[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

කළුතර ධම්මානන්ද නා හිමි

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවර ශාසන කීර්ති ශ්‍රී කම්මට්ඨානාචරිය, ශ්‍රී සුගත ශාසනවංස විභූෂණ, සංඝ සෝභන වනරතන කළුතර ශ්‍රී ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී අප්‍රේල් මස 06 දිනට වසර 05 ක් ගත වෙයි.

ක්‍රි.පූ. 02 සියවසේ සිට ක්‍රි.ව. 11 සියවස දක්වා වු පුරා විද්‍යාත්මක සොයා ගැනීම් බුද්ධංගලින් හෙළි කර ගැනීමට අවශ්‍ය මග සැලසුවේ ජීවිත පරිත්‍යාගයෙන් යුත් කැපවීමෙන් යුතුව බුද්ධංගල ආරණ්‍ය සේනාසනය ආරම්භ කර වදාළ කළුතර ශ්‍රී ධම්මානන්ද ස්වාමිපාදයාණන් වහන්සේ යි.

1927 දෙසැම්බර් මස 27 වන දින කළුතර දොන් ඩේවිඩ් මහතාගේ සහ කොට්ටිවිල්බදු විදානලාගේ පොඩිනෝනා යන දෙපළගේ පුතෙකු ලෙස මෙලොව එළිය දුටු ගුණසේන නම් වූ දරුවාගේ මව්පියන් ඔහුට අවුරුදු 03 වන විට අභාවයට පත් වී තිබුණි. නැන්දා සහ මාමා ළඟ වැඩෙමින් හේ පාසල් අධ්‍යාපනය සමඟ කළුතර කුමරිකන්ද විහාරස්ථානයෙන් දහම් පාසල් අධ්‍යාපනය ද ලැබී ය. තරුණ කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව කළ හෙ තෙම තම නිවසේ දහම් පාසලක් ද පවත්වමින් අනගාරික දිවියට පත් විය.

කළුතර කුමරිකන්ද ශ්‍රී සුදර්ශන විහාරාධිපති කොත්මලේ ශ්‍රී සද්ධම්මවංස හිමියන් විසින් රචිත ‘ ප්‍රතිපත්ති ශාසනය’ නම් ග්‍රන්ථය කියවා රාමඤ්ඤ නිකාය ගැන පැහැදී, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ වඩුවතු භික්ෂු පරම්පරාවේ මීිරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති මහෝපාධ්‍යාය කදිරාගම සුමනසාර මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සහ පසු කලෙක මහානායක ධුරයට පත් වේවැල්දෙණියේ මේධාලංකාර යන ස්වාමින් වහන්සේලාගෙන් දහම් ගැටලු විසඳා ගෙන තමන් අපේක්ෂා කළ මහණ උපසම්පදාව ලැබිය හැකිය යන අදහසින් උන්වහන්සේලා ආචාර්යත්වයේ තබා ගනිමින් 1964 මැයි 20 දින පැවිද්දට පත් විය. ඒ සමඟ සිය ප්‍රාණ සම සහායක මිත්‍රයාන වන බටුයායේ අරියවංස හිමියන් ද සාමණේර පැවිද්ද ගත් අතර දෙනම ම එම වසරේ ජූලි මස 30 වන දින ගාල්ල මහමෝදර උදකුක්ඛේප සීමාවේ දී උපසම්පදා වූහ.

ගිහි අනගාරික කල සිටම ආරණ්‍ය වාසය පි‍්‍රය කළ උන්වහන්සේ අම්පාරට වැඩම කර 26 ජනපදයේ සැදැහැවතුන්ගේ සහාය ලැබ බුද්ධංගල මහා වනයට වැඩම කර ගරා වැටුණු ස්තූපය ආසන්නයේ පිහිටි හුඹස් මැටි වලින් පිරී තිබුණු ගල් ලෙනක් පවිත්‍ර කර ගෙන භාවනායෝගී වූහ.අලි ඇතුන් හා කොටි වලසුන් පිරි මහා වනයෙන් සැතපුම් 05 පමණ දුර 26 ජනපදයට පිණ්ඩපාතයේ වඩිමින් තම ප්‍රත්‍ය සම්පාදනය කර ගත් හ.

