Print this Article


පුද්ගල විවිධත්වය

පුද්ගල විවිධත්වය

මතු දා තමාට සතුරෙකු වශයෙන් නැගී සිටින්නේ තමා උදව් උපකාර කළ කෙනෙකු ම ය. වර්තමානය තුළ දැඩි ලෙන්ගතුකමින් ඇසුරු කරන සෑම මිත්‍රයෙක් ම හෙට දවසේ ඔබගේ හතුරෙකු බවට පත්වීමේ ප්‍රවණතාවයක් පවතියි. එ නිසාම ඔබ ප්‍රවේශම් විය යුත්තේ සතුරන්ගෙන් නොව මිතුරන්ගෙන් ය. සතුරාගෙන් ප්‍රවේශම් වන්නට අමුතුවෙන් කිව යුතුද? මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කරන කාලයේ ඔහු මතු දා සතුරෙකු බවට පත්නොවන බවට සිතමින් කටයුතු කිරීම අනුවණ කමකි.

අප ජීවත් වන සමාජයේ එදිනෙදා අපට මුණ ගැහෙන පුද්ගලයන් විවිධ ය. සමාජයේ ජීවත් වන විට අපට මුණ ගැසෙන විවිධ මිනිසුන් සියල්ලෝම කොටස් දෙකක ට බෙදා දැක්විය හැකි ය. එනම්, තමා දන්නා හඳුනන පුද්ගලයන් සහ තමන් නොදන්නා නොහඳුනන පුද්ගලයන් වශයෙනි. තමා නොදන්නා නොහඳුනන පුද්ගලයන් අතරේ පේ‍්‍රමය, දේවේෂය, වෛරය ගොඩනැගෙන්නේ නැත .ජීවිතය සඵල කරගන්නා වූ සියලු දෙනා ට ම මෙම ස්වභාවය උද්ගත වනු ඇත.

මෙම සමාජ තත්ත්වය බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පේමදොස සූත්‍රය තුළ දේශනා කර ඇත.

මහණෙනි, මේ ලෝකයේ කරුණු හතරක් උපදියි. එනම්

1.පේ‍්‍රමයෙන් පේ‍්‍රමය හටගනී
( පේමා පේමංජායති)

2.පේ‍්‍රමයෙන් ද්වේෂය හටගනී
( පේමා දෝසො ජායතී)

3.ද්වේෂයෙන් පේ‍්‍රමය හටගනී
( දොසා පේමං ජායතී)

4.ද්වේෂයෙන් ද්වේෂය හටගනී
( දොසා දෝසො ජායතී)

පේ‍්‍රමයෙන් පේ‍්‍රමය උපදින්නේ කෙසේද?

පුද්ගලයෙක් තවත් පුද්ගලයකු හට මනාප වෙයි. තවත් පුද්ගලයන් ඔහුට පෙරළා මනාප වචනයෙන් කතා කරයි. තමා රුචිකත්වයක් දක්වන එම පුද්ගලයාට අන්‍යයෝත් මනාප වචනයෙන් කතා කරතියි, කියා සිතෙයි. ඔහු ඔවුන් කෙරෙහි පේ‍්‍රම උපදවයි. මේ ආකාරයෙන් පේ‍්‍රමයෙන් පේ‍්‍රමය උපදියි.

පේ‍්‍රමයෙන් ද්වේෂය උපදින්නේ කෙසේද?

පුද්ගලයෙකු පි‍්‍රය වු මනාප වූ පුද්ගලයෙකු සිටියි. නමුත් ඔහු අමනාප වචනයෙන් කතා කරයි. එනිසා උන් කෙරෙහි ද්වේෂ උපදවයි. මේ ආකාරයෙන් පේ‍්‍රමයෙන් ද්වේෂය උපදී.

ද්වේෂයෙන් පේ‍්‍රමය උපදින්නේ කෙසේද?

පුද්ගලයකුට අමනාප පුද්ගලයකු සිටී. අනිකෙක් ද ඔහුට අමනාප බව කියයි. තමා අමනාප පුද්ගලයාට අමනාප වූ පුද්ගලයා කෙරෙහි පේ‍්‍රම උපදවයි. මෙසේ ද්වේෂයෙන් පේ‍්‍රමය උපදියි.

