Print this Article


සසුන් කෙත එකලුකිරීමට අමිල මෙහෙයක් කළ ධර්ම සන්නිවේදකයාණෝ

සසුන් කෙත එකලුකිරීමට අමිල මෙහෙයක් කළ ධර්ම සන්නිවේදකයාණෝ

පුර පසළොස්වක, අව අටවක, අමාවක සහ පුර අටවක යනුවෙන් පොහොය දින සතරක් මසකට ඇතුළත් වේ. දොළොස් පොහොය යනුවෙන් ව්‍යවහාරයේ පවතිනුයේ දොළොස් මහට ම උදාවන පුර පසළොස්වක පොහොය දින දොළහ වේ. සතර පොහොය දෙස බලනවිට මසකට පොහොය දින සතර බැගින් වසරකට සාමාන්‍ය පොහොය දින හතළිස් අටක් පවතින බව බෞද්ධ ජනතාව වෙත වෙසෙසින් පැහැදිලි කළ යුතු නොවේ.


එක් දිස්ත්‍රික්කයකින් තෝරා ගත් විහාරස්ථානයක් සහ ආරණ්‍ය සේනාසනයක් සඳහා පූජා කෙරෙන ධාතු මන්දිරය සහ කරඬු වහන්සේ

තාක්ෂණයෙන් පෝෂණය වූ සන්නිවේදනය මෙතරම් දියුණුව නොපැවැති අතීත මුතුන්මිත්තන් දවස මසකට පොහොය සතර තුළදීම ආගමික වතාවත්වල නිරත විය නොහැකි වූ අය පසළොස්වක සහ අමාවක පොහොය දිනවලදී හෝ ආගමික වතාවත්වල නිරතුරුව නිරත වෙමින් ස්වකීය ජීවිතය අධ්‍යාත්මික නැඹුරුව කෙරෙහි යොමු කරවීමට උත්සාහ දරා ඇත.

ධර්ම සන්නිවේදනය අතීතයේ දී බොහෝ විට සිදු වූයේ ගමේ පන්සලේ ධර්ම ශාලා මන්දිරය කේන්ද්‍රකර ගනිමිනි. පොහොයට පෙහෙවස් සමාදන්ව ගම්වැසියන් පන්සලේ ධර්ම ශාලාවේ පැවැති ආගමික කටයුතුවලට යොමු වූහ. ඒ අතර පිරිසේ වැඩිහිටියන් ජාතක පොත් වහන්සේ කියවීම, නැතහොත් පිරුවානා පොත් වහන්සේ කියවීම නිරන්තරයෙන් සිදු වූවකි.

වෙසෙසින් ම සන්ධ්‍යාභාගය වෙන්වූයේ ධර්ම දේශනා පින්කමට ය. ඒ සඳහා ගමේ ලොකු කුඩා සියලු දෙනා පන්සලට පැමිණ ධර්ම ශාලාවේ තැන්පත්ව සිටීම දක්නට ලැබීම එදා සුලභ දසුනක් විය.

ඒ ධර්ම දේශනාව තුළින් ධර්ම දේශක ස්වාමීන් වහන්සේ ගම්වැසියන්ගේ ගුණදහම් පෝෂණයට සිදු කළේ අපරිමිත මෙහෙවරකි. එමෙන්ම ධර්ම ශාලාව තුළ පැවැති ධර්ම සාකච්ඡා ද ගුණ නැණ වඩන්නට බෙහෙවින් ම ඉවහල් විය.

කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළ ද, ගමේ පන්සලට පෝදා ට නොගියහොත් එය මානසික අසහනයට ද හේතුවක් විය. ගමේ පොදු ප්‍රශ්න, ජීවන ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් වූයේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මූලිකත්වයෙනි. මාර්ගෝපදේශකත්වය තුළිනි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් කලක පටන් ධර්ම දේශනා පවත්වා ගෙන එනු ලැබේ. ඒ ඉරිදා පෙරවරුවේ සහ බදාදා සන්ධ්‍යා කාලයේ දී වශයෙන් සතියේ දින දෙකක දී එදා ධර්ම දේශනා දෙකක් පැවැත්විණි. එම ධර්ම දේශනා පැවැත් වූ දේශකයන් වහන්සේලා ධර්ම විනයධර සම්භාවනීය මහා යතිවරයන් වහන්සේලා වූහ.

