Print this Article


ලෝකවිදූ නම් වන සේක

ලෝකවිදූ නම් වන සේක

තුන් ලොව තතු ලෙස ට
දැනගෙන නොදත් මෙලොව ට
දෙසුයෙන් නියම කො ට
ලෝක විදු යයි කියති මුනිඳු ට”

ඒ වීදාගම මහා මෛත්‍රී හිමිපාණන් බුදුගුණාලංකාර නම් පද්‍ය සංග්‍රහයෙහි දී ලෝකවිදූ ගුණය විස්තර කළ අයුරුයි.

නව අරහාදී බුදු ගුණයන්හී පස්වන බුදුගුණය ‘ලෝක විදූ’ ය. වචනාර්ථ ලෙසින් ඉන් කියැවෙන්නේ ලෝකය දැන ගත්තේය යන්නයි. බුද්ධ කාලයෙහි “ලෝක” යන වචනය ඉතා පුළුල් ලෙස විග්‍රහ වූ දාර්ශනික පදනමක් ඇති වචනයකි. නමුත් ඒ එක ද ධර්මයක හෝ දර්ශනයක ප්‍රකාශ නොවන අර්ථ සමූහයක් ම බෞද්ධ ලෝක විග්‍රහයෙහි සූචනය වේ.

ලෝකය පිළිබද අප දන්නේ ඉතා අල්ප වූ දෙයකි. ලෝකය විශාලය. ඒ නිසා අප ලෝකය පිළිබඳ දන්නේම නැත. මහ සයුරෙන් දිය බිඳුවක් මෙනි. ලොව පිළිබඳ අප දන්නේ නොදන්නා දේ මහා සාගරයේ දියමෙනි. පොළොවෙහි වැලිකැට ගණන් කළ නොහැකි ය. නමුත් ලොව පිළිබඳ අප දන්නේ එක් වැලිකැටයක දෙයක් පමණි. නොදන්නා දේ පොළොවෙහි වැලිකැට මෙනි. අප දන්නා දේ නියපිටට ගත් පස් ටිකක් මෙනි. නොදන්නා දේ පොළොවේ පස් මෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු ලොව සර්වාකාරයෙන් දැන වදාළහ. ඒ නිසාම උන්වහන්සේ “ලෝක විදූ” නම් වන සේක.

“ලෝකය” යනු කුමක්ද? සෑදී තිබෙන්නේ කුමකින් ද? ලෝකය ඇතිවූයේ කෙසේ ද? එය කොතෙක් පැරැණි ද? එහි විශාලත්වය කොපමණ ද? ලෝකයේ ප්‍රභේද මොනවා ද? ආදී ප්‍රශ්න විසඳීමෙන් බුදුරජාණන් වහන්සේ තුළ පැවති ලෝක විදූ ගුණය හඳුනාගත හැකි ය.

බුද්ධ දේශනාවට අනුව ලෝකය යනු සත්ත්වයන් හා අසත්ත්ව වස්තු ලෙස හෙවත් ජීව අජීව ලෙසින්ද, ධාතු හා ගුණ වශයෙන් ඇති සියල්ලයි.

ලෝකය සෑදී ඇත්තේ නාම රූප දෙකිනි. ලෝකය යනු සත්ත්ව සන්තාන යයි. හෙවත් පඤ්චස්කන්ධයම යි. මේ සත්ත්ව සන්තාන හෙවත් පඤ්චස්කන්ධය පිළිබඳ ලෝකය දත් නිසයි බුදුරජාණන් වහන්සේ “ලෝක විදූ” නම් වූයේ. මේ “විදූ” ශබ්දයෙන් කියන්නේ ඒ සත්ත්ව සන්තාන ලෝකය සර්ව ප්‍රකාරයෙන්ම දත් බවයි. සර්ව ප්‍රකාරයෙන්ම දැනීම නම් සභාව,සමුදය ,නිරෝධ ,නිරොධූපාය යන සතරාකාරයෙන් දැන ගැනීමයි. සභාව නම් දුක්ඛ ස්වභාවයයි. සංඛිත්තෙන “පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යන පරිදි වදාළ බැවින් උපාදානස්ඛන්ධ පඤ්චකය දුක්ඛ ස්වභාවයෙන් යුක්ත ය. සමුදය නම් ලෝකයේ හට ගැනීමයි. නැතිවීම නිරෝධයයි. ඊට යොදන උපාධි නිරෝධූපායයි.මෙසේ ස්කන්ධ සන්තතියම සතර මාර්ග ඥානයෙන් සර්ව ප්‍රකාරයෙන්ම අවබෝධ කරගත් නිසා බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ලෝකය ද්වා දසායතනයන්ගෙන් සෑදී ඇත. චක්ඛායතනය, රූපායතනය, සෝ්තායතනය, සද්දායතනය, ඝාණායතනය. ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායායතනය, පොට්ඨබ්බායතනය,මනායතනය, ධම්මායතනය යන ද්වා දසායතනයෝය.

