Print this Article


සුත්ත නිපාතයෙන්: සුද්ධට්ඨක සූත්‍රය - නිස්සාර දෙයට නො රැවටී ආර්ය ශ්‍රාවකත්වයේ පිහිටමු

සුත්ත නිපාතයෙන්:

සුද්ධට්ඨක සූත්‍රය -

නිස්සාර දෙයට නො රැවටී ආර්ය ශ්‍රාවකත්වයේ පිහිටමු

අද අපි සිත පහදවා ගන්නේ සුත්ත නිපාතය උතුම් ග්‍රන්ථ රත්නයේ අට්ඨක වර්ගයේ සුද්ධට්ඨක සූත්‍රය පිළිබඳව යි. මෙම දේශනාව භාග්‍යවතුන් වහන්සේ වදාරන්නට හේතු වූ පසුබිම් කථාව මෙය යි.

දඹදිව එක් බ්‍රාහ්මණ පවුලක ඉතා සුන්දර දරු සිඟිත්තෙක් උපන්නේ ය. ඒ දරුවාගේ පපු පෙදෙසින් සඳ කැලුම් වැනි රශ්මියක් විහිදෙන්නට විය. මොහුට සඳ කැලුම් යන අරුතින් “චන්ද්‍රාභ” යයි නම තැබී ය. පසු කලෙක දී ඒ බ්‍රාහ්මණයෝ මේ කුමරුන් සරසන ලද දෝලාවක නංවාගෙන දඹදිව පුරා ප්‍රදර්ශනය කරන්නට විය.

චන්ද්‍රාභ දැක ගත හැක්කේ මුදල් ගෙවීමෙනි. ඔහු දැක ගත් විට සියලු සැප සම්පත් ලැබී යහපත උදාවන බවත්, පරලොව සුගතිය හිමිවන බවත් බ්‍රාහ්මණයෝ ප්‍රචාරය කළහ. බොහෝ පළාත්වල ‘චන්ද්‍රාභ” කුමරුගේ නම ඇසූ පමණින් ජනයා පොරකමින් රැස්වෙති. එතරම් ම මිනිස්සු මේ මතයට මුළා වී සිටියහ.

භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රභාශ්වරය

බ්‍රාහ්මණ පිරිස “චන්ද්‍රාභ” රැගෙන නුවරින් නුවරට යද්දී සැවැත් නුවරට ද පැමිණියහ. එහෙත් වෙන පළාත්වලට වඩා සැවැත් නුවර හාත්පසින් වෙනස් විය. මේ අය පිළිගන්නට කිසිවෙක් එහි නැත. සියලු දෙනා යන්නේ ජේතවනාරාමය දෙසට ය. මේ පිරිස ද ජේතවනාරාමයට ගියහ. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක. භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් අසිරිමත් ලෙස කාන්තිමත් රැස් විහිදෙන ආකාරය චන්ද්‍රාභ බලා සිටියේ ය. ඔහු තමාගේ රැස් දෙස බැලූවිට ඒ රැස් අතුරුදහන් වී තිබුණි. මෙයින් ඔහු බොහෝ සේ කම්පනයට පත් විය. පසුදින ද ජේතවනාරාමයට පැමිණි හේ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් රැස් විහිදෙන ආකාරය දෙස බලා සිටියේ ය. චන්ද්‍රාභගේ සිත සන්සුන් විය. ටිකෙන් ටික ඔහු තමන් පිළිබඳව සිතන්නට පටන් ගත්තේ ය.

