Print this Article


කැලණියේ කොහල්විල ගංගාරාමයේ සියවස සමරා පින්කම්

කැලණියේ කොහල්විල ගංගාරාමයේ සියවස සමරා පින්කම්

   


නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේට ගංගාරාමාධිපති හොරවල ධම්මාරාම හිමියන් විසින් සිහිවටන තිළිණය පිළිගන්වමින්

ගංගාරාමාධිපති හිමියන් සම්බුද්ධ ශාසනයටත් කොහල්විල ගමටත් ඉටුකළ සේවයට ගම්වාසීන් විසින් සූදානම් කළ උපහාර තිළිණයක් නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් විසින් පිරිනැමූ අවස්ථාව

සැදැහැවතුන් මහ සඟරුවන වෙත පිරිකර පූජා කළ අයුරු

කැලණිය කොහල්විල ගංගාරාම විහාරස්ථානයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඉකුත් 05 වනදා සිට 08 වන දින දක්වා පින්කම් මාලාවක් පැවැත් වූ අතර 07 වන දා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා 08 වන දා සියක් නමක් මහ සඟරුවන විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.


හොරවල ධම්මාරාම හිමි

එම පින්කම සඳහා ගංගාරාමාධිපති හොරවල ධම්මාරාම හිමියන්ගේ සහ විහාරස්ථ දායක සභාවේ ආරාධනයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ, අනුනායක ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ, කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණන් වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමිපාණන් වහන්සේ, ඉන්දියාවේ සැවැත්නුවර ශ්‍රී ලංකාරාම විහාරාධිකාරී උත්තර භාරතයේ ප්‍රධාන සංඝනායක ඇල්ගිරියේ සංඝරතන හිමි, එම විහාරවාසී අලුවිහාරේ ධම්මසාර හිමි, වනවාසල පුරාණ රජමහ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොටුවිල විමලකිත්ති හිමි, පානකාවේ පේමරතන හිමි, වල්පොල විමලඤාණ හිමි, ඇතුළු සියක් නමක් පූජනීය මහා සඟරුවන ගංගාරාමයට වැඩම කරන ලදහ. නියංගොඩ විජිතසිරි අනු නාහිමිපාණන් වහන්සේ විසින් පිරිස පංචශීලයේ පිහිටුවූහ. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණන් විසින් ගංගාරාමයේ අතීත කතාව හා ඓතිහාසික කැලණි රජමහ විහාරස්ථානයත්, කොහල්විල ගංගාරාමයත් අතර ඇති ශාසනික සබඳතාවය පිළිබඳ අනුශාසනාවක් පවත්වන ලදී. අනතුරුව විහාරස්ථ දායක සභාව ප්‍රදේශවාසී සැදැහැවතුන් ශ්‍රී ධම්මරතන දහම් පාසලේ සිසුදරුවන්, ආරාධිත අමුත්තන් ඇතුළු පිරිස මහසඟරුවන වෙත දානය පූජා කරන ලදී.

නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ විසින් සියක් වස සැමරුමට එක්වීම සිහි ගැන්වීම පිණිස උන්වහන්සේගේ සුරතින් විහාර භූමියේ සල් පැලයක් රෝපණය කිරීමටද හොරවල ධම්මාරාම හිමිපාණෝ ක්‍රියා කර තිබුණි. හොරවල ධම්මාරාම හිමිපාණන් වහන්සේ කොහල්විල ගමට සිදුකරන ශාසනික, සාමාජික, සේවය අගයමින් විහාරස්ථදායක සභාව උන්වහන්සේ වෙත උපහාර තිළිණයක් පූජා කළ අතර නියංගොඩ විජිතසිරි අනුනාහිමියන්ගේ සුරතින් එම උපහාර තිළිණය විහාරාධිපති හිමියන් වෙත ප්‍රදානය කළහ.

විහාරස්ථ අතීතය පිළිබඳ විහාරාධිපති හොරවල ධම්මාරාම හිමියෝ මෙසේ පැවසූහ. 1919 වසරේ ආරම්භ වූ ගංගාරාමය දැනට සියක් වසක් සම්පූර්ණ කර තිබෙනවා. පන්සලේ ආදී කර්තෘන් වහන්සේ, මිල්ලවානේ ධම්මරතන හිමිපාණන් වහන්සේ දළුගම කොහල්විල දෙරන රෙජිනාහාමි මාතාවගෙන් රුපියල් 200ක මුදලකට මෙම කුඩා අතුපැල සහිත බිම මිලට අරගෙන ජනතාවට විශාල සේවාවක් 16 වසරක් ඉටුකර කුඩා විහාර මන්දිරයකුත්, පොල් අතු සෙවිලි කළ ධර්ම ශාලාවකුත් තාවකාලිකව ඉදිකරගෙන ඇත.

වසර 16කට පසුව මිල්ලවානේ ධම්මරතන හිමියන් ඉඩමේ ඔප්පුව කැලණි රජමහා විහාරස්ථානයට බාර දී ඇත. ඉන්පසුව ගංගාරාමයට ආලෝකය උදාකර දෙමින් එවකට කැලණි විහාරාධිපතිව වැඩ විසූ හාපිටිගම බුද්ධ රක්ඛිත හිමියන්ගේ ආරාධනාව මත මෙහි වැඩම කළ පරදුවේ ධම්මරතනාභිධාන නා හිමියන් 1953 දී මෙම ස්ථානයට වැඩම කිරීමෙන් පසුව නැවත පන්සලට ආලෝකය උදා වුණි.

සියක් වසක් ගෙවී ගිය තැන අද සියලු විහාරාරාංගවලින් පරිපූර්ණ අංග සම්පූර්ණ පින්බිමක් මෙහි නිර්මාණය වී ඇත.

මේ වන විට ‘පන්සලෙන් ගමට බොහෝ දේ දායාද වී ඇති බව පෙනේ. මේ අතර ‘අමත නිදහස් බටහිර සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය,අමත නිදහස් දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය, ගිලනුන්ට, ආබාධිතයන්ට රෝද පුටු ,අත්වාරු අවශ්‍ය අවස්ථාවකදී පාවිච්චියට ලබාදීම ,නොමිලයේ ගිලන්රථ සේවාව, දන්ත වෛද්‍ය සායනය, සැම මසකම අවසන් ඉරුදින පවත්වන නොමිලයේ රුධිර පරික්ෂාව (ඇල්ෆා මෙඩි හවුස් ආධාරයෙන්) මෙකි නොකී බොහෝ උදාර සේවාවන් පන්සලෙන් ගමට දායාද වී ඇත. ‘ගමයි, පන්සලයි’ එක්තැන් වූ විට එයින් නිර්මාණය වන්නේ දැහැමි සමාජයක් බව අද වන විට කොහල්විල ගමෙන් පෙන්වා දී ඇතැයි තම දායක සභාව ගැන සතුටින් පවසන ධම්මාරාම හිමියෝ ඔවුන්ගෙන් ලැබෙන ආධාර පිළිබඳව කෘතවේද ීව සිහිපත් කරති.