ගමේ ධර්ම ශාලාවට ගම ම ඒකරාශී වුවාක් මෙන්ම ගුවන්විදුලි යන්ත්‍රයක් තිබූ නිවසට අදාළ ධර්ම දේශනා ශ්‍රවණයට අදාළ වේලාවට ඒකරාශී වූහ. දහමට පැවැති ශ්‍රද්ධාවත්, ගෞරවයත් ,ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට ගම්වැසියා කෙතරම් උනන්දුවක් දැක්වූයේ ද යන්නත් එමඟින් පැහැදිලි වන බවද පෙනේ.

තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව, ගෞරවය, ප්‍රසාදය වර්ධනයට පූජනීය මහ සඟරුවනෙහි ආදර්ශවත් පැවැත්ම, ධර්ම දේශනා ආදී විවිධ වූ පින්කම් රට ට ජනතාව ට මහත් ආශීර්වාදයක් විය.

අපේ රටේ ගුවන්විදුලි සහ රූපවාහිනී විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයට පිවිස කලක් ගතවිය. පොහොයදාට ශ්‍රාවක සිත් පහන් කරවීමට ධර්ම දේශනා ඇතුළු ආගමික වතාවත් ද පැවැත්වීම එමඟින් සිදු විය.

ධර්ම දේශනා, ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා ම පමණක් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර දශක එක හමාරක පමණ කාලයක් ගෙවී ගියේ ය. කොළඹ සම්බෝධි විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් එම රූපවාහිනි නාලිකාව ආරම්භ කරන ලද්දේ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති මෙන්ම නිර්මාතෘන් වහන්සේ වූ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ දහම් පිපාසිත සමාජයේ දහම් පිපාසය සන්සිඳුවීමේ උදාර කාලෝචිත අරමුණෙන් ඇරැඹු බෞද්ධයා රූපවාහිනිය දවසේ පැය විසි හතර පුරාම ධර්ම දේශනා සහ ආගමික වැඩසටහන් පැවැත්වීම බොදු මහජනතාවට මහත් අස්වැසිල්ලක් ද වේ.

අපේ රටේ ඉතා අප්‍රකටව වැඩසිටි ධර්ම විනයධර විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලා එම මාධ්‍ය මඟින් උතුම් ශ්‍රී සද්ධර්මය වෙත ප්‍රේක්ෂක සැදැහැතියන් දහම් මගට යොමු කරවීමට කරන මෙහෙවර අගනේ ය.

බියගම දරණාගම කරලයින් නෝනා බාලසූරිය සහ ගුණසේන කුමාරපේලි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1963 ජූලි 30 වන දා උපත ලද පින්බර කුමරු සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහලු පුතණුවන් විය.

සියඹලාපේ දරණාගම විදුහලින් 1968 දී මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබී ය. හංවැල්ල ජල්තර ධම්මික යෝගාශ්‍රමාධිපතිව වැඩ විසූ කොරතොට විමලධම්ම නාහිමියන් යටතේ 1985 අප්‍රේල් 05 වන දා පැවිදි බිමට පත් වූ උන්වහන්සේ බවුන් වැඩීමට වැඩි කලක් ගත කරමින් කටුකුරුන්ද භාවනා මධ්‍යස්ථානයට වැඩමවා ශාසනික සේවා රැසක් ද සිදු කළ හ.

තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද පිරිවෙනෙහි වැඩ වසමින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව බම්බලපිටිය වජිරාරාමයේ නේවාසික වූ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ වජිරාරාමාධිකාරීව වැඩ සිටි පූජ්‍ය පියදස්සි නාහිමියන්ගේ ඇසුරෙහි වැඩෙමින් වජිරාරාම දහම් පාසලෙහි දියුණුව උදෙසා උදාර මෙහෙවරක් ද ඉටු කරන ලද්දේ ගිහි පැවිදි සැම දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙමිනි.