අක්කර 1280 භූමි භාගයක් පුරා පැතිරුණු මහා ගල් පර්වතය සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ලෙස පෙනෙන නිසා මේ ප්‍රදේශය බුද්ධංගල නමින් ව්‍යවහාරයට පත් විය .මෙම පුණ්‍ය භූමිය සොයාගත් කළුතර ධම්මානන්ද බුද්ධංගල නාහිමියෝ අතිවිශාල, ආගමික, ශාසනික, අධ්‍යාපනික, සාමාජික හා සංස්කෘතික සේවා රාශියක් සිදු කළහ.

1972 දී ඉපැරැණි වටදා ගෙය කැණීම් අවස්ථාවේ හුඹසක තිබී ශී‍්‍ර සර්වඥ ධාතූන් වහන්සේ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා සහති දඹරන් කරඬුවක් හමුවිය. එම ධාතුන් වහන්සේ තැන්පත්කර චෛත්‍යරාජයාණන් ගොඩ නඟා ඇත. බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ අභිවෘද්ධියට ඒ ඒ කාලවල රාජ්‍ය පාලනය කළ රාජ්‍ය පාලකයෝ දේශපාලන භේදයකින් තොරව උදව් කැරිණි. එමෙන්ම දිසාපතිවරු ඇතුලු රාජ්‍ය නිලධාරිහුද එම පුණ්‍ය භුමියේ දියුණුවට උදව් කළහ.

කළුතර ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ තවත් ආරණ්‍ය සේනාසන රාශියක් එම ප්‍රදේශයේ ඇති කළ අතර ඒ සියල්ල තම ශිෂ්‍යයන්ටත්, භාවනානු යෝගී ස්වාමින් වහන්සේලාටත් පවරා දුන්හ. උන්වහන්සේගේ කල්‍යාණ මිත්‍ර බටුයායේ අරියවංස මහා ස්වාමින් වහන්සේ අම්පාර නගරයේ පිහිටි සදහම් සෙවනෙහි ආධිපත්‍යය දරන අතර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ අධිපතිත්වය නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රාජකීය පණ්ඩිත දීඝවාපියේ සුසීම හිමියෝ දරති.

****

නාකුළුගමුවේ පේමතිලක මහා නාහිමි

කොළඹ 08, සීවලී පටුමඟ විවේකාරාමය හා හාතාගල හුංගම ශ්‍රී විවේකාරාමය යන උභය විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ මහා නා නාහිමිපාණන් වහන්සේගේ අනූ දෙවැනි ජන්ම දිනය අප්‍රේල් මස 05 වන දිනට යෙදී ඇත.

1928 අප්‍රේල් මස පස්වන දින නාකුළුගමුවේ ඕ.පී. කොරනේලිස් ද සිල්වා වෛද්‍යාචාර්යතුමාගේ හා පාඨශාලාචාරිනී පළුතුඩුවේ හීන්හාමි ජයවර්ණ දම්පතීන්ගේ ද්විතීයික පුත්‍රයාව මෙලොව එළිය දුටු උන්වහන්සේ පළුතුඩුව ප්‍රාථමික විද්‍යාලයේත්, නාකුළුගමුව (පිරිමි) පාසලේත් සිව්වන වසර දක්වා ශාස්ත්‍ර ඥානය ලැබීමෙන් අනතුරුව පළුතුඩුවේ සෝමානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1939 දෙසැම්බර් මස 28 දින ප්‍රවෘජ්‍යා භූමියට පත්වූහ. 1950 ජූලි මස 19 දින ගන්දර සරණතිස්ස නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසපන් ව සම්මානනීය මහතෙර නමක් ව මේවන විට ප්‍රවෘජ්‍යා භූමියට අන්තර්ග්‍රහණය වී 81 වසරකුත්, උපසපන්වීමෙන් 70 වසරකුත් සපිරේ.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි ද, විදුදය මහ පිරිවෙනෙහි ද අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන පඬිවරයෙකු බවට පත්වූහ. 1963 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියෙන් ද සමර්පණය වූහ.

අමරපුර සිරි සද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායෙහි නෙකවිධ තනතුරු විධිමත්ව හා ක්‍රමවත්ව දරමින් යථෝක්ත නිකායෙහි අභිවෘද්ධිය සඳහා තද් නිකායික භික්ෂූන්ගේ යහපත පිණිසත් උන්වහන්සේ සිදුකළ මහාර්ඝ සේවය අපරිමිතය. ගුරුවරයෙකු, පරිවෙණාධිපතිවරයකු, විදුහල්පතිවරයකු ආදී නයින් විවිධ වෘත්තීන් දරා ඇති උන්වහන්සේ නැණ ගුණ ප්‍රභාවත් කළ සිසු ගණයා සුළු පටු නොවේ.

