Print this Article


නව අරහාදී බුදුගුණ: අරහං නම් වන සේක

අරහං නම් වන සේක

අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කරුණා සාගරයකි. ප්‍රඥා සාගරයකි. ගුණ සාගරයකි. උන්වහන්සේගේ බුදුගුණ අසීමිත යි. එක් බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් උන්වහන්සේලාගේ ගුණ කල්පයක් පුරාවට වදාළත් කල්පය අවසන් වුවත් බුදුගුණ කියා අවසන් කළ නොහැකි බව ධර්මයේ සඳහන් වෙනවා.

මහ සාගරයට වඩා විශාල, අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් යුතු භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා අප බුදුගුණ පාඨයක් සකස් කරගෙන තිබෙනවා. ඒ බුදුගුණ පාඨයට කියනවා නව අරහාදී බුදුගුණ පාඨය කියලා. අරහාදී කියන්නේ අරහං ගුණයෙන් ආරම්භ කරන නිසා. අරහං ගුණයෙන් ආරම්භ කරලා භගවා ගුණයෙන් අවසන් වන බුදුගුණ නවයක් තිබෙනවා. ඒ බුදුගුණ නවයට කියනවා නව අරහාදී බුදුගුණ කියලා. අසීමිත වූ බුදුගුණ සමුදාය කැටිකොට වන්දනා කිරීමට එසේ ගුණ නවයකට කැටිකොට තිබෙනවා.

නව අරහාදී බුදුගුණ අතර පළමු ගුණය අරහං ගුණය යි. අරහං බුදු ගුණයෙහි තේරුම සුදුසු යි යන්නයි. කුමකට ද සුදුසු? ආමිස පූජාවට සහ ප්‍රතිපත්ති පූජාවට යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ, මිනිසුන්ගේ, බ්‍රහ්මයන්ගේ සියලු ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ නිසා උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි. මේ ආකාරයට සියලු සත්ත්වයන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු වූයේ ඇයි? එයට හේතුව අපගේ ශාස්තෘන් වහන්සේ

සියලු කෙලෙසුන්ගෙන් මිදුණ නිසයි. ”අර” කියා පාලියෙන් සඳහන් කරනවා ගරාදිවලට. කෙලෙස් නමැති ගරාදි (ගරාදී කියන්නේ කරත්ත රෝදයක් සවිමත් කරන්න හරහට ගසා ඇති ලීයට යි.) ගරාදිය ශක්තිමත් තරමට තමයි රෝදය කැරකෙන්නේ. අපේ සිතේ කෙලෙස් තිබෙන නිසා තමයි අප මේ සංසාරයේ ශක්තිමත්ව ගමන් කරන්නේ. මේ සංසාර ගමන නැවත්වීමට අරයන් සිඳ දමන්න ඕනේ. උන්වහන්සේ කෙලෙස් අරයන් සිඳලුවා. ඒ වගේම සියලුම කෙලෙසුන් නසා දැමුවා. පාලියෙන් අරි කියන්නේ සතුරාට යි. ඛන්ති කියන්නේ නසනවා, වනසනවා කියන අදහස යි. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නමැති සිතිවිලි සතුරා නසා දැමුවා. ඒ නිසාත් උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් නො කළ සේක. සාමාන්‍ය මිනිසුන් පවක් කරලා එය රහසක් ලෙස තිබේවි කියා සිතනවා. නමුත් එය රහසක් ලෙස පවතින්නේ නැහැ. මාරයාත්, දෙවියොත්, තමාගේ සිතත් එය දන්නවා. බුදුරජාණන් වහන්සේ එසේ නොවේ. ඇති තැනත්, නැති තැනත්, එළිපිටත්, සැඟවිලාවත් පවක් සිදු කළේ නැහැ. එනිසා උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි.

උන්වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණ සේක. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණා වගේම ශ්‍රාවකයාටත් පාපයෙන් වෙන් වෙන්නට උපදෙස් දුන්නා. උන්වහන්සේ සිතින්, කයින්, වචනයෙන් අකුසල් නො කළ නිසා අරහං ගුණයෙන් යුක්ත යි.

තථාගතයන් වහන්සේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක

බුදුරජාණන් වහන්සේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නට පුළුවන්. එදා සිට විශාඛා, අනේපිඬුසිටුතුමා, බිම්බිසාර රජු ආදීන් බුදුන් වහන්සේ ආමිස පූජාවෙන් ඉහළින්ම පිදුවා. ජේතවනාරාමය, පූර්වාරාමය, වේළුවනාරාමය වැනි ආරාම පූජාව දෙස බැලූවිට එය පැහැදිලි යි. ජේතවනාරාමයේ තිබූ ගන්ධකුටිය සාදා තිබෙන්නේ දිව්‍ය විමානයක ආකෘතියක් ලෙස යි. ඒ නිසයි එයට දිව්‍ය රම්‍ය විහාරය කියා හඳුන්වා තිබෙන්නේ. දිව්‍ය රම්‍ය විහාරයටයි සිංහලෙන් දෙව්රම් වෙහෙර කියා කියන්නේ. ඒවාගේ පූජාවන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. බොහෝ දෙනා ප්‍රතිපත්ති වශයෙන් උන්වහන්සේ පිදුවා. බුදුරජාණන් වහන්සේ වඩාත් සතුටු වුණේ ප්‍රතිපත්ති පූජාවට යි. නමුත් ආමිස පූජාව එපා කියා උන්වහන්සේ වදාළේ නැහැ. එයට හේතුව ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව උපදවා ගැනීමට ආමිස පූජාව උපකාර වෙන නිසයි. මේ සියලු පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු නිසා උන්වහන්සේ අරහං ලෙස හඳුන්වනවා.

මේ මූලික ගුණ මුල්කරගෙනයි බුදුරජාණන් වහන්සේට අරහං කියන සුවිශේෂී ගුණය භාවිත වන්නේ. එසේ කෙලෙස් වැනසූ නිසා උන්වහන්සේ සියලු පුද පූජාවන්ට යෝග්‍ය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ මිනිස් සමාජය නෙළුම් පොකුණක් වගේ කියලා. මඩ සහිත පොකුණෙන් හට ගන්නා පියුම් මඩෙන් උඩට ඇවිත් වතුරෙන් උඩට ඇවිත් මඩෙත් නො ගෑවී, වතුරෙත් නො ගෑවී ඉහළට ඇවිත් මල පිපෙනවා. එසේ පිපුණාම ඒ මලෙහි සුවඳ දසතම විහිදෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමැති පුෂ්පය,විකසිත වූ විට දුර ඈත සිටින පිරිස පවා පැමිණ ශ්‍රාවකභාවය ලබා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සුවඳ ඇතැම් විට මිනිසුන්ට නොතේරුණත් දෙවියන්, බඹුන් නිරන්තරයෙන් උන් වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේ එසේ වැඳුම් පිදුම් ලැබුවේ අරහං සම්බුදු ගුණය නිසා. සෑමවිටම වැඳුම්පිදුම් ලැබීමට සුදුසු නිසා.