෙළහර පෑ බවත් දළදා වහන්සේගේ ආශ්චර්යවත් බව ධර්ම රසයෙන් හා අර්ථ රසයෙන් කුළුගන්වන පරිදි විශිෂ්ට ආකාරයෙන් දාඨාවංශයෙහි මෙසේ සඳහන් වේ.

අබ්බුග්ගන්ත්වා ගගන කුහරං චන්දලේඛාභි රාමා
විස්සජ්ජෙන්තී රජත ධවලා රංසියා දන්තධාතු
ධූපායන්ති පසදී බහුධා පජ්ජලන්ති මුහුට්ටං
නිබ්බායන්තී නයන සුභගං පාතී හීරං අකාසි

එදා මෙදා තුර නානා ප්‍රකාර රුදුරු බියකරු සතුරු ආක්‍රමණයන්ට මුහුණ දී, දෙස් විදෙස් ප්‍රහාරයන්ට ලක් වී මහත් පෙළහර පාමින්, දෙස් විදෙස් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සැදැහැවත් බෞද්ධ ,අබෞද්ධ ජනතාවගේ අනන්ත අපරිමාණ භක්ත්‍යාදරයට පාත්‍ර වෙමින් අප වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ මේ දක්වාම යෙහෙන් වැජඹෙන සේක.

කිත්සිරිමෙවන් රජදවස ශ්‍රී දන්තධාතුන් වහන්සේ මෙරටට වැඩම කරවීමත් සමඟ සිංහල බෞද්ධ සමාජයේ, සුවිශේෂ වූ වෙනස්කම් රැසක් සිදුවිය. දළදා වහන්සේ රාජ්‍යයත්වයේ සංකේතය ලෙස සැලකූ අතර විවිධ පුද පූජාවන් වත් පිළිවෙත් සිදුකරමින් අති ගෞරවනීය වූ දළදා වහන්සේ ආරක්ෂා කළහ. රාජධානි මාරුවීමත් සමඟම දළදා වහන්සේ ද ඒ ඒ රාජධානි කරා වැඩමවූහ. ක්‍රි.ව. 1593 දී විමලධර්මසූරිය රජු විසින් දළදා වහන්සේ මහනුවරට වැඩම කරවන ලදී.

ක්‍රි.ව. 1815 දී කන්ද උඩරට ඉංගී‍්‍රසි යටතට පත්වීමත් සමඟ දළදා පෙරහර පැවැත්වීමේ චාරිත්‍රය තාවකාලිකව නතර විය. දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ද ඔවුනට ගැටලුවක් විය.

එම නිසා ක්‍රි.ව. 1853 දී ඉංගී‍්‍රසින් විසින් දළදා හිමියන්ගේ භාරකාරත්වය නැවතත් බෞද්ධයන් වෙත භාරකරනු ලැබී ය. ඒ අනුව මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත දළදා වහන්සේගේ භාරකාරත්වය හිමිවූ අතර ගිහි භාරකරු ලෙස දියවඩන නිලමේවරයා පත්විය.