Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්මකීර්ති සංඝශෝභන ගෞරව නාමයෙන් පිදුම් ලබන නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මහා විහාරාධිපති වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති බෝලියද්දේ විමලානන්ද මා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්මකීර්ති සංඝශෝභන ගෞරව නාමයෙන් පිදුම් ලබන

නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මහා විහාරාධිපති වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති බෝලියද්දේ විමලානන්ද මා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්මකීර්ති සංඝශෝභන ගෞරව නාමයෙන් පිදුම් ලබන නිට්ටඹුව රන්පොකුණගම බෞද්ධ මහා විහාරාධිපති, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති බෝලියද්දේ විමලානන්ද මහා ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව මඟින් “ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්ම කීර්ති සංඝශෝභන” යන ගෞරව නාමය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය රන්පොකුණගම බෞද්ධ මහා විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, අග්ගමහා පණ්ඩිත රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ ලේකම් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 06 පස්වරු 2.30 ට පැවැත්වේ. එම අවස්ථාවට ගලපිටියාගම විමලධම්ම අනු නා හිමි, මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නා හිමි, දීවෙල මහින්ද අනු නා හිමි, මකුලෑවේ විමල නා හිමි, ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි ඇතුළු මහා සඟරුවන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ගම්පහ දිසා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිත ය.

****

සේවය සදා අනුස්මරණීය ව පවතිනු ඇත

නිට්ටඹුව - රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති, ශාස්ත්‍රපති බෝලියද්දේ විමලානන්ද මහා ස්ථවිර පාදයන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් පිරිනමන ලද ශ්‍රී පාලිත විමලධම්ම වංශාවතංස ධර්ම කීර්ති සංඝ සෝභන යන ගෞරව සම්මානෝපාධිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ බලවත් සන්තෝෂයෙනි.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානාහිමියන් වෙතින් බෝලියද්දේ විමලානන්ද හිමියන් ශ්‍රී සන්නස් පත්‍රය ලබාගත් අවස්ථාව

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධර, නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති පණ්ඩිත ගලපිටියාගම විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වශයෙන් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූ අපේ විමලානන්ද ස්ථවිරයන් වහන්සේට පැවිදි අධ්‍යාපනය ලබා ගැනීමට උපස්ථම්භක වූයේ ද මේ රටේ කීර්තිමත් විද්‍යා ස්ථානයක් වූ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලීය මහ පිරිවෙනයි. එහි අධිපති වූ බද්දේගම විමලවංසාභිධාන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ඇදුරු මඩුල්ලෙන් අධ්‍යාපනය ලබා ගැනීමට වාසනාවන්ත වූ උන්වහන්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් තවදුරටත් දැනුම දියුණු කරගත් යතිවරයන් වහන්සේ නමකි. පිරිවෙන් කිහිපයකම ධර්මාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ උන්වහන්සේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් ද වර්ෂ තිහකටත් වැඩි කාලයක් දැයේ දූ දරුවන් වෙනුවෙන් තම දැනුම ලබා දෙමින් කරන ලද සේවය ද සදා අනුස්මරණීය ව පවතිනු ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිට්ටඹුව ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම්ධූරය දරමින් සෑහෙන කලක් කටයුතු කළ විමලානන්ද ස්ථවිරයන් වහන්සේ වර්තමානයේ ප්‍රධාන සභාපති ධූරය හොබවමින් ස්වනිකායික වශයෙන් කළයුතු සේවය ද මැනවින් ඉටුකරමින් ශාසනයේ චිරපැවැත්ම සඳහා බෙහෙවින් උපකාරී වී ඇත. උන්වහන්සේගේ පුණ්‍යවන්ත බව වඩාත් කැපී පෙනෙන්නේ රන්පොකුණගම බෞද්ධ මධ්‍යස්ථානය දෙස බැලීමෙනි. දැන උගත් රාජ්‍ය සේවයේ නියුතු විශාල ජනතාවකට ආගමික සෙත සලසන රන්පොකුණගම විහාරය ප්‍රදේශයේ කාගේත් සම්භාවනාවට පාත්‍රවන විහාරස්ථානයක් බවට පත් කිරීමට උන්වහන්සේ මහත් ප්‍රයත්නයක් දැරූ බව ගිහි පැවිදි කවුරුත් මැනවින් දනිති. මේ වන විට තුන් බෝ පිහිටි සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ විහාරස්ථානයක් බවට රන්පොකුණගම විහාරස්ථානය පත්කර ඇත.

