Print this Article


පෙරහර මහෝත්සවය අනාගත පරම්පරාව සඳහා පවත්වාගෙන යෑම අප කාගේත් යුතුකම යි

පෙරහර මහෝත්සවය අනාගත පරම්පරාව සඳහා පවත්වාගෙන යෑම අප කාගේත් යුතුකම යි

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ කාලයේ පටන් අද දක්වා දළදා වහන්සේ විෂයයෙහි විවිධාකාර පුද පූජාවන් පැවැත්වීමට මෙරට රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු රට වැසියෝ බොහෝ සෙයින් උනන්දු වූ හ. එම පුද පූජාවන් අතර අදටත් සිදු කරන්නා වූ සතර මහා මංගල්‍යය ප්‍රධාන වේ. ඉන් ප්‍රධාන වනුයේ කන්ද උඩරට ඇසළ මහා පෙරහරයි. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි අප රට වැසියෝ ගොවිතැන්බත් කිරීම සඳහා නිසි කලට වැසි ඵල ලබා සශ්‍රීකත්වයෙන් යුත් අස්වැන්නක් ලබා ගැනීමේ අභිලාශයෙන් පෙරහර පැවැත් වු බව පැහැදිලි කරුණකි.

ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කරන්නා වූ වාර්ෂික පෙරහර මංගල්‍යය සිංහල බෞද්ධයින් ගේ අසහාය සංස්කෘතික මංගල්‍යය මෙන් ම, මධ්‍යකාලීන සමාජයේ පිළිබිඹුවයි. ඒ නිසාම මෙරට මෙන්ම බොහෝ විදේශිකයන් අතර පෙරහර මංගල්‍යය කෙරෙහි ඇත්තේ ඉමහත් ලැදියාවකි. අප ජාතියේ ආඩම්බරයක් වූ කන්ද උඩරට ඇසළ පෙරහර නම් වූ මෙම මහෝත්සවය අනාගත පරම්පරාව සඳහා පවත්වාගෙන යෑම අප කාගේත් යුතුකමයි.මේ වසරේ දී අපට මුහුණපාන්නට සිදුවූ යම් යම් අනාරක්ෂිත තත්ත්වය ද නොතකා පෙරහර මංගල්‍යය නොකඩවා සිදු කිරීමට ලැබීම අප ජාතියේ වාසනාව කි. ඒ සදහා ලබාදෙන්නා වූ රාජ්‍ය අනුග්‍රහය මේ අවස්ථාවේ දී අප පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කළ යුතු ය.

සෙංකඩගල ශ්‍රී දංෂ්ඨාධාතුන් වහන්සේ උදෙසා මෙවරත් සිදු කරන්නා වූ දළදා පෙරහර සහ සතර මහා දේවාලයන්හි පෙරහර මංගල්‍යයේ ආනුභාවයෙන් ලංකා වාසී සැමට සෞභාග්‍ය උදාවේවා! යි ආශිංසනය කරම් හ.