Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: ස්ත්‍රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?

ස්ත්‍රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?

" බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනුව කාන්තාවකගේ කායික ශක්තිය ද පිරිමියෙකුගේ කායික ශක්තිය ද අතර වෙනසක් නැත. කාන්තාවකගේ ප්‍රඥාව ද පිරිමියකුගේ ප්‍රඥාව ද අතර වෙනසක් නැත. ඔවුනොවුන් එකිනෙකා ජීව ශක්තියට හා ධර්ම ශක්තියට ආවේණික දක්ෂතා හා හැකියා ලබයි. කාන්තාව ද ඇතැම් තැනක සිය පිරිමියාගේ බුද්ධිමහිමය වුව ද පරද්දන්නට තරම් සමත් විය හැකි ය."

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව කරුණු විමර්ෂණාත්මකව අධ්‍යයන කොට බලන විට පෙනෙන්නේ පිරිමියකු හෝ ස්ත්‍රියක ලෙස හෝ උපත ලැබීම පෙර සංසාරයේ තමා විසින් සිද්ධ කරනු ලැබූ පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නක් බව ය.

නමුත් පෙර පිනට උප්පත්තිය ලබන ගැහැනු පිරිමි දෙපාර්ශ්වය ම ඇතැම් විට තම ජීවිතය පවක් බවට පත්කරගනු ලබන අවස්ථා තිබේ. අවබෝධයෙන් තොරව ජීවත්වීම, සමාජය කෙරෙහි දක්වන මෛත්‍රිය අඩුවීම, තමාගේ මනස තමාට පාලනය කර ගැනීමට නොහැකි වීම යන කරුණුවල දී මිනිසා ද, ගැහැනිය ද බොහෝවිට තම ජීවිතය පවක් බවට පත්කරගනු ලබයි. මෙලොව උප්පත්තිය ලබන ස්ත්‍රී, පුරුෂ හැම කෙනෙකුගේ ම මූලික අපේක්ෂාව විය යුත්තේ සිත, කය, වචනය යන තුන්දොර තමාගේ දියුණුව පිණිසත්, පොදු සමාජයේ යහපත පිණිසත් යෙදවීම ය.

කාන්තාවක් ලෙස ලෝකයේ උප්පත්තිය ලබන්නට සිදුවීම පෙර සංසාරයේ තමා විසින් කරනු ලැබූ අකුසල කර්මයක් පලදීම නිසා සිදුවූවක් ලෙස ඇතැම්හු කල්පනා කරති. කාන්තාවන් ද එම මතයම දරමින් අදහස් පළකරනු අසන්නට ලැබේ. කාන්තාවක වීම පාපයක් යැයි සිතා බොහෝ අය පිරිමින් වී උපත ලැබීම පිනක් ලෙස අර්ථකථනය කරන්නට හුරු වී සිටිති. එවැනි අදහසක් සිංහල සමාජය තුළ බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. එම අදහස සිංහල සංස්කෘතියේ සමාජගත වීමට බලපෑ හේතු කාරණා මොනවාදැයි සොයා බැලීම වැදගත් ය.

ශ්‍රී ලාංකික සංස්කෘතිය සකස්වී තිබෙන්නේ විවිධ සංස්කෘතික ඉගැන්වීම් මිශ්‍ර වීමෙනි. ඉන්දියාවේ ජීවත්වූ බමුණන් හින්දු ආගමිකයෝ වූ හ. ඔවුන්ගේ මූලික ඉගැන්වීම් ලෙස දැක්වූයේ මහා බ්‍රහ්මයාගේ මැවුම්වාදය යි. මහා බ්‍රහ්ම මැවුම්වාදයට අනුව කාන්තාවක වී මෙලොව උපත ලැබීම පාපයකි. ඇය සමාජයෙන් වසන්වී කුස්සියට පමණක් සීමා වී ජීවත් විය යුතු ය.

බමුණු අදහස වූයේ කාන්තාව මිනිසා පාපයට ඇද දැමීමට යුහුසුලුවන තැනැත්තියක ලෙසයි. එම නිසා ඇයගේ දැනුම, හැකියාව, ශ්‍රමය, අවබෝධය, ප්‍රඥාව, සමාජ දියුණුව පිණිස නොගත යුතු ය යනුවෙනි. එයට හේතුව කාන්තාවන්ගේ සිත් අපවිත්‍රභාවයෙන් යුක්තවීම නිසා ය.

සිංහල සංස්කෘතියට බමුණු ආගමික අදහස් මිශ්‍ර වීම කරණ කොටගෙන කාන්තාව පිළිබඳ බමුණන් දැරූ අදහස් ද සිංහල සමාජගත විය. ඒ බමුණු අදහස් සමාජය තුළ වෙසෙසින් ජනපි‍්‍රය වී ගියේ ය. පිරිමි ද කාන්තාව යටපත් කරගැනීමේ සහ පරිස්සම් කරගැනීමේ චේතනාවෙන් බමුණු අදහස ම නිතර නිතර කීහ.

එනිසාම, ඇතැම් කාන්තාවෝ ද ඒ අදහස නිවැරැදි දේ ලෙස සිතන්නට වූ හ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනුව කාන්තාවකගේ කායික ශක්තිය ද පිරිමියෙකුගේ කායික ශක්තිය ද අතර වෙනසක් නැත. කාන්තාවකගේ ප්‍රඥාව ද පිරිමියකුගේ ප්‍රඥාවද අතර වෙනසක් නැත. ඔවුනොවුන් එකිනෙකා ජීව ශක්තියට හා ධර්ම ශක්තියට ආවේණික දක්ෂතා හා හැකියා ලබයි. කාන්තාව ද ඇතැම් තැනක සිය පිරිමියාගේ බුද්ධිමහිමය වුව ද පරද්දන්නට තරම් සමත් විය හැකි ය. එය එසේ සිදුනොවන අවස්ථා ද තිබේ.

1.මාසිකව ඇතිවන වේදනාකාරි අවස්ථාවට මුහුණදීම

2.ස්වකීය මව්පිය පාර්ශ්වය අතහැර සැමියාගේ පාර්ශ්වයට යෑමට සිදුවීම

3.ගැබිණියක ලෙස කටයුතු කරන්නට සිදුවීම

4.ප්‍රසූත වේදනාව ඉවසා දරා සිටීමට සිදුවීම

5.සැමියාට අවනතව ඔවුන්ගේ යටතේ ජීවත්ව සිටීමට සිදුවීම

යන කාරණා ය. ඒවා කාන්තාවක් වීමේ පාපයක ප්‍රතිඵලයක් නිසා ඇතිවන්නක් නොව කාන්තාවකට ආවේණික ලක්ෂණ සමූහයි. සත්‍ය වශයෙන් ම ඒවා නොමැති නම්, ජීවිතය දුකක් විය හැකි අතර එසේ වීම දුකක් ලෙස බුදු දහමෙහි සලකා නැත.