Print this Article


සසර තරණය 02: නිවැරැදි දෘෂ්ටිය

අංගුත්තර නිකායේ දැක්වෙන ආගන්තුක සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා, ආගන්තුක ගෘහය යනුවෙන්. ආගන්තුක ගෘහය කියලා කියන්නේ ඉස්සර නගරයක රජ මාලිගාවක් වගේ තැනකට යනකොට ඒ රජමාලිගාව පවුරු පදනම්වලින් වටකරලා තියෙන්නේ. ඒ නුවර, ඒ නගරයේ තියෙනවා ආගන්තුක ගෘහයක්.

ඒ කියන්නේ මේ නගරයේ හවස් වෙනකොට දොරවල් වැහුවහම එන ඕන කෙනෙකුට නතරවෙලා, විවේක ගැනීමට හදපු ගෘහයට කියනවා ආගන්තුක ගෘහය කියලා. මේ ආගන්තුක ගෘහයට රජවරු ආවත් නතර වෙනවා. ඒ වගේම බ්‍රාහ්මණයෝ ආවත් නතර වෙනවා. ඒ වගේම ගෘහපතියෝ, ශුද්‍ර වගේ එදා පහත් යැයි සම්මත කුලයක අය ආවත් පොදුවේ මේ සියලු දෙනාම නතර වෙන තැනක් තමයි, ආගන්තුක ගෘහය කියලා කියන්නේ. මේ හැම කෙනෙකුටම ආගන්තුක ගෘහය පොදු නිවාසස්ථානයක් බවට පත්වෙනවා වගේ ම මේ ශාසනයේ යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවානම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනා, සාක්ෂාත් කළ යුතු ධර්මය සාක්ෂාත් කරනවා. ඒ වගේ ම පිරිසිඳ දැකිය යුතු ධර්මය පිරිසිඳ දකිනවා. ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කරනවා. වැඩිය යුතු ධර්මය වඩනවා. අප විසින් නුවණින් දැකිය යුතු, පිරිසිඳ දැකිය යුතු ධර්මය කුමක් ද ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංචඋපාදානස්ඛන්ධය. නුවණින් පිරිසිඳ දැකිය යුතු ධර්මය තමයි පංචඋපාදානස්ඛන්ධය.

යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද කෙනා විසින් මේ පංච උපාදානස්ඛන්ධ ධර්මය පිරිසිඳ දකිනවා. කුමක් ද, පංචඋපාදානස්ඛන්ධ ධර්මය කියලා දේශනා කළේ ? රූප , වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ධර්මයන්ට කිව්වා, පංචඋපාදානස්ඛන්ධ ධර්මය කියලා. එතකොට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මේ ධර්මයන් පිරිසිඳ දැකිය යුතු ධර්මයන්. පිරිසිඳ දැකිය යුතු යි කියලා කියන්නේ නුවණින් අවබෝධ කළ යුතු, නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් ගත යුතු ධර්මයක්.

පළමු වැන්න, ලෙස රූපය ගතහොත් රූපය කියන එක අප නුවණින් අවබෝධ කළ යුතු , නුවණින් දැකිය යුතු ධර්මයක්. මේක අප හොඳට තේරුම් ගන්නට අවශ්‍ය තැනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, රූපය නුවණින් දකින්න ට කියලා. අප සාමාන්‍ය වශයෙන් දකින මට්ටමට වඩා ඔබ්බෙන් අපට කල්පනා කර බලන්නට වෙනවා. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, රූපස්ඛන්ධය සහ රූපය කියන තැන කාරණා දෙකක් විග්‍රහ කරනවා. රූපස්ඛන්ධය සහ රූපය. රූපස්ඛන්ධය කියලා දේශනා කළේ, මේ ලෝකයේ තියෙන යථාර්ථය. යථා ස්වභාවය. රූපය කියලා දේශනා කළේ ප්‍රිය රූපය, සාථ රූපය කියන එක යි. ප්‍රිය රූපය, සාථ රූපය කියලා කියන්නේ අප ප්‍රිය මනාප, සැප සහගත රූපයක් ගැන කල්පනා කරනවා නම්, ඒකට කියනවා පි‍්‍රය රූප , සාථ රූප කියලා. අප ලෝකය තුළ යම් රූපයක් දකින්නට කැමැති නම්, ඒ කැමැති රූපයට කියනවා, ප්‍රිය රූපය කියලා. ඒ වගේම ඒ රූපයෙන් සැප විඳිනවා නම්, සැප බලාපොරොත්තු වෙනවා නම්, ඒ රූපයට කියනවා සාථ රූපය කියලා. මේ දෙක ප්‍රිය රූප , සාථ රූප යි.

