Print this Article


පාලි ත්‍රිපිටකය අපේ මහඟු උරුමයක්

පාලි ත්‍රිපිටකය අපේ මහඟු උරුමයක්

බුදුරදුන් විසින් හතළිස් පස් වසරක් පුරා උතුරු ඉන්දියාවේ මධ්‍ය දේශය පුරා සැරිසරමින් දේශනා කර වදාළ සනාතන ධර්මය අප කවුරුත් පොදුවේ ජනවහරේ දී හඳුනන්නේ බුදුබණ ලෙස ය. වඩාත් නිවැරැදි ලෙස එය හැඳීන්විය යුත්තේ ත්‍රිපිටකය නමිනි.

මිහිඳු මහ රහතන් වහන්සේ විසින් හෙළබිමට හඳුන්වා දුන් දවස පටන් එය අපි අපේ අනගිතම වස්තුවක් සේ ආදරයෙන් රැක බලා ගතිමු. වියත් මහ සඟරුවන ලවා අටුවා ටීකා ටිප්පනී සම්පාදනය කරවා ගනිමින් බුද්ධකාලීන මහතෙරවරුන් එහි සියුම් අරුත් වටහා ගත් අයුරින් ම තේරුම් ගන්නට වෑයම් කළෙමු. එමෙන් ම අපි ථෙරවාදී බුදුසමය පිළිගත් රටවල සහෝදර බෞද්ධ ප්‍රජාව සමඟ ද නිමල දහම මූලික ස්වරූපයෙන් ම තේරුම් ගන්නට ඔවුනට උදවු වෙමින් වරින් වර ත්‍රිපිටකය බෙදා ගත්තෙමු. මේ සාඩම්බර අතීත කතාව විසින් ජනිත කරන ලද භක්ති ප්‍රමෝදය අපේ ජනපතිතුමන් ලවා ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නීතිගත කරන්නට සමත් වූයේ බෞද්ධ අප කවුරුත් නව ජීවයකින් පුබුදු කරමිනි.

විවිධ සමාජ පරිසරයන් තුළ හැදී වැඩී නානාවිධ අධ්‍යාපන සහ වෘත්තීය මට්ටම්වල ජීවත් වූ ස්ත්‍රී පුරුෂයන් අමතමින් ඔවුන්ගේ විචක්ෂණයට අනුරූප අයුරින් බුදුරදුන් දෙසූ සදහම් මුල් අවදියේ දී හඳුන්වන ලද්දේ සහිත (සාහිත්‍යය) නමින් බව පෙනේ. ධම්මපදයෙහි බහුම්පි චෙ සහිතං භාසමානෝ යන ගාථාවෙන් අදහස් කළේ ධර්මය බහුලව හදාරා දේශනා කරතත් එය ක්‍රියාවට නොනඟන්නා කුලියට අනුන්ගේ හරක් බලන්නකු හා සමාන බවයි. සහිත යන්න මෙසේ භාවිත වන්නට ඇත්තේ විනය නීති පනවන්නට පෙර ධර්මය පමණක් පැවති අවදියේ ය. බුද්ධත්වයෙන් විසි වසරකට පසුව විනය නීති හඳුන්වා දුන් අනතුරුව ධර්මය සහ විනය වශයෙන් බුද්ධ දේශනා දෙවැදෑරුම්ව හඳුනා ගන්නා ලදී. සූත්‍රධර්ම මතකයේ රඳවා ගැනීම ආනන්ද හිමියන් විසින් ද, විනය මතක තබා ගැනීම උපාලි හිමියන් විසින් ද සිදු කර ඇත. එයට පෙර විවිධධර්ම කොට්ඨාශ සංවිධානය කොට රැක බලා ගත් සාමාන්‍ය රටාවක් නව ලෝකෝත්තර සද්ධර්මය සේ ද හඳුන්වා ඇත.

බුද්ධ දේශනා ත්‍රිපිටකය ලෙස විධිමත්ව සංග්‍රහ කොට භාණක පරම්පරාවනට පවරා සජ්ඣායන මාර්ගයෙන් රැක ගැනීම පිළිබඳ ගෞරවය හිමිවන්නේ ධර්මසංගායක මහ රහතන් වහන්සේ වෙත ය. බුදුරදුන් විවිධ ස්ථානවල දී විවිධ පුද්ගලයනට දෙසූ දහම් එක් මල් අස්නක පිදූ විවිධ පුෂ්පයන් සේ විසිර පැවැති හෙයින් යම් රටාවකට ගලපා සකසා ගැනීම ප්‍රථම සංගීතියෙහි එක් අරමුණක් වූ බව පූජාවලියෙහි දක්වා ඇත. එයින් හැඟෙන පරිදි ම සූත්‍ර හා විනය ග්‍රන්ථ පහ බැගින් සංග්‍රහ කරන ලද්දේ ප්‍රථම සංගීතිය පැවැත්වූ මහ රහතන් වහන්සේලා විසිනි. ඒ වන විට අභිධර්මය පැවැත්තේ සූත්‍ර පිටකයට ම ඇතුළත්ව බව සම්ප්‍රදාය තුළ ඉගැන්වෙයි. දෙවන සංගායනාවෙන් පසුව පැවති සෑම සංගීතියක දී ම අභිධර්මය ද වෙන ම පිටකයක් සේ සංගීති කළ බව පෙනේ.