1990 සිට අඛණ්ඩව දශ වර්ෂයකට අධික කාලයක් හම්බන්තොට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයත් හෙබවූයේ විදග්ධ ඥානයෙන් හා ප්‍රශස්ත අභිමානයෙනි. ස්වනිකායික කර්තව්‍යයන්හි දී ඉතා යුහුසුළුව, උද්යෝගිමත්ව, කාර්ය ශූරත්වයෙන් හා කැපවීමෙන් මහා නා හිමිපාණෝ ක්‍රියා කළහ. 1980 දී නිකායික භික්ෂූන්ගේ ඒකච්ඡන්දයෙන් තත් නිකායෙහි උප ලේකම් ධූරයට පත් කර ගනු ලැබූ උන්වහන්සේ 1987 දී මහා සංඝ නේතෘවරයාණෝ මහා ලේකම්ධූරී ද වූහ. තත් නිකායික සර්ව කෘත්‍යයන් මනාව සෘජුව හා සමෘද්ධිමත්ව ඉටුකරන ලද බැවින් 2002 දී අධිකරණ සංඝනායක ධූරයෙන් ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද, 2008 දී නැවතත් නිකායෙහි අනුනායක ධූරයෙන් ද 2011 දී තත් නිකායෙහිම මහා නායක ධූරයෙන් ද සමෝත්පන්නවූයේ සංඝ සෝභන ගුණැති, ආදර්ශ සම්පන්න, සර්ව නයින්ම එම තනතුරුවලට හාත්පසින්ම යෝග්‍යවන බැවිනි.

1969 දී යථෝක්ක විහාරස්ථානද්වයෙහි අධිපතීත්වයට පත්ව විහාරස්ථ දායකාරකාදීන් හා හුදී ප්‍රාදේශීය ජනසමූහයා වෙනුවෙන් කරන ලද උත්කෘෂ්ඨ, අනූපමේය මෙහෙවර ආහ්ලාදකරය. අක්කර 72 ක් වූ භූමිභාගය ‘සීවලී පුර’ ප්‍රදේශය යනුවෙන් යෙදවූයේ’ මහා නාහිමියන්ගේ අනූපමේය උත්සාහය හා ප්‍රධානත්වයෙනි. 1981 දී ආසියාවේ දැවැන්තම සීවලී ප්‍රතිමාව නෙලීම නිසාත් තද් ප්‍රදේශය සර්ව තන්හිම ‘සීවලී නාමය’ රැව් පිළිරැව් දුනි.

වියත් ධර්ම ඥානයෙන් අනූනව, සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයෙකු වූ උන්වහන්සේට නිදුක් නීරෝගී සුව සපිරි ආයුරාරෝග්‍යාදී භාග්‍ය සම්පත්තීන් ලැබේවා.

****

තලල්ලේ මෙත්තානන්ද අනු නා හිමි

සසුන්ගතව ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝක බෞද්ධ ජනතාවට මහඟු සේවාවක් කරන අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායෙහි අනුනායක තලල්ලේ මෙත්තානන්ද යතිවරයාණන්ගේ උදාර සේවාවට හැත්තෑ වසරක් සපිරි ඇත.

ඉතා ළමා අවධියෙහිදීම ශාසන ගත වී වර්ෂ හැත්තෑවක් නිරෝගීව ධර්මශාස්ත්‍රීය සේවාවක් කර උන්වහන්සේ පින්වන්ත මහ පිරිවෙන හෙවත් සද්ධර්මාකර පිරිවෙන් ආයතනය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යනු ලැබේ.

උන්වහන්සේ මීට වසර හැත්තෑවකට පෙර තලල්ල නම් ලද දකුණු සිරිලක ග්‍රාමයෙහි උපත ලබා සසුන් ගත විය.

ඉන්පසුව පාලි සංස්කෘත හා සිංහල භාෂාවද ඉංගී‍්‍රසි භාෂාවද හැදෑරූ මෙත්තානන්ද හිමියන් සද්ධර්මාකර ආයතනයෙහි අභිධර්මය හා බෞද්ධ සංස්කෘතිය හදාරා ප්‍රදේශයෙහි ධර්ම කතික හිමි නමක් ලෙස ප්‍රචලිත විය.

