Print this Article


ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද උඩරට වෙස් නැටුම් ශිල්පියා

ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද උඩරට වෙස් නැටුම් ශිල්පියා

මහනුවර ඇසළ පෙරහරට වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස එක් වීම සෑම නර්තන ශිල්පියෙකුගේ ම ප්‍රාර්ථනයකි.එහිදී නෙත් ඇද ගන්නා ලෙස රැඟුම් දක්වා සම්මානයට පාත්‍රවීමට ලැබෙන්නේ අතළොස්සකටය.ඒ සඳහා මනා පුහුණුවත්,කැපවීමත්,කුසලතාවත් අනිවාර්ය ය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට දළදා මාලිගාව හා විෂ්ණු දේවාලය නියෝජනය කරමින් වසර 15 ක පමණ කාලයක් තිස්සේ රැඟුම් දක්වන තරිඳු බුද්ධික ජයසිංහ මේ වන විට ජනපති සම්මාන 09 ක් දිනා ගත් නර්ථන ශිල්පියෙකි.වයස අවුරුදු 11 දී පීටර් සූරසේන නම්වූ ප්‍රවීණ නර්තන ආචාර්යවරයාගේ ගෝලයෙකු ලෙස 2002 නර්තනය හැදෑරීම ආරම්භ කළ ඔහු ඉන් වසර හතරකට පසු නයියඩි (අඩ වෙස්) ශිල්පියෙකු ලෙස කළ එළි බැස්සේ ය.එම වසරේ දළදා මාලිගා පෙරහරට එක්ව රැඟුම් දක්වා දළදා පෙරහරේ ඇති සුවිශේෂත්වයේ මුල්ම අත්දැකීම් ලබා ගත් බුද්ධික මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසුවෙකුව සිටියදී අමිතා චාන්දනී මහත්මිය යටතේ වෙස් බැන්දේ ය.

මට 2009 මුල්ම ජනාධිපති සම්මානය ලැබුණේ.එදා කුසලතා පූර්ණ වෙස් නැටුම් ශිල්පියා සම්මානය හිමි වුණා.පිළිවෙළින් 2010,2011,2012,2013 හා 2014 මට මේ සම්මානය ලැබුණා.2015 වසරේ කුඹල් පෙරහර නිමා වෙලා බයිසිකලයෙන් ගෙදර යන කොට අනතුරක් වුණා.ඒකෙන් මගේ උරහිස ළඟ අස්ථිය බිඳුණා.ඒ නිසා ඒ වසරේ පෙරහරට සම්බන්ධ වෙන්න බැරිවුණා.2016,2017 හා 2018 දී මට විශිෂ්ඨතම වෙස් නැටුම් ශිල්පියාට හිමි සම්මානය ලබා ගන්න පුළුවන් වුණා යැයි කී ය. ලංකාතිලක,අලුත්නුවර,හැඳල,ලුණාව,කඩවත පෙරහර මංගල්‍යයන්ට අපි සම්බන්ධ වෙනවා.ඒ හැම පෙරහරකටම වඩා මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වීමෙන් ලබන සතුට අති විශාල යි.

ශ්‍රීලංකා යුද හමුදා කොමාන්ඩෝ බළකායට අයත් නර්තන කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි ඔහු 2015 වසරේදී ඉන් ඉවත්ව නර්ථනය වෙනුවෙන්ම ජීවිතය කැපකර තිබේ.