පැරැණි භාරතීයයන් තල්පත්වල සහ ගස්වලින් ලබා ගන්නා පොතුවල දී රෙදි මත ද පොත් ලිවීමේ කලාව ප්‍රගුණ කර සිටි නමුත් පැරැණි බ්‍රාහ්මණයන් වේදය වාචනා මාර්ගයෙන් රැක ගන්නා අයුරින් ම ත්‍රිපිටකය ද ධාරණය කර රැක ගන්නට මහ සඟරුවන තීරණය කළහ. ඒ අනුව එක් එක් ග්‍රන්ථය ධාරණය මගින් රැක ගැනීම වෙන් වෙන් සංඝ පරම්පරාවනට පැවරිණ. එහෙත් මෙසේ භාණක පරම්පරා මගින් වාචනා මාර්ගයෙන් ත්‍රිපිටකය රැකගැනීමේ සම්ප්‍රදාය තුළ පවත්නා අවදානම ප්‍රායෝගිකව ම අත්දැනගත් ශ්‍රී ලාංකික හිමිවරු ක්‍රි.පූ. පළමුවන සියවසේ දී මාතලේ අලුවිහාරයේ දී එය නිල වශයෙන් ග්‍රන්ථාරූඪ කළහ.

එතැන් පටන් ත්‍රිපිටකය රැක බලාගැනීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් විය. භාරතයෙන් බුදුසමය අතුරුදන් වීමත් සමඟ බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට ද අප රට පත් වූ හෙයින් ත්‍රිපිටකය විෂයෙහි අපගේ වගකීම වැඩි විය. සැබවින් ම බුරුමය සහ තායිලන්තය වැනි ප්‍රමුඛ බෞද්ධ රාජ්‍යයෝ වරින්වර ශ්‍රී ලංකාවෙන් ත්‍රිපිටකය ලබාගෙන සිය රටවල ධර්ම අධ්‍යයනය ඒ අනුව පවත්වා ගත්හ. අද වුව ද ථෙරවාදී ලෝකය පුරා ත්‍රිපිටකය විෂයයෙහි අධිකාරීත්වය උසුලන්නේ ශ්‍රී ලංකාව වන අතර ඒ රටවල සුරැකී ඇති ත්‍රිපිටකය සම්බන්ධයෙන් පවතින්නේ ඒකමතිකත්වයක් වීම ඉතා වැදගත් ය.එහෙයින් එය ජාතික උරුමයක් සේ නීතිගත කොට ආරක්ෂා කිරීම අප සතු ඓතිහාසික යුතුකමකි. ශ්‍රී ලංකා ජනාධිපති තුමා ඒ කෙරේ යොමු වී ත්‍රිපිටකය ජාතික වස්තුවක් සේ නීතිගත වීම අපගේ භාග්‍යයකි.

අප එපමණකින් නැවතිය යුතු නැත. අපේ ජාතික උරුමය සමස්ත ලෝකයා වෙත ම උරුම කර දායාද කර දීම යුගයේ අවශ්‍යතාවකි. එයට මුඛ්‍ය හේතුව විය යුත්තේ ත්‍රිපිටකයෙහි පෞරාණිකත්වය පමණක් නොවේ. ත්‍රිපිටකය වූ කලී කිසි කලෙක යල් පැන නොයන සදාහරිත සාහිත්‍යයකි. එහි අන්තර්ගත ඥානය අදටත් නවීන ය. තාර්කික ය. විද්‍යාත්මක ය. ආදානග්‍රාහී නොවී නිරවුල්ව නිදහස්ව සත්‍යගවේෂණයෙහි යෙදෙන මඟ එහි උත්කර්ෂණය කර ඇත. විශ්වය පිළිබඳ මෑතකදී ම විද්‍යාඥයන් හෙළි කර ඇති කරුණු මුලින් ම අන්තර් ගත වූයේ ත්‍රිපිටකය තුළ වීම ගැන බටහිර චින්තකයෝ විශ්මයට පත් වෙති. එමෙන් ම ත්‍රිපිටකාගත මනෝවිද්‍යාව තමන් සතු දැනුම ඉක්මවා ඉදිරියෙන් සිටින බව නූතන මනෝ විද්‍යාඥයෝ පවසති. එහෙයින් ත්‍රිපිටකය වනාහී සමස්ත ලෝකයා විසින් ම අධ්‍යයනය කළ යුතු සර්වකාලීන විශ්වකෝෂයක් බව ලොව හමුවේ පැහැදිලි කළ යුතුව ඇත. අප විසින් ලෝකයාට අභිමානයෙන් පිරිනැමිය යුතු උතුම් ම තිළිණය වූ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට යුනෙස්කෝව ලවා තහවුරු කරවා ගැනීම අපේ මීළඟ ඉලක්කයයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සම්මත කර ගැනීමේ ව්‍යායාමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාණන්ගේ නියාමකත්වයෙන් මේ මස 23 දින ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් ආරම්භ වෙයි. බුදුමුවින් වදාළ සෑම ත්‍රිපිටක සුභාෂිතයක ම පහස ලද දන්තධාතූන් වහන්සේ සෙවනේ සිට මේ සත්කාර්යය ඇරඹීම කෙතරම් ආශීර්වාදයක් ද? එමෙන් ම මහා සංඝ රත්නයේ අනුශාසනය පරිදි පුස්කොළ පොත්වල ලියන ලද පුරාණ ත්‍රිපිටක ග්‍රන්ථයන් ආරක්ෂා කරනු රිසි වූ ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ග්‍රෙගරිතුමන් විසින් තැන්පත් කළ අංග සම්පූර්ණ ත්‍රිපිටක පොත් වහන්සේලා මේ වන තුරුත් නිරුපද්‍රිතව දළදා මාලිග පරිශ්‍රය තුළ වැඩවාසය කරන හෙයින් ද මෙම සමාරම්භක උත්සවය එම ශුද්ධස්ථානයෙන් සමාරම්භ වීමෙහි අගය කියා නිම කළ නොහේ. මෙම උත්කෘෂ්ට කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහාය වීම සියලු සත්පුරුෂයන්ගේ ම යුතුකමයි.