දරණාගම කුසලධම්ම හිමි

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු වජිරාරාමාධිකාරී පියදස්සී නාහිමියන් සමඟ දරණාගම කුසලධම්ම හිමියෝ සම්බෝධි විහාරයට වැඩම කළහ. පියදස්සී නාහිමියන්ගේ මූලිකත්වයෙන් සම්බෝධි විහාරස්ථ ඉංගී‍්‍රසි දහම් පාසල ආරම්භ කළහ. පියදස්සී නාහිමියන් වෙත මහත් සහයෝගයෙන් කටයුතු කළ දරණාගම කුසලධම්ම හිමියෝ ආගමික හා සාමාජික සේවා කටයුතුවලද නිරතවූහ. අනතුරුව පියදස්සී නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු සම්බෝධි විහාරස්ථානයෙහිත්, සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිසත් සේවා රැසක් සිදු කළහ.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ යටතේ නැවත 2005 උපසම්පදාව ලැබූහ.

සැම හිත සුව පිණිස 2007 දී බෞද්ධයා රූපවාහිනී නාලිකාවත්, 2011 බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවත් දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී. අපේ රටේ ඓතිහාසික පූජනීය විහාරස්ථාන කීපයකදී මෙන්ම දඹදිව බුද්ධගයාව බරණැස ඉසිපතනාරාමය ආදී පුදබිම් තුළ දී සුවිශේෂී වූ ආගමික කටයුතු රාශියක් දරණාගම කුසලධම්ම හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිදු වූ අතර එබඳු ඓතිහාසික පින්කම් සඳහා සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වූහ. තායිලන්තය, මියන්මාරය, චීනය, ජපානය ආදී රටවලද උන්වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු රැසක් සිදු කළහ.

නාරංවල දෙල්ගොඩ ගුණරතන ශ්‍රී සම්බෝධිය දහම් සෙවන, එංගලන්තයේ ලන්ඩන් හි ලාස්ටෝව්හි උන්වහන්සේගේ අධිපතිත්වයෙන් සම්බෝධි ශාඛා මධ්‍යස්ථාන බිහි කළහ. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනම අරඹා දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ එමගින් දුර බැහැර ප්‍රදේශවල ආර්ථික අපහසුතා සපුරාලමින් උදාර සමාජ සේවාවක ද නිරත වූහ.

සම්බුදු දහම ලොවට බෙදාදීම සඳහා බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් ඇප කැප වී කටයුතු කළ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ උන්වහන්සේට ම ආවේණික වූ, ලගන්නා වූ, සරල මිහිරි ස්වරයෙන් දහම් දෙසීමෙහි ද වෙහෙස වී කටයුතු කළහ. සදහම් මෙහෙවරට උන්වහන්සේගේ කැපවීම උත්සාහය කෙබඳු ද? යන්න සම්බෝධි විහාරයත්, බෞද්ධයා මාධ්‍ය ජාලයත් දුටු පමණින් කවර අයෙකුට වුවද පහසුවෙන් වටහාගත හැකි ය.

ලොවෙහි පවතින යථාර්ථය වූ සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍යතාව පසක් කරමින් රෝගාතුරව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට මෙයට වසරකට පෙර දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ අපවත්වී වදාළහ. තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරමින්, දහම් මිහිර ලොවට බෙදාදීම පිණිස අපමණ වෙහෙසක් ගෙන ක්‍රියා කළ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ සෑම පුර පසළොස්වක පෝදාකම බුදුසරණ පුවත්පත පිළිබඳව අඩහෝරාවක් පමණ බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් සහ ගුවන්විදුලියෙන් කාලය නොමිලයේ ලබාදෙමින් බුදුසරණට දැක් වූ අනුග්‍රහය ද පුණ්‍යානුමෝදනාත්මකව මෙහිදී සිහිපත් කරමි.

දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නොනිමි මෙහෙවර ඉදිරියටද වර්ධනය කරමින් පවත්වා ගෙන යාමට බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති හා සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ ස්වාමීන් වහන්සේට ද ආශීර්වාද පතමි.

****

දරණාගම කුසලධම්ම හිමි ගුණ සමරුවට මහ බෝ මහ සෑ වන්දනා පින්කමක් මාර්තු 2, 3

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මහ බෝ මහ සෑ වන්දනා පින්කම මාර්තු මස 02, 03 දිනවලදී අනුරාධපුර අටමස්ථාන පුණ්‍ය භූමියේ දී පැවැත්වේ.


