Print this Article


සැම සිත් පහන්වේවා

සැම සිත් පහන්වේවා

බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් වන්දනීය වූ ශ්‍රී පාදස්ථානය ලොව පුරා බොදුනු ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන පූජනීය භූමියක් වන්නා සේ ම, ජෛව විවිධත්වයෙන්, පාරිසරික අගයෙන්, සෞන්දර්යයෙන් අනූනව දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ද දිනා ගන්නේ ය.

ලක්ෂ සංඛ්‍යාත බොදුනු බැතිමතුන් වාර්ෂිකව ශ්‍රී පාදස්ථානය වන්දනා කරන අතර, සෙසු ජාති, ආගම්වලට අයත් විවිධ ජනකොටස් ද, ශ්‍රී පාදය කරා ඇදී එති. විශේෂයෙන් සිරිපා වන්දනාව ආගමික මෙන්ම සංස්කෘතික පිළිවෙතක් ලෙස ජාතියේ උරුමයක් බවට පත්ව ඇත. ආගමික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ද මේ පින්බිම රැකගැනීම අප සතු වගකීමකි.

එබැවින් සිරිපා වන්දනාව තුළ පරිසරය සුරැකීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු වේ. ඒ සඳහා යොදා ඇති විධිවිධාන පිළිපැදීම මෙන්ම ප්‍රතිපත්තිගරුක මිනිසුන් ලෙස පරිසරයට හානිදායක අයුරින් කුණුකසල බැහැර නොකිරීම, පරිසර පද්ධතීන්ට හානි නොකිරීම ඉතා වැදගත් ය.

බුදු දහමේ උත්තරීතර වටිනාකම් ප්‍රායෝගිකව අත්දකිමින්, සාමයෙන්, එකමුතුකමින් මුනිසිරිපා වන්දනාවේ යෙදෙන්නට සැම සිත් පහන් වේවායි ප්‍රාර්ථනා කරමි.