Print this Article


අකාලික වූ ශ්‍රී සද්ධර්මය

අකාලික වූ ශ්‍රී සද්ධර්මය

බහුම්පි චේ සහිතං භාසමානෝ
නතක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති
(ධම්මපදය – යමක වග්ගය)

තථාගතයන් වහන්සේගේ මෙම උතුම් ඉගැන්වීම සර්වකාලීනව වැදගත් වන ඉගැන්වීමකි. සිව්වනක් පිරිසෙහි ප්‍රමුඛයන් වූ ශ්‍රමණයන් වහන්සේලා ඉලක්ක කොට මෙම දේශනා සිදු කොට තිබේ. එහෙත් මෙය සෙසු පිරිස්වලට අදාළ නොවන්නක් බව ඉන් අදහස් නො කෙරේ. අකාලික වූ සද්ධර්මය අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් එකසේ ප්‍රත්‍යක්ෂ වන්නකි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවන් සිදු කිරීමේ දී ශ්‍රාවකයන්ට ඉතා පහසුවෙන් තේරුම් ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායයන් භාවිත කොට ඇත. උපමා උපමේය භාවිතය එහිදී ප්‍රමුඛතම උපාය මාර්ගයක් ලෙස යොදා ගෙන ඇති අයුරු දක්නට ලැබේ. ත්‍රිපිටක ධර්මය තුළ දක්නට ලැබෙන එම උපමා බොහෝමයක් ශ්‍රාවකයාට නුහුරු නුපුරුදු ඒවා නොවේ. එදිනෙදා සමාජයෙහි හා අවට පරිසරය ආශි‍්‍රතව දෛනික අත්දැකීම් හා සංසිද්ධි ඒ සඳහා බහුල වශයෙන් භාවිත කොට ඇති අයුරු සුලභව දැක ගත හැකි ය. බුදුරදුන් පහළ වූ භාරතය බොහෝ සෙයින් කෘෂි ආර්ථික රටාවකට හුරු වූ රටක් විය. ඊට අදාළ බොහෝ උපමා උපමේය අපේ ධර්ම සාහිත්‍යයේ පැහැදිලි කර ඇතිවා මතු නොව එම සමාජයෙහි ගවයාට හිමිව තිබූ ප්‍රමුඛතාව ය ද මැනවින් දක්වා තිබේ. ඒ අනුව ගවයා සහ කුඹුර විවිධ ධර්ම කාරණා අවබෝධ කරලීම සඳහා සාධක කොටගෙන ඇති ආකාරය ඉතා විචිත්‍ර වූවකි. ඉහත දහම් කරුණු ඒත්තු ගැන්වීම සඳහා ද යොදා ගෙන ඇත්තේ ගව පාලකයෙකුගේ චරිතයකි. එය “ ගෝපෝ ව ගාවෝ ගණයං පරේසං” යනුවෙන් අනුන්ගේ ගවයන් බලන ගොපල්ලෙකු බඳු යැයි හුවා දක්වා තිබේ. ගොපල්ලා යන්න ගවයන් බලන්නා, හැඳින්වීම සඳහා ත්‍රිපිටක සාහිත්‍යයෙහි බොහෝ සෙයින් භාවිත කොට ඇති පැරැණි නාමයකි. මොහුගේ කාර්යය වන්නේ ගවයන්ට සාත්තු සප්පායම් කොට තණබිම් කරා පැමිණවීම හා නැවත නිවසට පමුණුවා රැක බලා ගැනීම ය. නිරන්තරයෙන් ගවයන් හා හැසුරුණේ වී නමුත් ගවයන්ගෙන් ලැබෙන පස් ගෝ රස මොහුට හිමි නොවන්නේ ය. මොහුට හිමි වන්නේ බත් වැටුප් පමණක් ද වනවා මතු නොව ගවයන්ගේ කිසිදු අයිතියකටද හිමිකමක් නොවන්නේ ය. එදා භාරතීය සමාජය තුළ බහුලව දක්නට ලැබුණු ධනවත් බවෙහි මුල සාධකයක් වූ ගව පාලනය ඇසුරින් තථාගතයන් වහන්සේ අපට දේශනා කොට ඇත්තේ ප්‍රායෝගිකව අත්දැකිය හැකි ඉතා සුලභ ගණයේ අත්දැකීමකි.

