Print this Article


 “ත්‍රිපිටකය” ජාතික උරුමයක් කිරීමේ වැදගත්කම

 “ත්‍රිපිටකය” ජාතික උරුමයක් කිරීමේ වැදගත්කම

“ත්‍රිපිටකය” ලෙස වර්තමානයේ ලෝ වැසි ජනයාගේ වන්දනීයත්වයට, පූජනීයත්වයට හා ගරු බුහුමන ට ලක් වී ඇත්තේ අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධ භාෂිත ශ්‍රී සද්ධර්මය සංගෘහිත කොට රචනා කරන ලද ග්‍රන්ථාවලිය යි. බුදුන් වහන්සේ තුන් කල්හි ම පවත්නා වූ ධර්මයක්, ජාති ආගම් භේදයකින් තොර ව ලෝ වැසි සියලු ජනයාට අවබෝධ කොට ගත හැකි අයුරින් දේශනා කොට ඇත.එවන් වටිනාකමකින් යුත් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීම අප සියලු දෙනාගේ වගකීම හා යුතුකම වන්නේ ය.

යම්කිසි ජාතියක් සතු සංස්කෘතික උරුමයන් ජාතික උරුමයක් ලෙස හඳුන්වයි. සංස්කෘතික උරුමයන් භෞතික හා අභෞතික ලෙස පවතින අතර ත්‍රිපිටකය වනාහි භෞතික ගණයට අයත් වූවකි. “ත්‍රිපිටකය” ජාතික උරුමයක් බවට පත් කිරීම කාලීන වශයෙන් ගෙන ඇති අනගි ප්‍රශංසනීය වෑයමකි. ඒ සඳහා සාධු සිතින් පෙරමුණ ගෙන ක්‍රියා කළ මහා සංඝරත්නය සිදු කොට ඇති ජාතික සේවාව අනිර්වචනීය ය. මෙවැනි උත්තුංග කාර්යයක් භික්ෂූන් වහන්සේලාට පමණක් තනිව ම සිදු කළ නොහැකි ය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රය ද නිතැතින් ලැබිය යුතු වේ. වර්තමානයේ නොයෙකුත් බාධක මැද ‘ත්‍රිපිටකය’ ජාතික උරුමයක් බවට පත් කිරීමේ සංකල්පය ඉදිරිපත් කරමින් එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කොට ඇත්තේ අනභිභවනීය වූ යුග මෙහෙවරකි. එකී සද්ක්‍රියාවලිය සඳහා ලෝකවාසී බෞද්ධ ජනයාගේ පැසසුම හා තුති නිතැතින් හිමිවිය යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශාසනයේ ගුරුවරයා බවට පත් වූයේ උන්වහන්සේ විසින් දේශිත ධර්මය හා විනය යි. අතීතයේ භික්ෂූන් වහන්සේලා විසින් බුදුදහම කටපාඩමින් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආවේ ජීවිත පරිත්‍යාගයෙනි. දුර්භික්ෂ, වසංගත රෝග, විදේශීය ආක්‍රමණ, යුද කෝලාහල, ආදී නොයෙකුත් බාධක හිරිහැර විඳ දරා ගනිමින් නිර්මල බුදු දහම කෙසේ හෝ රැක ගැනීමේ ශ්‍රේෂ්ඨ පරමාර්ථයෙන් එකල භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ. බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කොට ඒවා ග්‍රන්ථාරූඪ කිරීමේ හැකියාවක් එකල නොපැවතුණි. ලේඛන කලාව දියුණුව නොපැවැති කාලයේ ඒවා දිගට ම මතක තබා ගැනීම බරපතල ප්‍රශ්නයක් විය. මුල් කාලයේ දී බුද්ධ භාෂිත ධර්මය උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා විසින් ස්මෘති ශක්තියෙන් මුඛ පරම්පරාගත ව රැගෙන පැමිණියහ. එය එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට තනිව සිදුකළ නොහැකි විය. ලක්දිව ආරම්භ වූ භාණක ක්‍රමයෙන් සමස්ත ධර්මය පරපුරෙන් පරපුරට ආරක්ෂා කර දීමට කණ්ඩායම් දහ අටකට පවරන ලද බව සඳහන් වේ. ඔවුහු “අටලොස් භාණකයන්” යනුවෙන් හඳුන්වනු ලබති. ඒ අනුව, සූත්‍ර පිටකයට අයත් භාණකවරුන් ලෙස දීඝ භාණක, මජ්ක්‍ධිම භාණක, සංයුත්ත භාණක, අංගුත්තර භාණක, ඛුද්දක භාණක යන කොටස් ඒ ඒ පිරිසට බාරකරන ලදී. අභිධර්ම පිටකයට අයත් ධම්ම සංගනී භාණක, විභංග භාණක, කථාවත්ථු භාණක, පුග්ගල පඤ්ඤත්ති භාණක, ධාතුකතා භාණක, යමක භාණක, පට්ඨාන භාණක යන අභිධර්ම පිටකයේ කොටස් හත පාඩම් කර ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ඒ පිරිසටත්, පාරාජිකා භාණක, පාචිත්තිය භාණක, චුල්ලවග්ග භාණක, මහාවග්ග භාණක, පරිවාර භාණක යන විනය පිටකයේ කොටස් පහ කටපාඩමෙන් සුරක්ෂිතව රැගෙන ඒමට තවත් පිරිසකට බාර කරන ලදී. එමෙන්ම ඛුද්දක නිකායට අයත් ජාතක කතා සඳහා ජාතක භාණක නම් තවත් භික්ෂු පිරිසකට පවරා දී ඇත. මෙලෙස එක් එක් භික්ෂූන් වහන්සේලාට මතක තිබූ දේශනා ඒකරාශී කර ඒවා සංරක්ෂණය කිරීම නොකළේ නම් යම් යම් අයගේ මතවාද බුද්ධ දේශනාවට එකතු වී නිර්මල බුද්ධ ධර්මය ව්‍යාකූල වන්නට ඉඩ තිබුණි.

