Print this Article


සිරි දළදා පුරාණය

සිරි දළදා පුරාණය

ලොව්තුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා අතර ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ වඩාත් උතුම් හා ගෞරවාර්හ කොට සලකනු ලබති. ඊට හේතුව වන්නේ උන්වහන්සේගේ මුවින් දේශිත නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ පහස දන්ත ධාතුන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි ලබා තිබීමයි.

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කියැවෙන මූලාශ්‍රයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අතිශය ශුභ්‍ර වර්ණයෙන් හෙවත් ඉතා සුදු පැහැයෙන් යුක්ත වූ හ. එක් ඇන්දක විස්ස බැගින් සම සතළිසක් දන්තයෝ වෙති. එසේම ඒවා අවිවර දන්ත හෙවත් විවර නැති දන්තයෝ ය. බෞද්ධ මූලාශ්‍රයන්හි දැක්වෙන පරිදි දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමේ දී සතර දළදා වහන්සේලා ද, දෙ අකු ධාතුන් වහන්සේලා ද, ලලාට ධාතුන් වහන්සේ ද නො විසිරී අළු බවට පත් නොවී ශේෂ වූ හ. සෙසු ධාතුන් වහන්සේලා සමන් කැකුළු, සුදු මුතු, අබ ඇට පමණ වී, මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේ ය යැයි ඓතිහාසික වාර්තාවල සඳහන් වේ.

එ දවස කුසිනාරා නුවර මල්ල රජදරුවෝ රන් කළ හා රිදී කළවල සුවඳ පැන් පුරවා ඒවායින් දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහ. එසේම හාත්පස රැකවල් දමා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ, කුසිනාරා නුවරට සේනා සහිතව පැමිණ ධාතුන් වහන්සේට ඇති තම අයිතිය කියා පාමින් යුද්ධ කොට හෝ ගනිමැයි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටි බව මහා පරිනිබ්බාණ සූත්‍රය, සුමංගලවිලාසිනිය හා බුද්ධවංසය වැනි ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වේ. සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්යවරයා සියලූ දෙනා සමඟි කරවා ධාතුන් වහන්සේලා අට කොටසකට බෙදා දීමට කටයුතු කළේ ය. ඉන් අනතුරුව එම පිරිස් සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට ඒ ඒ රාජධානීන්හි චෛත්‍ය අටක් ඉදිකොට පූජෝපහාර පැවැත්වූහ. එම චෛත්‍ය අටට අමතරව තවත් චෛත්‍යය දෙකක් ඉදිවිය. ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය නිදන් කොට ඉදිකළ ‘කුම්බස්තූප’ නම් චෛත්‍ය ද, පිප්පලී නුවර මෞර්ය රජවරුන් විසින් චිතකය තිබූ තැනින් ලබාගත් අඟුරු තැන්පත් කොට කර වූ අංගාර චෛත්‍යය ද ඒ චෛත්‍ය යුගලය වේ. මෙසේ පළමුව ඉදි වූ චෛත්‍ය දහයක් පිළිබඳව ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. තථාගත චිතකයෙහි අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතුරෙන් එක් දළදාවක් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් රැගෙන ගොස් තව්තිසා දෙව්ලොව දී පුදන ලදහ. තවත් දළදා වහන්සේ නමක් නාග ලෝකයෙහි නා රජු විසින් රැගෙන ගොස් පූජාර්හ වස්තුවක් සේ තබා පිදූහ. තවෙකක් ගන්ධාර දේශයෙහි හෙවත් වර්තමාන පකිස්තානයේ පවතී. මේ අතර ඛේම නම් මහරහතන් වහන්සේ නමක් ස්වකීය සෘද්ධි බලයෙන් වම් දළදාව රැගෙන, කළිඟු රට බ්‍රහ්මදත්ත නම් නරනිඳුන් තෙරුවන් කෙරෙහි පහදවා, තිසරණයෙහි ද පිහිටුවා, පූජා සත්කාර කරනු වස් භාර දුන්හ. එවකට කාලිංග රාජවංශයෙහි ගුහසීව නමැති රජු දවස මිථ්‍යාදෘෂ්ටික වූ පඬි රජු නිගණ්ඨයන්ගේ බස් අසා දළදා වහන්සේ පැහැරගැනීම පිණිස චිත්‍රයාන නම් සෙන්පතියෙකු ලවා කාලිංග රාජ්‍යය ආක්‍රමණය කළේ ය. ඔහු එම රාජ්‍ය ආක්‍රමණයෙන් පසු නිගන්ඨයන්ගේ උපදෙස් අනුව දළදා වහන්සේ විනාශ කිරීමට නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කළේ ය. වරෙක දළදා වහන්සේ ගිනි වළක ලා හළු කිරීමට උත්සාහ කළේ ය. තවත් වරෙක වානේ කිණිහිරියක තබා යකුළු පහර දී කුඩු කිරීමට උත්සාහ ගත්තේ ය. තවත් වරෙක මහා වලෙක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද, අවසානයෙහි මල මූත්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට ද කුරිරු ලෙස නියෝග කළේ ය. එහෙත් ඒ හැම විටෙකම ඔහු අසාර්ථක වූයේ ය. දළදා වහන්සේගේ විස්මිත ප්‍රාතිහාර්යය දුටු ඔහු ඉන් පසුව විස්මය, භීතිය හා සන්ත්‍රාසයෙන් සහ ඇමතිවරුන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී දංෂ්ට්‍රා ධාතූන් වහන්සේට මහත් සේ ගෞරව නමස්කාර කොට වැඳ වැටී කළ වැරැදි වලට සමාව ඇයැද තම හිස මතට වඩින ලෙසට දළදා වහන්සේගෙන් ආයාචනා කර සිටියේ ය. එකල්හි සුදු බුදු රැස් විහිදුවමින් පෙළහර පාමින් රජු හිස මතට වැඩි දළදා වහන්සේ මහත් හරසරින් පිළිගත් රජු විසිතුරු ලෙස ශ්‍රී දළදා මාලිගාවක් තනවා, වඩා හිඳුවා පුද සත්කාර කළ බව වංශ කථාවල සඳහන් වේ.

