Print this Article


සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව

ආනන්ද මහ රහතන් වහන්සේ

ශ්‍රී සද්ධර්මය සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් කොටස් තුනකි. තව ද නවාංග ශාස්තෘ ශාසනය ලෙස ද ධර්මය විග්‍රහ කොට ඇත. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සුවාසුදහසක් ශ්‍රී සද්ධර්මය ආනන්ද තෙරුන් විසින් අපූර්ව ලෙස මතකයේ රඳවාගනු ලැබී ය. ආනන්ද තෙරුන් වහන්සේ දැරූ තනතුරුවල සුවිශේෂත්වය කෙටි කොට මෙසේ දක්විය හැකි ය. අග්‍ර උපස්ථායක තනතුර දැරීම, ධර්ම භාණ්ඩාගාරික තනතුර දැරීම, බහුශ්‍රැතයන් අතර අගතනතුර දැරීම වේ. බුදුරජාණන් වහන්සේට නාගිත, උපවාන, රාධ ආදී භික්ෂූන් වහන්සේ වරින් වර උපස්ථාන කළ ද, ස්ථිර උපස්ථායකයකු ලෙස පත්වූයේ ආනන්ද තෙරුන් වහන්සේ ය. එය බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත පරිදි ම සිදුවිය. උන්වහන්සේ අවුරුදු විසිපහක් ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක විය. එමෙන් ම අසුහාරදහසක් ධර්මස්කන්ධය දරාගෙන වැඩසිටි සේක. උන්වහන්සේ උතුම් රහත්භාවයට පත්ව පළමු ධර්ම සංඝායනවාට වැඩම කළ සේක. ආනන්ද මහරහතන් වහන්සේ බුදු සසුනේ මාණික්‍යයක් සේ ආලෝකය දසත විහිදා වැඩසිටි සේක.

****

නිකිණි පොහොය

පුර හඳ පායා හිනැහෙනවා
සඳ එළියෙන් කෙත් යායම නැහැවෙනවා
බොදු බැතියෙන් සැමගේ සිත් පිබිදෙනවා
තෙල් මල් රැගෙන පන්සල් වෙත අපි යනවා

කස හඬ දෙදරවමින් පතුරයි
ගිනි පන්දම් එළි මඟ සරසාලයි
පෙරහර කරඬුව ඇතුපිට වඩමයි
පෙරහර දැකුමට සියල්ල සැරසෙයි

****

පොහොය දිනේ

සඳ එළියෙන් බුදු සාදුගේ රුවයි මැවෙන්නේ
මල් සුවඳින් බුදු සාදුගේ ගුණයි මැවෙන්නේ
පහන් එළිය බුදු සාදුගේ රැස් විහිදෙන්නේ
පොහොය දිනේ අපි සැමදෙන පන්සල් යන්නේ

****

ගමේ පන්සල

අපේ පන්සලේ නම සුවිශුද්ධාරාම විහාරස්ථානය යි. එය පිහිටා ඇත්තේ ලුම්බිනි විදුහලට ඉදිරියෙනි. ඈතින් සිට බලනවිට සිත සන්සුන් කරන ඉතා සුන්දර තැන කි. එහි කුඩා බුදු මැදුරක්, කුඩා ඝන්ඨා කුළුණක් සහ බෝධීයක් ඇත. විහාරස්ථානයේ ස්වාමින්වහන්සේ තුන් නමක් වැඩ හිඳිති. කුඩා සංඝාවාසයක් ද පිහිටා ඇත. බෝධින් වහන්සේ වටේ මල් පූජා කිරීමට ස්ථානයක් සාදා ඇත. ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉතා කරුණාවන්ත ය. උන්වහන්සේ අපට බණ කතා කියා දෙයි. ඉරිදා පැවැත්වෙන දහම් පාසලට අපි ඉතා කැමැත්තෙන් යන්නෙමු.

****

හඳපානාගල වැව

වැවට උඩින් පුන් සඳ පායන්නේ
අලි ඇත් සේනා පිය මැන එන්නේ
වැව් දිය දහරේ පීනා යන්නේ
හඳපානාගල වැව් ඉස් මත්තේ

කිරල නාද මහ රෑ රැව් දෙන්නේ
කුංච නාදයෙන් ගත වෙවුලන්නේ
වැව්දිය පත්ලෙන් සිසිල හමන්නේ
හඳපානාගල වැව් ඉස් මත්තේ

පලුගහ මුදුනේ පැලක් රකින්නේ
වැව් දිය සඳ කිරණින් නහවන්නේ
ඈතින් බුදු සමිඳුන් වැඩ ඉන්නේ
හඳපානාගල වැව් ඉස් මත්තේ

****

කරමු පින්දහම්

සවන පිනවන දම් දෙසුම්
සුවඳ හමනා සැම කුසුම්
සිතට ගලනා මෙත් පැතුම්
කරන්නට යමු පින් දහම්

****

වැඩිහිටියන්ට ගරු කරමු

වැඩිහිටියන් යනු අපට වඩා වැඩිමහල් මෙන්ම, අප ගරු කළයුතු පුද්ගලයන් ය. වැඩිහිටියන් අප වෙනුවෙන් බොහෝ දේ සපයනවා. උදව් වෙනවා. එනිසා ඔවුන්ට ගරු කිරීම අපේ යුතුකමකි. අපට වැඩි වශයෙන් උදව් කරන සහ ආදරය කරන දෙදෙනා වන්නේ අපගේ මව සහ පියා යි. ඔවුන්ට සැලකීම පින්වත් ක්‍රියාවකි. මව්පියන් පමණක් නොවේ ගුරුවරුන්, වැඩිමහල් සහෝදර, සහෝදරියන්, නෑදෑයන් ද වැඩිහිටියන් ය. හොඳ බෞද්ධ දරුවන් ලෙස අපි වැඩිහිටියන් සතුටු වන සේ ක්‍රියා කරමු. ඔවුන්ගේ වැඩ කටයුතුවලට උදව් කරමු. අධ්‍යාපන කටයුතු හොඳින් කිරීමෙන් ද ඔවුන් සතුටු කළ හැකි ය. නිරන්තරයෙන් බෞද්ධ දරුවන් ලෙස අපි වැඩිහිටියන්ට ගරු කරමු.