මෙසේ ජාතික වශයෙන් ද, ආගමික වශයෙන්ද මහත් වූ කැප වීමකින් කටයුතු කරන බෝලියද්දේ විමලානන්ද ස්ථවිරපාදයන් වහන්සේගේ මෙම අධ්‍යාපනික ශාසනික වැදගත් සේවය අගය කරමින් උපහාර දක්වන අවස්ථාවේදී නිදුක් නීරෝගීව ශතවර්ෂාධික කාලයක් ලෝසසුන් වැඩ වැඩුමට ශක්තිය ධෛර්යය ලැබේවා.

****

ගෞරව සම්භාවනාවට පාත්‍ර වූ යතිවරයන් වහන්සේ නමක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිට්ටඹුව ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති, රංපොකුණුගම බෞද්ධ මහා විහාරාධිපති ශාස්ත්‍රපති බෝලියද්දේ විමලානන්ද ස්වාමීන් වහන්සේට අප නිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් ප්‍රධාන කාරක පාලක සංඝ සභාව විසින් “ශ්‍රී පාලිත විමලධම්ම වංසාවතංස ධර්ම කීර්ති ශ්‍රී සංඝ සෝභන” යන ගෞරව සම්මානෝපාධිය පිරිනමන මෙම අවස්ථාවේ දී සුභාශිංසන පිරිනමන්නේ හදපිරි සතුටිනි.

උන්වහන්සේ අප නිකායේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක් වන අනුනායක රාජකීය පණ්ඩිත ගලපිටියාගම විමලධම්ම නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිද්ද ලබා, ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංස පිරිවෙනෙන් හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනෙන් පැවිද්දට අදාළ ශික්ෂණය හා ශාස්ත්‍රෝද්ග්‍රහණය ලබා, විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි ධාරියෙකු ලෙස තම අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කරගත් හිමිනමකි. තමන් වහන්සේ ලද අධ්‍යාපනයේ ප්‍රතිලාභ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස අවසන් වරට සේවය කර විශ්‍රාම ලබන තෙක් මේ රටේ දෙනෝදාහක් දැයේ දූ දරුවන්ගේ ගුණ නැණ වර්ධනය සඳහා ප්‍රධානය කර ඇත. උන්වහන්සේගේ අධ්‍යාපනික සේවය මෙන්ම රංපොකුණුගම බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති ලෙස විහාරස්ථානය කේන්ද්‍ර කරගත් සුවිශාල ආගමික, ජාතික, දහම් අධ්‍යාපනික, නිකායික සේවයක යෙදී සිටිති. නිට්ටඹුව ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපතිවරයාණන් ලෙස දීර්ඝ කාලයක සිට ක්‍රියා කරමින් නිකායික කටයුතුවල දී අප හට සුවිශාල ශක්තියක් ලබා දෙන තෙරනමකි. නිකායේ පරිපාලන මධ්‍යස්ථානය වන නාරාහේන්පිට මහා සංඝ මූලස්ථානය සඳහා ද භෞතික සම්පත් සම්පූර්ණ කර ගැනීමේ දී උන්වහන්සේ පෞද්ගලිකව ම ඉදිරිපත් වී ලබා දෙන සහාය පිළිබඳව ද මෙම අවස්ථාවේ දී කෘතවේදීව සිහිපත් කරමි.

උන්වහන්සේ සැම දා අතිශය ගුරු භක්තියෙන් ක්‍රියා කරන හිමිනමක් බව ප්‍රකට කරුණකි. තමන් වහන්සේගේ ගුරු පරපුරට ගෞරවයක් හිමිවන ලෙස ක්‍රියා කරමින් ඇවතුම් පැවතුම් රැකගෙන එන නිසා උන්වහන්සේට ලබා දී ඇති ගෞරව නාමයේ “ශ්‍රී පාලිත විමලධම්ම වංසාවතංස” යනුවෙන් ද ධර්ම දේශකයෙකු ධර්මාචාර්යවරයෙකු වශයෙනුත් අප නිකායට ආවේණික ශ්‍රමණාකල්ප වලිනුත් යුක්තව ක්‍රියා කරන නිසා “ධර්ම කීර්ති ශ්‍රී සංඝ සෝභන” යනුවෙන් ද ගෞරව නාම නිර්දේශ කරන නිකායේ සමන්නේසන සභාව විසින් ලබා දී ඇත. ගෞරව නාම පිරිනැමීමේ දී අප නිකාය විශේෂ අවධානය යොමු කරන සම්මානලාභී පැවිදි, ගිහි උතුමන් සැමගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වූ නැණවත්, ගුණවත් කෙනෙකු වීම ය. එනිසා මෙම උතුම් සම්මානය ලබන අපේ විමලානන්ද මහා ස්ථවිරයන් වහන්සේට තමන් කරගෙන යන ජාතික, ආගමික, සාමාජික, අධ්‍යාපනික, සංස්කෘතික මෙහෙවර තව තවත් ශක්තිමත්ව සිදු කිරීමට රත්නත්‍රයේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.