Print this Article


කළ කම් පල දෙන හැටි 19: ශිල්පීය දක්ෂතාවය පරාර්ථය පිණිස ම යෙදවිය යුතු ය

ශිල්පීය දක්ෂතාවය පරාර්ථය පිණිස ම යෙදවිය යුතු ය

"ස්වාමීනී, මම පේ‍්‍රත ලෝකයේ උපන් අතිශයින් දුකට පත් පේ‍්‍රතයෙක්මි. පාප කර්ම කොට මේ මිනිස් ලොවින් පේ‍්‍රත ලෝකයට ගියෙමි. අඩුවක් නැතිව සැට දහසක් පමණ යකඩ කුළු ගෙඩි හැම පැත්තකින්ම මගේ හිස මත පතිත වෙයි. එයින් මගේ හිස සුන්බුන් වී යයි. තමාගේ ශිල්පීය හැකියාව සමාජ අපරාධයෙහි යෙදවීම බරපතළ විපාක දෙන අකුසල කර්මයක් බව සට්ඨිකූටසහස්ස පේ‍්‍රත වත්ථු කතාවෙන් පැහැදිලි වෙයි."

බුදු දහමේ උගන්වන කර්ම විභාගයේ දී දක්වා තිබෙන්නේ තමා ලැබූ ශිල්ප ශාස්ත්‍රය පරාර්ථ හිත සුව පිණිස යෙදවිය යුතු බවයි. නො එසේ නම්, තමා දක්ෂ වූ ශිල්ප ශාස්ත්‍රය නිසාම සංසාරයේ බොහෝ දුක් විඳීමට සිදු වෙයි. සට්ඨිකූටසහස්ස පේතවත්ථුව ද තමාගේ දක්ෂතාවය නිසා ලබාගත් විශේෂ දැනුම් සම්භාරය සමාජයෙහි අනර්ථය පිණිස යෙදවූ නිසා පේ‍්‍රත ලෝකයේ උප්පත්තිය ලබා අනන්ත පරිමාණ දුක්විඳින ආකාරය දක්වා ඇත.

ගල්කැට විදීමේ ශිල්පය ප්‍රගුණ කළ එක්තරා දක්ෂ නිර්මාණකරුවෙක් සිටියේ ය. ගල් විදීමේ ශිල්පය කෙතරම් ප්‍රගුණ කරනු ලැබුවා දැයි කිවහොත් බලන්නන්ගේ සිත් විශ්්මයජනක කරවමින් ගසක් මුලට යන ඔහු බිම ඉඳ ගල් විදිමින් එකසේ පත්‍රවල ඇත්රූප, අශ්වරූප, කොඩි, පුන්කළස්, මිනිස්රූප අඳියි.

ගල් විදීමේ ශිල්පියාගේ දක්ෂතාවය පිළිබඳව අවබෝධකරගත් පුද්ගලයෙක්. ඔහු වෙත පැමිණ අහිංසක පෙනුමෙන් යුතුව කිසියම් ඉල්ලීමක් කර සිටියේ ය.

“ඇදුරුතුමනි, මට ජීවත්වීමට කිසිදු ක්‍රමයක් නැත. ඔබට පින් සිද්ධ වෙයි. ඔබ පරාගත වූ මේ ඇඟිල්ලෙන් ගල් විදීමේ ශිල්පය මට ද පුරුදු පුහුණු කළ මැනවි” යනුවෙනි. ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති වු ගුරුතුමා තමා ඉගෙනගත් ගල් විදීමේ ශිල්පය මිනිසාට ඉගැන්වීය. හේ ඉගෙන ගත් ශිල්පයේ හැකියාව විමසා බැලීමට කැමැත්තක් ඇතිවිය. එසේ සිතමින් ඇවිදගෙන යන විට ගංගා නම් නදී ඉවුරෙහි "සුනෙත්ත" නම් පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දැක ගල් කැටයක් ගෙන පසේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ඉලක්කය අල්ලා විද්දේය. ගල් කැටය නිසා පසේ බුදුරජාණන් වහන්සේගේ හිස සිදුරු වීගෙන ගියේ ය. උන්වහන්සේ පිරිනිවන් පෑහ. සිද්ධිය අසා දැනගත් මිනිස්සු ගල් දඬු ආදියෙන් පහර දී මිනිසා මරා දැමීය.