යුධ සටන් නිමවීමෙන් පසු පඬි රජු සමඟ හිත මිතුරු වූ ගුහසීව කළිඟු රජු නැවත දළදා වහන්සේ තමා වෙත ලබාගැනීමට සමත් වූයේ ය. කෙසේ වෙතත් මෙකී ගුහසීව රජුට ඛීරධාර නම් තවත් රජෙකු සමඟ දරුණු යුද්ධයකට පැටළීමට සිදුවිය. යුද්ධයේ බිහිසුණු බව දත් ගුහසීව රජතුමා තමා යුදයෙන් පැරදුනහොත් දළදා වහන්සේ රැගෙන ලංකාවට යනු සඳහා කටයුතු සංවිධානය කොට තිබුණි. හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් දළදාව සඟවාගෙන රැගෙන එනු ලැබූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන්ගේ එම ගමන අතිශය භාරදූර කර්තව්‍යයක් විය. ශ්‍රී දළදා වහන්සේ කේශ කලාපයෙහි සඟවාගෙන, පැමිණෙන අතරමග දී හේමමාලා සහ දන්ත කුමරු යුවළට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවිය. එහෙත් ඒවා ජයගෙන විස්මයජනක සිදුවීම් වලට මුහුණ දෙමින් අවසානයේ දී ලක්දිවට සම්ප්‍රාප්ත වීමට ඔවුනට හැකියාව ලැබුණි. මෙම අඹු සැමි යුවළ ලක්දිවට දළදාව වැඩම වූයේ කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍යෝදයෙන් නව වන වර්ෂයෙහි බව මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වේ.

වෙස්වලාගෙන දළදා වහන්සේ සඟවාගෙන තම වාස භූමියෙන් පිටත් වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගංගානම් ගඟ තරණය කොට ගං ඉවුරේ වැලි තලාව මත වැලි දාගැබක් තනා ඒ තුළ දළදාව සැඟවූහ. දන්ත ධාතූන් වහන්සේ පුදමින් සතුරනට අසුවෙතැයි නදිය අසබඩ ගන වන ළැහැබක සැඟවී සිටියහ. එකල්හි ගුවනෙහි ගමන් ගත් එක් රහත් තෙර නමක් ගං තෙර වැලි සෑයෙන් විහිදුනු සවණක් ගන බුදු රැස් දැක අහසින් බිමට බැස දළදා වහන්සේ වැඩහුන් තැනට වැඩි සේක. එවිට එහි පැමිණි අඹු සැමි යුවළගෙන් තොරතුරු විමසා බියෙන් සිටිනු දැක කිසි බියක් නොසිතා සැප සේ යන්නැයි කියා කිසියම් බියක් වියවුලක් ඇති වූ විටක උන්වහන්සේ සිහිපත් කරන්නැයි වදාළහ. දෙදෙනාගේ බිය පහකරවා සිත් සනසා යළි අහසින් වැඩම කළහ.