මේ කාරණාව අප ටිකක් නුවණින් විමසා බැලිය යුතු කාරණාවක්. මොකක්ද මේ පි‍්‍රය රූප , සාථ රූප කියලා කිව්ව මට්ටම කියලා. අපට බාහිර ලෝකය තුළ තිබෙන රූපය යථාර්ථයක් විදිහට ගත්තොත්, කවදාවත් ප්‍රිය, අප්‍රය බවකින් යුක්ත වෙන්නේ නැහැ. ඇහැට පෙනෙන රූපයේ ස්වභාවය තමයි අනාත්ම ධර්මයක් විදිහට ඇහැට ප්‍රකට වන බව, ඇහැට පෙනෙන බව. ඒ තුළ කිසිම ප්‍රිය මනාප ලක්ෂණයක් තිබුණේ නැහැ. බාහිර සතර මහා ධාතු රූපය තුළ. ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූපස්ඛන්ධය කියලා. රූපය කියලා පෙන්නුවා, ඒ අනාත්ම ධර්මයක් ඇති තැනක අප සත්ත්ව පුද්ගල සංඥාවකින් ඇසුරු කරලා, අම්මා, තාත්තා, ගේ දොර, යාන වාහන කියලා දැනගන්න මට්ටමක් තියෙනවානම්, ඒකට කියනවා රූප උපාදානස්ඛන්ධය කියලා. එහෙමත් නැතිනම්, රූපය කියන වචනය. මේක සම්පූර්ණයෙන් සතර මහා ධාතුව පැත්තේ තිබුණ දෙයක් නොවෙයි. තමතමන්ගේ රැස් කරගත්ත ආශ්‍රව සහිත උපාදාන සහිත මනසකින් ඇතිකරගත්ත මට්ටමක්. ඒ නිසා තමයි, මෙය නුවණින් පිරිසිඳ දැකිය යුතු ධර්මයක් කියලා දේශනා කළේ. කෙලෙස් සහිත, ආශ්‍රව සහිත මනසට ඇතිවන තැන, රූපය ඇසුරු කරන තැන පිළිබඳව අපට අවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය නිසා. තව ලෙසකින් කියනවා නම්, අපට රූප උපාදානස්ඛන්ධයත්, රූපස්ඛන්ධයත් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍යකම නිසා. අපට අද රූපය කියන ධර්මතාවේ යථාර්ථයත්, ඒ වගේ ම ඒ තුළ අප හදාගෙන විඳීමත් දෙකක් වී පෙනෙන්නේ නැහැ. එකම වස්තුවක් හැටියට තමයි පෙනෙන්නේ.

මම, ඔබෙන් ඇසුවොත්, මේ පෙනෙන්නේ මොකක්ද කියලා, ඔබ කාටත් කියන්න පුළුවන්කම තියෙනවා මෙය වටාපතක් කියලා. හැබැයි, ඔබ පෙනෙන වටාපත කියලා රූපය දැක්ක ද? එහෙම නැත්නම්, දැන ගත්තද කියලා ඇහුවොත්, මේ පෙනෙන හැඩ සටහන හෝ වර්ණය හෝ කවදාවත් වටාපත බවට පත්වුණේ නැහැ. මේ රූපය වටාපත බවට පත්වෙනවා නම්, මේක දකින රූපය හැම කෙනාටම මේක දකින කොට වටාපත කියලා මතක් වෙන්නේ නැත්ද? හැබැයි, මෙය වටාපත කියලා දැක්මක් වෙන්නේ මේ පිළිබඳ ව දන්න, මේ පිළිබඳව මනසිකාරයක් පවත්වන සිතන අපට තමයි මෙය වටාපතක් කියන එක පිළිබඳව දැනුමක් , දැක්මක් තියෙන්නේ. මෙන්න මේ කාරණය අපට හරියට පිරිසුදු කරගත්තා නම්, අපට පේනවා, බාහිර රූපස්ඛන්ධයට අයිති දේ , ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වස්තුව කියලා. ඊටපස්සේ ඒ වස්තුව කෙරෙහි අප ඇති කරගන්න මානසික මට්ටමට කියනවා දෘෂ්ටිය කියලා. වස්තුව සහ දෘෂ්ටිය මේ දෙක එකක් හැටියට අද දවසේ දී අපට හසුවෙලා තියෙන දේ. ඒ නිසා තමයි, අප ලෝකයට බැඳෙන්නේ සහ වටිනාකමක් දෙන්නේ.