බුදුරදුන් ලොව පහළවන විට ලෝකය පිළිබඳ මිනිසුන් ගෙන තිබුණේ අන් ලොවක වෙසෙන මහා බලගතු මැවුම්කරුවෙකුගේ නිර්මාණයක්, මැවීමක් ලෙසිනි. මහා බ්‍රහ්මයා , ඊශ්වරයා දෙවියන් වහන්සේ ආදි නමින් හැඳින්වූහ. තමන් විසින්ම මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිඳීමටත්. සැපයට පැමිණීමටත් හැකි යැයි සිතූහ. මේ පිළිබඳ ඇති අනවබෝධය දුරුකරගත් බුදුරජාණන් වහන්සේ. ලෝකය කෙනෙකුගේ මැවීමක් නොවන බව දත්, සේක. බීජයෙන් ගසත්, ගසින් බීජයත් ඇති වීමෙන් වෘක්ෂ පරපුර නොසිඳී පවතින මෙන් පළමුවෙන් පහළ වූ සංස්කාර නිසා පසු සංස්කාර පහළවීමෙන් සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍රය පවතින බව බුදුරජාණන් වහන්සේ දැන වදාළහ.

ලෝකය පිළිබඳ ඇති අනවබෝධය නිසා වර්තමානයේ බොහෝ දෙනා මින් පෙර වූවා සේ ලෝකයෙහි අතරමංව ඇත. ලෝකයට අගක් – මුලක් නැති බව දත්, බුදුපියාණෝ එය සෙවීමට නොගොස් ලෝකයෙන් එතෙර වීමට මග කියා දුන් සේක. හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන්ද ඇතිවීමෙන් සසර නොසිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ දත් දේ බොහෝ ය. ප්‍රකාශ කළේ අවශ්‍ය දේ පමණි. වරක් ඇට්ටේරියා වනයේ වැඩ සිටිද්දී අතට ඇට්ටේරියා කොළ මිටක් ගෙන ප්‍රශ්න කළේ මිටෙහි ඇති කොළද වැඩි කැලේ ඇති කොළද වැඩි කියායි. එපරිද්දෙන් තමන් වහන්සේ දත් දහම කැලේ කොළ මෙනි. දෙසූ දහම මිටේ ඇති ස්වල්ප මෙන් බවයි. නියට පස් බිඳක් ගෙන දේශනා කළේද නිය මත ඇති පස් මෙන් දේශනා කළේ ටිකක් බවත්, වටහාගත් දහම පොළොවෙහි පස් මෙන් බවයි.

එබැවින් බුදුරදුන් තුන් ලෝකය පිළිබඳ මනාව දැනගත් උතුමා ය. උන්වහන්සේ නව වැදෑරුම් ලෝකය, අටලෝදහම, සත්ත්ව ලෝක විභජනය ස්වභාව, සමුදය , නිරෝධ, නිරෝධාර්ය වශයෙන් ලෝකය දැන වදාළ හෙයින් ලෝක විදූ නම් වන සේක. මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ලෝකය ඇතැඹූලක් සේ දත් අතර, ලෝකය ලෝක සමුදය, ලෝක නිරෝධය හා ලෝක නිරෝධ ගාමිනී පටිපදාව යන කරුණු ලෝකය අරභයා මනාව දත් බැවින් උන්වහන්සේ ලෝක විදූ නම් වන සේක.