බුද්ධ ධර්මය සුරක්ෂිත ව පවත්වාගෙන ඒම සඳහා කාලයෙන් කාලයට විවිධ සංගායනා සිදු කර ඇත. ඒ අතර මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජුගේ අනුග්‍රහයෙන් සිදුකළ පළමු ධර්ම සංගායනාව, යස තෙරණුවන්ගේ මූලිකත්වයෙන් හා මගධාධිපති කාලාශෝක රජුගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ දෙවන ධර්ම සංගායනාව, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් සිදුකළ තෙවන ධර්ම සංගායනාව මෙන්ම වළගම්බා රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවේ මාතලේ අලුලෙන් විහාරයේ දී සිදු කළ සංගායනාව යන සියලු සංගායනා ශාසන ඉතිහාසයේ සිදු වූ වැදගත් සංධිස්ථානයන් ලෙස දැක්විය හැකි ය. මහාවංසයෙහි දැක්වෙන විස්තරයට අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්වැනි ශත වර්ෂය තෙක් අවිච්ඡින්න වූ ස්ථවිර පරම්පරාවෙහි ස්මෘති මාර්ගයෙන් පැවැති පුරාණාර්ථ කතා සහිත සම්පූර්ණ ත්‍රිපිටක පාලිය බුද්ධ වර්ෂ 440 ත් 454 ත් අතර කාලයෙහි වළගම්බා රජු දවස පන්සියයක් සිංහල මහරහතුන් විසින් මාතලේ අලුලෙන් විහාරයේ දී ත්‍රිපිටකය පුස්තකාරුඪ කළ බව සඳහන් වේ. වර්තමානයේ අප සතු ත්‍රිපිටකය සකස් වූයේ මෙලෙසිනි.