ඉහත ගාථා ධර්මයෙන් පෙන්වා දී ඇති ආකාරයට ‘පමත්තෝ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ප්‍රමාදීව ක්‍රියා කරන්නන් ය. එබඳු වූ පුද්ගලයන් පිළිබඳව සඳහන් කිරීමේ දී එය ද උපමා භාවිතයකින් යුතුව පැහැදිලි කර ඇත්තේ ‘කුකුළෙකු පියාපත් සලන කාලයක් බඳු ස්වල්ප කාලයක දී හෝ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි නොකරන පුද්ගලයා පිළිබඳව ය. හෙවත් විදර්ශනාවෙහි ඉතා පසුගාමී බවකින් යුතුව ක්‍රියා කරන්න වුන් ය. ප්‍රමාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බුදු දහම නිරන්තරයෙන්ම ශ්‍රාවකයන් යොමුකර ඇත්තේ අප්‍රමාදී ක්‍රියා දාමයකටද වනවා මතු නොව එය විමුක්ති මාර්ගය සඳහා මූලික ව්‍යායාමයක් බව පෙන්වාදීම සඳහා ය. “සහිතං” යනුවෙන් පැහැදිලි කොට ඇත්තේ තෙවලා බුදු දහමයි. එමතුද නොව ත්‍රිපිටකයට ඇතුළත් වූ සුවාසු දහසක් පමණ වූ ධර්මස්ඛන්දයයි. මින් අදහස් කරනුයේ අසූහතර දහසක් තරම් වූ ධර්මය වන පොත් කරමින් ඉගෙනීම ප්‍රකාශ කිරීම ද, ඉගැන්වීම සිදු කරන තැනැත්තා ‘භාස මාන’ යනුවෙන් හඳුන්වා තිබේ. ‘නතක්කරෝ’ යනුවෙන් දක්වා ඇත්තේ එම ධර්මය අනුව ක්‍රියා නොකිරීමේ දුර්වලතාවය පිළිබඳව ය. “ගෝපෝව ගාවෝ ගණයං පරේසං” යනුවෙන් දක්වා ඇති ආකාරයට අනුන්ගේ ගෙරින් රක්නා ගොපල්ලන් වන්නේ එබඳු පුද්ගලයන් බව දහමින් අනාවරණය කොට තිබේ. “න භාගවා සාමඤ්ඤස්ස හෝති” යන්නෙන් පැහැදිලි කොට ඇති පරිදි එබන්ඳන් ශ්‍රමණ බවෙහි අපරිමිත ප්‍රතිඵල කිසිවක් නොලබනවා සේ ම පස් ගෝ රසය හිමි නොවන ගවයන් රකින්නකු බවට පත්වන බවයි. එමෙන් ම ශ්‍රමණ බවෙහි උපරිම ගුණය හිමිවන පුද්ගලයා ගැන ද මෙහිදී තොරතුරු සඳහන් කර ඇති ආකාරය විශේෂයෙන් ම අවධානයට ලක් කර ගත යුතුව තිබේ. ඒ අනුව සුළු වශයෙන් හෝ තෙවලා දහම දැන ඉගෙන ගත් පුද්ගලයා එය පිළිපදිමින් ක්‍රියා කරන්නේ නම් ශ්‍රමණ ඵලයන් ලැබීමේ හිමිකාරයෙකු බවට පත්වන බවයි. මෙම අවස්ථා දෙක පිළිබඳව සලකා බැලීමේ දී උක්ත ඉගැන්වීම අපේ ව්‍යවහාරික සමාජය සමඟ කොතරම් සැසඳෙන්නේ ද යන්න මැනවින් පැහැදිලි වේ. අප අත්විඳින අත්දැකීම් අනුව ත්‍රිපිටක ධර්මය මැනවින් දැන උගත් අයගේ අඩුවක් නැත. ඔවුහු එම දැන උගත්කම් ගුරුවරුන් වශයෙන් ද මතු නොව උපදේශකවරුන් ලෙස ද නිර්ලෝභීව සමාජගත කරන ආකාරය අගය කළ යුතුව තිබේ. විමුක්ති මාර්ගයෙහි ප්‍රායෝගික ක්‍රියාකරුවන් ලෙස දෙසුම් පවත්වමින් භාවනාව පිළිබඳව පාඨමාලා පවත්වන්නෝ ද, එහි අවසන මාර්ගඵල පිළිබඳ සහතික ලබා දෙන්නෝ ද තමන් අරහත් මගද මතු නොව බුදු පදවියද ස්පර්ශ කරමින් සිටින්නේ යැයි තමා ම හුවා දක්වා ගන්නෝ ද සැබැවින්ම ලබා ඇත්තේ ගෙරින් රක්නා ගොපල්ලා ලබන ප්‍රතිලාභ පමණක් බව සඳහන් කළ හැකි ය.