ඉක්බිති ඒ ගඟෙහි විසූ පණ්ඩුහාර නම් නා රජු පිරිවර සමග ඇවිදින අතර වැලි තලාවේ වැලි සෑයෙන් නැගී බුදු රැස් මාලා දැක ප්‍රීතියෙන් ඉපිළ කරඬුව රැගෙන ගඟ දියෙහි සැඟවුණි. එවිට හේමමාලා හා දන්ත කුමරු වැලි දාගැබෙහි දළදා වහන්සේ නොදැක ඉමහත් ශෝකයෙන් හඬ හඬා රහත් තෙරුන් වහන්සේ සිහිපත් කළහ. එකෙණෙහි රහතන් වහන්සේ ඔවුන්ගේ දුක දැක එහි වැඩම කොට බිහිසුණු ගුරුළු වෙසක් මවාගෙන ගැඹුරු දිය දෙබෑ කර නා රජු බිය ගන්වා, දළදා වහන්සේ තැන්පත් කර ඇති රුවන් කරඬුව ආපසු ඔවුනට ලබා දුන්හ. දෙවියන් විසින් රැකවරණය දුන් ඒ දෙදෙනා සොම්නසින් දුර කතර ගෙවා තාම්‍රලිප්තයෙන් නැව් නැගී ලක්දිව බලා ගමන් ඇරඹූහ. මහ සයුරේ දී චණ්ඩ මාරුතය නිසා අපමණ දුක් ගැහැට විඳ, දළදා වහන්සේ පෑ විස්මිත පෙළහර දැක, රහතන් වහන්සේ සිහිපත් කොට සියලූ උවදුරින් මිදී ලංකා පට්ටනයට ගොඩ බැස්සහ. තව ද එක්තරා බමුණෙකුගෙන් මගතොට විමසා දැන දළදාව වැඩමවා අනුරපුර ආසන්නයේ මේඝගිරි නම් විහාරයට පැමිණියහ. එවකට මෙහි රාජ්‍ය කරන ලද්දේ මහසෙන් රජුගේ පුත් සිරිමේඝවර්ණ රජතුමා විසිනි. දළදාව ලැබීමෙන් ඉමහත් සේ සතුටට පත් සිරිමෙවන් රජු එකී රාජකීය යුවළ මහත් හරසරින් පිළිගෙන දළදා වහන්සේ සඳහා සිය මාළිගයේ මනරම් දළදා මන්දිරයක් ඉදිකොට එහි තබා, සියලු පුදසිරිත් දක්වා, ක්‍රි. ව. 4 වන සියවසේ දී දළදා පෙරහරක් ද පවත්වා එය වාර්ෂිකව පැවැත්වීමට ද නියෝග කළේ ය.

කාලයාගේ ඇවෑමෙන් විවිධ දුර්දශාපන්න අවස්ථාවලින් දළදා වහන්සේ ආරක්ෂා කිරීමට ශ්‍රද්ධාවත් ශ්‍රී ලාංකික නරපතියන්ට සිදුවිය. විශේෂයෙන් විදේශීය ආක්‍රමණ හේතුවෙන් සිදුවිය හැකි අනතුරු ගැන සිතීම නිසා දළදා වහන්සේ තැන්පත් කොට තිබූ ස්ථාන වෙනස් කිරීමට සිදුවිය. ඒ අනුව අනුරාධපුරයෙන් පොළොන්නරුවට ද, පොළොන්නරුවෙන් දඹදෙණියට ද, ඉන්පසු යාපහුව, ගම්පොළ, කෝට්ටේ, රත්නපුර, හඟුරන්කෙත ආදී ස්ථාන රැසකට ගෙන ගෙන ගිය බව වාර්තා වේ. සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝ ම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදති. දළදා වහන්සේ යනු ශ්‍රී ලාංකික රාජ්‍ය උරුමය ලෙස අතීත ලංකාවේ රජවරු සිතූහ. මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේ ද අති උතුම් පූජාර්හ වස්තුවක් ලෙස දළදා වහන්සේ සම්භාවනාව ලබති.