ද්වේෂයෙන් ද්වේෂය උපදින්නේ කෙසේ ද?

පුද්ගලයෙකුට අමනාප පුද්ගලයෙකු සිටී. අන් අය ඔහුට මනාපව කතා කරති. අපි‍්‍රය මොහුට පි‍්‍රයව කතා කරති යි සිතා ඔවුන් කෙරෙහි අමනාප වෙයි. මෙසේ ද්වේෂයෙන් ද්වේෂය උපදී.

ජීවිතය හා සමාජය හරිම පුදුම ආකාරයේ සිතුවම ක් බව ඔබ ට වැටහේවි. එනිසා මතු දා තමාට සතුරෙකු වශයෙන් නැගී සිටින්නේ තමා උදව් උපකාර කළ කෙනෙකු ම ය. වර්තමානය තුළ දැඩි ලෙන්ගතුකමින් ඇසුරු කරන සෑම මිත්‍රයෙක් ම හෙට දවසේ ඔබගේ හතුරෙකු බවට පත්වීමේ ප්‍රවණතාවයක් පවතියි. එ නිසාම ඔබ ප්‍රවේශම් විය යුත්තේ සතුරන්ගෙන් නොව මිතුරන්ගෙන් ය. සතුරාගෙන් ප්‍රවේශම් වන්නට අමුතුවෙන් කිව යුතුද? මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කරන කාලයේ ඔහු මතු දා සතුරෙකු බවට පත්නොවන බවට සිතමින් කටයුතු කිරීම අනුවණ කමකි. ඔබ ප්‍රවේශම් විය යුතුම ය. මිතුරෙකු ලෙස එම විමතිය තබාගෙන ඇසුරු නොකළා නම්, හෙට ඔබ විපතට පත්වීමට පිළිවන. විශේෂයෙන් මිත්‍රත්වයේ සිටින කාලයේ කළ ක්‍රියාව අවංක ක්‍රියාවක් ලෙස සිතුවද එම ක්‍රියාව ම සතුරු වු විට සිතෙන්නේ අනුවණ ක්‍රියාවක් ලෙසය.එනිසා යම් කිසිවෙකුට විශේෂයෙන්ම මිතුරෙකුට උදව් කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. මන්ද ඔබ, ඔහුට කරන උදව්ව නිසා ඔහු ද ඔබ හට අහිමි විය හැකි බැවිනි. කළ උදව්ව වටිනාකම ද නැතිවිය හැකි බැවිනි.

මිත්‍රත්වයේ සිටින විට හොඳ යැයි කියූ ක්‍රියාවට ඔහු සතුරු වූ විට නරක ක්‍රියාවක් ලෙස ඔබ අර්ථ ගන්වන්නේ ඇයි?

ඔබගේ සතුරා සමඟ මිතුරුවන අන්‍ය සෑම පුද්ගලයා සමඟ ම සතුරු වන්නට ඔබ උත්සාහ ගන්නේ ඇයි? ලෝකයේ සමාජ සම්මතය එයද? නැතිනම් ඒ තමාගේ දුර්වලකමක් නිසා සිදුවන ක්‍රියාවක් ද? යන්න සොයා බැලිය යුතු වන්නේ තමා විසින් ම ය.

පේ‍්‍රමය සැහැල්ලු ය. එය යටි සිතක පවතී නම් ඒ සිතත් සැහැල්ලු ය. නමුත් ඒ නිසාම එයින් ද්වේශය හට ගනී. ඔබද එය එලෙසින් ම කර තිබේද, නැතිනම් අනාගතයේ එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට උනන්දු වෙනවාද, යන්න විමසා බැලිය යුතු ය. ඔබගේ මනස ක්‍රියාත්මක වන්නේ මෙබඳු ආකාරයේ ක්‍රමවලට ය. එය සකස් වන්නේ එලෙස නම්, ඒ පිළිබඳව අධ්‍යයනය කර බලා එයින් තමාට සිදුවන්නේ යහපතක් ද අයහපතක්ද යන්න සොයා විමසා බැලිය යුතුය.