පසුගිය කාලය පුරාවට ම බුදුදහමට නොයෙක් පිරිස් විසින් නොයෙක් දුර්මත ඉදිරිපත් කරමින් ධර්මය අධර්මය බවට පත් කිරීමට ද, ශ්‍රී සද්ධර්මය ට නිගා කිරීමට ද කටයුතු කරමින් සිටි ආකාරයක් දැක ගත හැකි විය. විවිධ පිරිස් ත්‍රිපිටකයට වෙනත් සංස්කරණ ඉදිරිපත් කළහ. එසේ ම තවත් පිරිසක් පාලි භාෂාවෙහි ඇතැම් වචන සඳහා වෙනත් පද හඳුන්වා දුන්හ. ඇතැමෙක් බුදුන් උපන්නේ ලංකාද්වීපයෙහි යැයි උදම් අනමින් දුර්මත සමාජගත කිරීමේ ප්‍රබල වෑයමක නිරත විය. මෙවන් පරිසරයක සම්බුද්ධ ධර්මයෙහි නිර්මලත්වය සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය කාලීනව උද්ගත විය. ඒ අනුව නැවත ත්‍රිපිටකය උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා විසින් සදොස් තැන් නිදොස් කොට පසුගිය දා රචනා කළහ. ඒ සඳහා සුවිශේෂී අනුග්‍රහයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ලබා දුනි. එතෙකිනිදු නොනැවතුණු ඔවුහු සිංහලයන්ගේ ජීව රුධිරය වූ ත්‍රිපිටකය ජාතික උරුමයක් මෙන් ම ලෝක උරුමයක් බවට පත් කිරීමට ද කටයුතු කොට ඇත. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් වීමෙන් එයට රාජ්‍ය අනුග්‍රහය නිතැතින් හිමි වේ. එහි වගකීම රජය විසින් භාරගෙන කටයුතු කිරීමෙන් ත්‍රිපිටකයෙහි සුරක්ෂිතභාවය මනාව තහවුරු වේ. එමඟින් සියලු ලෝවැසි සජ්ඣනයනට ජාති ආගම් භේදයකින් තොර ව මෙම උත්තුංග ධර්මය අවබෝධ කොට ගත හැකි වනවාක් මෙන් ම එය සියලු ජනයාට භාවිත කළ හැකි පොදු වස්තුවක් ද වනු ඇත. එමගින් ත්‍රිපිටකය ලෝ වැසි සියලු ජනයාගේ අවධානයට ලක් වී නොමද ගෞරව බුහුමනට පාත්‍ර වේ. සියලු ජනයා අතර විශ්වසනීයත්වය තහවුරු වනු ඇත. ත්‍රිපිටක ධර්මයට දුර්මත එක්වීමේ ප්‍රවණතාව ද මෙම දැවැන්ත කර්තව්‍යයෙන් දුරු වී යන්නේ ය. මෙලෙස ජාතික උරුමයක් බවට පත් වූ ත්‍රිපිටකය දිවි හිමියෙන් සුරක්ෂා කිරීම සඳහා ඇප කැප වීම අප සැමගේ ජාතික යුතුකමක් හා වගකීමක් වන්නේ ය.

“ත්‍රිපිටකය” ජාතික උරුමයක් සේ ම ලෝක උරුමයක් බවට පත් කිරීමේ කාර්යය ඉටු කිරීමෙහිලා වෙසෙසින් කටයුතු කළ ලෝවැසි බුද්ධපුත්‍රයන් වහන්සේලාට සහ වත්මන් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන සියලු සජ්ජනයනට කෘතඥතා පූර්වක තුති පුද කරන අතර ශ්‍රී සද්ධර්මය ලෝකයෙහි චිරාත් කාලයක් යෙහෙන් පැවතීමට අවැසි කටයුතු කිරීමේ ශක්තිය, ධෛර්යය ලැබේවා’යි ප්‍රාර්ථනා කරමු.

“චිරං තිට්ඨතු ලොකස්මිං සම්මාසම්බුද්ධ ශාසනං”