Print this Article


සදහම් අරණ

සම්බුදු දහම ලක්දිවට..

මිහිඳු මහරහතන් වහන්සේගේ ගිහිකල පියා ධර්මාශෝක රජතුමා ය. උන්වහන්සේගේ නැගණිය සංඝමිත්තා තෙරණිය යි. අනුබුදු මිහිඳු හිමියන්ගේ පැවිදි ආචාර්යවරයාණන් වහන්සේ මොග්ගලීපුත්ත තිස්ස රහතන් වහන්සේ ය. මිහිඳු මහ රහතන්වහන්සේ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දුන්හ. උන්වහන්සේ බුදුදහම හඳුන්වා දුන්නා පමණක් නොව අක්ෂර කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති කලා ආදී දේ ද අප රටට හඳුන්වා දුන්හ. මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු මිහිඳු හිමි නමින් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වාදී කළ ඉමහත් සේවය නිසා ය.

****

සාධු සාධු අනුබුදු හිමි

පිරිවරසේනා සමඟින් මුව දඩයමේ ගිය තිස්ස රජු
දුටුවා දුවන මුවපොව්වෙක් මඟක පටු
ලුහුබැඳ ගියා මුව පොව්වා තිස්ස මහ රජු
මිස්සක පව්ව මත සිටිනා මිහිඳු හිමි දුටු

දුටුවිට එම පින්බර දසුන පර්වත මත ඇඳුණ
රජුගේ සිතම එම දසුනෙන් සුපැහැදුණ
සිටිනුයේ කවුද යැයි රජු හට සැක සිතුණ
ඇසුවා ඔබ කවුද මා නමින් අමතන

අශෝක අධිරජුගේ පුත් මිහිඳු වෙමි මම
බුදු සසුන තුළ පැවිදිවූ බුදුපුතෙකු වෙමි මම
සිරිලකට බුදු දහම දෙසුමට පැමිණියෙමි මම
මහරජ තිස්ස ඔබ අමතමි මෙසේ මම

****

වඳිමු මිහිඳු මා හිමි

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් ද භණ්ඩුක උපාසක ඇතුළු පිරිස එදා අනුරාධපුරයේ මිහින්තලා කඳු මුදුනට වැඩිය හ. දේවානම්පියතිස්ස එදා රට පාලනය කළ රජතුමායි. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දෙසූ සේක. රජු සතුන් මැරීම අතහැර තෙරුවන් සරණ ගියේ ය. පින්වත් මිහිඳු හිමි ලංකාවට ධර්මය රැගෙන නො වැඩියේ නම් අපට සම්බුද්ධ ධර්මය ගැන දැන ගැනීමට ලැබෙන්නේ නැත. පොසොන් පෝ දිනයක පමණක් නොව සැමදා ම මිහිඳු මහරහතන් වහන්සේ නැමදිය යුතු ය.

****

පොසොන් සඳ

පොසොන් උදාවයි දහම් අමාවයි
අනුබුදු හිමිගේ පැමිණීමයි
මුළු දසතම හමනා සිල් සුවඳයි
සැම දෙන සිත් පිරි කරුණාවයි

මිහිඳු හිමියන් වැඩම වූයේ
මෙලක සම්බුදු සසුන රැකුණේ
සත්‍ය සැමටම වැටහුණේ
පොසොන් පෝය දා දිනේ

****

අනුබුදු මිහිඳු හිමි

බුදුදහමේ ආශිර්වාදය ලක්දිවට දායාද වූයේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූතයන් වහන්සේලාගේ සම්ප්‍රාප්තියෙනි. මහින්දාගමනය සිදු වූයේ, සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 වන වසරෙහි ය. එනම්. දෙවනපෑතිස් රජුගේ පළමුවන රාජ්‍ය වර්ෂයේ දී ය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, නිවැරැදි රාජ්‍ය පාලනය, කලා ශිල්ප , සිරිත් විරිත් , ඇදහිලි වැනි බොහෝ දෑ රැගෙන වැඩි සේක. ඒ අනුව මහින්දාගමනයත්, ඊට එක් වූ දුමින්දාගමනයත් දේශීය බෞද්ධ සංස්කෘතියෙහි ආරම්භයයි. මිහිඳු මහරහතන් වහන්සේ සමඟ පැමිණි ධර්මදූතයන් වහන්සේලාගේ වාසය සඳහා දෙවනපෑතිස් රජු විසින් මහමෙව්නාව පූජා කළ අතර. මිහිඳු මහරහතන් වහන්සේ හා දෙවන පෑතිස් රජතුමා විසින් සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩමවා භික්ෂුණී සමාජය මෙරට පිහිටුවීමට කටයුතු කරනු ලැබූහ. එය මෙරට බෞද්ධ කාන්තාවන්ගේ ජයග්‍රහණයක් විය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් අපට ලබාදුන් වටිනා බුද්ධශාසනය ආරක්ෂා කර ගැනීම, අප සියල්ලන්ගේ වගකීමකි.

****

අගතනතුරු ලැබීම

****

මිහිඳු හිමි වැඩමවීම