පසේ බුදුරජාණන් වහන්සේට කළ අපරාධය හේතුවෙන් වර්ෂ දහස් ගණනක් අපායේ පැසී මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවරට නුදුරු තැනක පේ‍්‍රතයකුව උප්පත්තිය ලැබීය. ප්‍රේත ආත්මයේ ඉපිද තමා කළ කර්මයේ විපාක වශයෙන් උදේ, දවල්් ,රාත්‍රි ඔහුගේ හිසට යකඩ කුළුගෙඩි කඩාගෙන වැටෙයි. එම කුළුගෙඩි හිස මත වැටෙන වාරයක් පාසා අතිශය වේදනාවට පත්ව හේ බිම ඇද වැටෙයි. යකඩ කුළු ගෙඩි නැවතුණු පමණින් ඔහුගේ හිස ප්‍රකෘතිමත් වෙයි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩින අවස්ථාවක අනන්ත අප්‍රමාණ දුක්වේදනා විඳින එම පේ‍්‍රතයා දැක මෙසේ විචාළහ.

“නුඹ කුමක් හෙයින් උමතු වූවකු මෙන් ද, බියපත් වූ මුවෙකු මෙන් ද, එහෙ මෙහෙ දුවන්නෙහිද? කුමක් නිසා නුඹ බෙහෙවින්ම බැගෑපත් ලෙස හඬ නඟමින් ඇවිද යන්නෙහි ද? මෙසේ දුක් විඳීමට ඔබ කරනු ලැබූ පාපකර්මය කුමක්ද? යනුවෙන් ය. ඒ අවස්ථාවේ එම පේ‍්‍රතයා මුගලන් මහ තෙරුන් වහන්සේට මෙසේ පැවසීය.

“ස්වාමීනී, මම පේ‍්‍රත ලෝකයේ උපන් , අතිශයින් දුකට පත් පේ‍්‍රතයෙක්මි. පාප කර්ම කොට මේ මිනිස් ලොවින් පේ‍්‍රත ලෝකයට ගියෙමි. අඩුවක් නැතිව සැට දහසක් පමණ යකඩ කුළු ගෙඩි හැම පැත්තකින්ම මගේ හිස මත පතිත වෙයි. එයින් මගේ හිස සුන්බුන් වී යයි.

තමාගේ ශිල්පීය හැකියාව සමාජ අපරාධයෙහි යෙදවීම බරපතළ විපාක දෙන අකුසල කර්මයක් බව සට්ඨිකූටසහස්ස පේ‍්‍රත වත්ථු කතාවෙන් පැහැදිලි වෙයි. වර්තමාන සමාජය තුළ වුව ද, එවැනි හැකියාවන්, දක්ෂතාවයන් අන්‍යයන් කෙරෙහි අයුක්ති සහගත ආකාරය ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ චේතනාවෙන් යොදවන ආකාරයේ සිදුවීම් දක්නට ලැබේ.

එක්තරා ධනවත් පවුලක තාක්ෂණික ශිල්පය කෙරෙහි සහජ දක්ෂතාවයක් පැවැති පිරිමි දරුවෙකු සිටියේ ය. ඔහුගේ දක්ෂතාව පිළිබඳ කීර්තිරාවයද පැතිර ගියේ ය. එසේ වුවද, පැතිරී ගිය කීර්තිරාවය තාවකාලික විය. රහස් පොලිසිය මඟින් නිවස වටලා තාක්ෂණික අංගෝපාංග කට්ටලයම සමඟ එම පවුලේ සිටි එකම පිරිමි දරුවා පොලිස් අත්අඩංගුවට පත්විය. එම තරුණයා හොර මුදල් නෝට්ටු මුද්‍රණය කොට බෙදා හැර ඇති බවට පුවත්පත් වාර්තා කළේ ය.

එම තොරතුරු ගම පුරා පැතිරයාමත් සමඟ පවුල සමාජයෙන් කොන්විය. කලක් යාමේ දී හෘදයාබාධයක් වැලඳීමෙන් මරණයට පත් විය. පාරම්පරික දේපළවලට උරුමකම් කියමින් ඉතා ධනවත් ලෙස ගාම්භීරව ජීවත් ව සිටි පවුල එම සිදුවීමත් සමඟ බලවත් ලෙස පහත වැටිණි. තම එකම පුතා තම ශිල්පීය දක්ෂතාවය අයහපත් ලෙස පරිහරණය කිරීමෙන් මුළු පවුලම විනාශය කරා යොමු විය.

ඉහත සඳහන් කළ සට්ඨිකූටසහස්ස පේතවත්ථුව බණපොතේ සිය හැකියාව සමාජ අපරාධයෙහි යෙදවීම පිළිබඳව කියවෙන්නකි. රහසේ මුදල් අච්චු ගැසීම ද, ආර්ථික අගහිඟකම් නැතුවත් අකුසල මානසිකත්වය විසින් මිනිසා පාපකර්මය කෙරෙහි නැඹුරු කරවන බව පැහැදිලි කරන සිද්ධියකි. කර්මයේ විපාක ලැබෙන ආකාරය එම සිද්ධි තුළින් පැහැදිලි කරගත හැකි ය.