එම පිරිවෙනෙහි ශිල්ප ශාස්ත්‍රය හදාරා පණ්ඩිත පින්වත්තේ දේවානන්ද නා හිමියන් යටතේ හා තලල්ලේ ධම්මාලෝක අනුනාහිමියන් යටතේ හැදී වැඩුණු තලල්ලේ මෙත්තානන්ද හිමිපාණන් ඉතා විනීත, දක්ෂ කීකරු හිමිනමක් ලෙස කා අතරත් ප්‍රසාදයට පත් ව සිටි බව නොරහසකි.

පින්වත්තේ දේවානන්ද නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී තනතුරට මෙන්ම විහාරාධිපති තනතුරට ද පත් උන්වහන්සේ ගල්කිස්ස තපෝධනාරාමයෙහි විහාරාධිපති තනතුරට ද පත් වූහ.

තලල්ලේ මෙත්තානන්ද නා හිමියන් ප්‍රථමයෙන් ම තමාගේ නායකත්වය යටතේ පින්වත්ත පිරිවෙන දියුණුවට පත් කළේ ය. ශ්‍රී ලංකාවේ පිහිට වූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මණ්ඩප හතරෙන් එකක් පිහිටවනු ලැබුවේ, එම ආයතනයෙහිය. එමගින් කාලයක් තිස්සේ ගෙන ගිය ශාස්ත්‍රීය වර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරනු ලැබීය. ඒ අනුව පුස්තකාල, ශිෂ්‍ය නිවාස, විද්‍යාගාර, පන්තිකාමර, දේශන ශාලා විහාර මන්දිර සහ රන්වැට සහිත බෝධි ප්‍රාකාරය එහි ගොඩනඟනු ලැබීය.

දකුණු කොරියාවෙහි යොරේ නිකාය හා සමඟ සහ එහි නායක සොක් ඉන් වන් නා හිමියන් සමග ඇති සබඳතා අනුව සොක් ඉන්වන් පුස්තකාලය ද ගල්කිස්ස තපෝධනාරාමයෙහි සොක් ඉන්වන් භාවනා මධ්‍යස්ථානය ද ඉදිකරනු ලැබීය. එමඟින් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ආගමික කටයුතු ඉතා සුව පහසුව ඇති ව කරගෙන යෑමට අවස්ථාව සලසනු ලැබී ය.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායෙහි අනුනායක පදවියට පත්වීම හේතුකොට බෞද්ධ ශාසනයට මහඟු සේවාවක් කර ගැනීමට අවස්ථාවක් ඇති කර ගනු ලැබීය.

විවිධ සමාජ සේවා කාර්යයන්හි නිරත වූ මෙත්තානන්ද අනු නාහිමියන් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් නිහඬව ක්‍රියාත්මක කර ඇත. එසේ ම සුනාමි ව්‍යසන අවධියෙහි විපතට පත් ජනතාවට විදේශ ආධාර ලබාදීමත්, නිවාස තනා ගැනීමට ඉඩම් ලබාදීමත් උන්වහන්සේගෙන් සිදුවිය. මෙම කාර්යයෙහි දී තලල්ලේ ධම්මාලෝක අනු නා හිමියන්ගේ සහායද නොමඳව ලැබුණි. එසේ ම වියළි ආහාර හා රෙදි පිළි මෙන්ම පාවහන්, පොත්පත් ද දරුවන්ට ලබාදෙනු ලැබී ය.

විදේශිය ධර්ම ප්‍රචාරක කටයුතු රාශියකට උන්වහන්සේ නායකත්වය ලබා දුන් සේක. කොරියාව, ජපානය, චීනය, සිංගප්පූරුව, ඉන්දියාව, තායිලන්තය, හොංකොං, තායිවානය, ඉන්දුනීයාව, හා මැලේසියාව යන රටවල නිරතුරව ධර්ම ප්‍රචාරයට වැඩම කරනු ලැබී ය. මෙවැනි බොහෝ රටවල දී පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනේ ආදි ශිෂ්‍ය ගිහි පැවිදි පිරිස මුණ ගැසීමට ලැබුණි. මෙම රටවල මහා නා හිමිවරු ලංකාවට වැඩම කර සබඳතා කර ගැනීමට හැකි විය.

අදට හැත්තෑ වසර සපිරෙන තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමියන් ඉතා කැපවීමෙන් සිදුකරගෙන යන ශාසනික හා සමාජ සේවාව සියලු දෙනාගේ ප්‍රසංශාවට ලක්විය යුතු යි. දැනට පානදුර පින්වත්තේ ඉදිකරගෙන යන 28 රියන් හිටි බුදුපිළිමය උන්වහන්සේගේ උදාර සේවාවට උපහාරයක් වනු නොඅනුමානය.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]