තථාගතයන් වහන්සේගේ මෙම අගනා ඉගැන්වීම සඳහා ඉවහල් කරගෙන ඇත්තේ මිතුරු භික්ෂු දෙනමක් පිළිබඳව වූ සිදු වීමකි. එදා සැවැත් නුවර ඉතා දැහැමි දිවියක් සඳහා එළඹ සිටිමින් කල් ගෙවූ සුමිතුරෝ දෙදෙනෙක් වූහ. එක් අයෙක් වියපත් වූයෙක් වූයේ, අනෙක් තැනැත්තා සම වයසෙහි නොවූයේ වුවද සම සිතින් ඉතා මිතුරුව නිතර බණ දහම් ඇසීමෙහි ද නිරත පැවිදි ජීවිතයට එළඹියහ. වියපත් තෙරුන් විදර්ශනා ධූරයත් අනෙක් තෙරුන් ග්‍රන්ථ ධූරයත් ලබා ගන්නා ලදී. විදසුන් ධූරලාභී වියපත් තෙර රහත් ඵලයට පැමිණියේ ය. අනෙක් තෙරුන් ඉතා මැනවින් ත්‍රිපිටක ධර්මය හදාරන ලදී. එපමණක් නොව එම තෙරුන් ඉතා විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක වූයේ ය. එකට සසුන් ගත වූ මිතුරු තෙරුන් පිළිබඳව රහත් ඵලයට පැමිණි තෙරුන්ට නිතර මතක් වූයේ නමුදු අනෙක් තෙරුන්ට රහත් තෙරුන් පිළිබඳ එතරම් මතකයක් ද නොතිබුණේ ය. එක් දිනක් බුදු රදුන් දැකීමට දෙව්රමට පැමිණි විදසුන් තෙර තම මිතුරු තෙරුන් බැලීම සඳහා ද පැමිණියේ ය. එහිදී කිසිදු විශේෂයත්වයකින් තොරව රහත් තෙරුන් සමග සම අසුන් ගත් එම තෙරුන් තමන්ගේ දැන උගත්කම් පිළිබඳව සිතමින් උගත්කම පෙන්වීම සඳහා ද, රහත් තෙර පරදවන අදහසින් ද ප්‍රශ්න ඇසීම සඳහා අදහස් කරන ලදී. බුදු නැණින් මෙම අදහස දුටු බුදුරදුන් පුහුදුන් තෙර උඩඟු සිතින් රහත් තෙර අපහසුතාවයට හා පීඩාවට පත් කිරීමෙන් අපායගාමී වන ආකාරය දැන අහඹු පැමිණීමක් සේ හඟවමින් පිළිසඳරෙහි යෙදෙන්නේ ග්‍රන්ථ ධූර භික්ෂුවගෙන් ප්‍රශ්න විමසනුයේ පිළිතුරු දිය නොහැකි විය. රහත් තෙරුන්ගෙන් විමසන ලද පැනයන් සඳහා මහා රහත් නැණින් මැනවින් පිළිතුරු දෙන ලදී. මෙම අවස්ථාවේ දී එම රහත් තෙරුන් අගය කිරීමකට ලක් කළ බුදුරදුන්ට උඩඟු තෙරුන්ගේ අතවැසියන් දෝෂාරෝපණය කරන ලද්දේ ය. එහිදී තථාගතයන් වහන්සේ විසින් එම රහතන් වහන්සේ ගවයන්ගෙන් නියමාකාරයෙන් පස්ගෝ රස ලබන ගව හිමියාට සමාන කොට අනෙක් භික්ෂුව ගවයන් බලන්නේ නමුදු පස් ගෝ රස නොලබා බත් වැටුප් පමණක් ලබන්නෙකු හා සමාන කොට දක්වා දේශනා කරන ලද සදහම් දෙසුම විචිත්‍ර වූවක් බව පෙනේ.

පැවිදි දිවියෙහි අරුත මෙන්ම ගිහි උපාසක දිවියෙහි අරත තේරුම් නොගත් ඇතැම් පිරිසක් තම මූලික අරමුණ පසෙකලා ධර්මය අධර්මය කරමින් පෙනී සිටීම බුදුදහම අවමානයට ලක් කිරීමක් බව ද සඳහන් කළ යුතුව ඇත. උතුම් දහමක ශ්‍රාවකයන් වූ සියල්ලන්ගේම වගකීම විය යුතු වන්නේ දහමින් නිර්දේශිත විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගැනීම සඳහා අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම ය. එසේ නොවන තාක්කල් ගෙරින් රක්නා ගොපල්ලාට අත්වන ඉරණම තම තමන්ටද අත්වන බව ප්‍රත්‍යක්ෂ කරගත යුතුව තිබේ.