බොරලන්දේ වජිරඤාණ හිමි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය පියදස්සි නා හිමි, පූජ්‍ය පානදුරේ අරියධම්ම මාහිමියන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම ද ලක්වැසි සැමට ආශීර්වාද පැතීම ද අරමුණෙන් එම පින්කම් මාලාව බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී සම්බෝධි විහාරය සහ බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් සංවිධානය කර ඇත.

මාර්තු 01 වන දා සධාතුක කරඬු වහන්සේ වඩා හිඳුවා නිර්මාණය කර ඇති ධාතු මන්දිර 55 රිය පෙරහරකින් සම්බෝධි විහාරයේ සිට අනුරාධපුර පූජා භූමිය දක්වා වැඩම කෙරේ. මාර්තු 02 වන දා අටමස්ථානයට අයත් සෑ රදුන් වහන්සේලා උදෙසා කංචුක පූජාව පස්වරු 3 ට පැවැත්වේ. පස්වරු 4 ට ථූපාරාමයේ සිට රුවන්වැලි මහා සෑය දක්වා සධාතුක කරඬු වහන්සේලා 55 සහ 1008 කින් යුත් ඖෂධ සම්බුද්ධ පූජාව පෙරහරෙන් පිටත්ව පස්වරු 5 ට රුවන්වැලි මහ සෑ රදුන් අබියස දී එම සධාතුක කරඬු වහන්සේලා ධාතු මන්දිර 55 තුළ තැන්පත් කිරීම සිදු කෙරේ. පස්වරු 5.45 ගුවනින් මල් පූජාව ද, පස්වරු 6 විදුලි ආලෝක පූජාව සිදු කෙරෙන අතර සීල සමාදානය, අධිෂ්ඨාන පූජාව සහ වන්දනාව ඔලබොඩුවේ ධම්මික හිමියන් විසින් මෙහෙයවනු ලැබේ. රාත්‍රී 8.30 භාවනා වැඩසටහන සහ විශේෂ දම් සභා මණ්ඩපය කහගොල්ලේ සෝමවංශ හිමියන් සහ පාතකඩ සුමනතිස්ස හිමියන් මෙහෙයවනු ලැබේ. රාත්‍රී 10.30 ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ දහම් දෙසුම ද, රාත්‍රී 12.30 සිට මහා සමය සූත්‍ර දේශනාව සහ අධිෂ්ඨාන පූජාව ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් විසින් ද අලුයම 1.45 – 3 දක්වා කන්දෙකුඹුරේ රාධ හිමියන් පවත්වන අසිරිමත් බුදුගුණ දේශනාවද පැවැත්වේ. අලුයම 3 – 4.30 දම් දෙසුම ගම්පහ මහානාම හිමි,5.30 – 6.30 ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී අසිරිමත් මහ බෝධි වන්දනාව මොරවක සෝරත හිමි 6.30 – 7.30 අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා උදෙසා හීල දානය, පෙරවරු 7.30 – 8.30 රුවන්වැලි මහා සෑ රදුන් අබියසදී දම් දෙසුම කැලණියේ අජිත හිමි, 8.30 – 10.00 නිවන් මග ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, 10.00 ථූපාරාමයේ සිට රුවන්වැලි මහ සෑය දක්වා සම්බුද්ධ පූජා පෙරහර 10.30 දවල් සම්බුද්ධ පූජාව දික්වැල්ලේ උපතිස්ස හිමි, පෙරවරු 10.45 අනුරාධපුර මහා විහාර ශාලාවේ දී දහස් නමක් මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ. දිස්ත්‍රික්කයකින් තෝරාගත් එක් විහාරස්ථානයකට සහ ආරණ්‍ය සේනාසනයකට බැගින් ධාතු කරඬුවක් සහ ධාතු මන්දිරයක් විහාරස්ථාන 55 ක් සඳහා පූජා කිරීම සිදු කෙරේ.

එම මහ බෝ මහ සෑ වන්දනා පුණ්‍ය මහෝත්සව පින්කම සඳහා මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි, පල්ලේගම හේමරතන නාහිමි ඇතුළු මහ සඟරුවන සහභාගිවීමට නියමිත ය.