“අහෝ ! මගේ පපුවෙන් යාන්තමට විහිදුනු රශ්මි මාත්‍රයක් නිසා මා සිටියේ මොනතරම් අහංකාරකමකින් ද? මේ බමුණෝ ද මා රැගෙන මුළු දඹදිව පුරාම රවුම් ගැසූහ. මිනිසුන් ද රැවටූහ. වංචාකාරී ව මුදල් ඉපයීම් කළහ. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉතාමත් රමණීය මනස්කාන්ත රශ්මිධාරා තම සිරුරින් විහිදෙද්දී කිසිදු අහංකාරකමක් නො මැතිව වැඩ සිටිති. වන්ද්‍රාභ සම්බුදු සසුන කෙරෙහි බොහෝ සේ පැහැදුණේ ය. ප්‍රසන්න සිතින් උතුම් පැවිද්ද ලබා ගත්තේ ය. සුළු කලකින් අරහත්වයට පත්ව චන්ද්‍රාභ තෙරුන් නමින් ප්‍රසිද්ධියට පත්විය. එම සිදුවීම මුල්කොට වදාළ දෙසුම සුද්ධට්ඨක සූත්‍රය යි. (පිරිසුදු බව මුල්කොට වදාළ දෙසුම) එම දෙසුම බොහෝ දෙනෙකුට යහපත උදාකරවී ය. භාග්‍යවතුන් වහන්සේ එම දේශනාව අරඹන ලද්දේ මෙලෙසිනි.

රහතන් වහන්සේගේ නුවණ


පස්සාමි සුද්ධං පරමං ආරෝගං
දිට්ඨේන සංසුද්ධි නරස්ස හෝති
ඒතාභිජානං පරමන්ති ඤත්වා
සුද්ධානුපස්සීති පච්චේති ඤාණං

සොඳුරු පෙනුම ඇති පිරිසුදු
පින්වත් උතුමෙකුම දකිමි
ඒ උතුමෙකු දැකගත් විටයි සැපත උදාවන්නේ
මේ මතයේ ගිලුන කෙනා “උතුම් දැකුම” එයයි සිතා

නුවණක් වශයෙන් එය ගෙන සිටින එයම අදහාගෙන

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එම මතයෙහි ඇති නිස්සාරත්වය පෙන්නුම් කරමින් මෙලෙසින් වදාළ සේක.

සැබැවින් ඒ උදවිය දැක – නුවණින් ලැබගෙන ඒ ලෙස
සෙත සැලසෙන්නේ නම් - දුක් බැහැරව යන්නේ නම්
කෙලෙස් සහිත අපට පවා - නොමගින් පිරිසුදු විය හැක
මෙවැනි බණක් කියන කෙනා - දත යුතු මිසදිටු ලෙසිනා

තුන්වෙනි ගාථා රත්නයෙන් සැබෑම පිරිසුදු බව ලබාගත් රහතන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ කරුණු පෙන්වා වදාළේ මෙලෙසිනි.

“ ඇසුව දුටුව දෙයකින් හෝ, සුවඳින් රස පහසින් හෝ සීල ව්‍රත රැකි පමණින් හෝ එසේ නො මඟින් පිරිසුදු වන බව රහතන් වහන්සේ පවසන්නේ නැහැ. පින් පව්වල නොම ඇලෙමින්, මමත්වය ද බැහැර දැමූ ඒ අරහත් මුනිවරයා කිසිම දෙයක් රැස් කරන්නේ නැහැ.”

පුහුදුන් මිනිසාගේ මානසිකත්වය

එනමුත් පුහුදුන් ගති ඇති, සාමාන්‍ය මිනිසුන්ගේ මානසික ස්වභාවය ඊළඟ ගාථා රත්නයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර ලෙස ඉස්මතු කොට වදාළේ මෙ ලෙසිනි.

පැරැණි වාද අත හරිමින් – අලුත් වාදවල පැටලෙන
තණ්හාවට බැෙඳන කෙනා - තරණය නො මකරයි සසර
අත්තක් හැර තව අත්තක් – අල්ල අල්ල පැන පැන යන
වඳුරන්ගේ ගතිගුණමය – ඒ උදවියටත් ඇත්තේ
කලකට අත්හරින මතය – කලකට පිළිගන්නේ වේ
නා නා වත් සිරිත් තනා – සමාදන් ව හිතු මතේට
ඇලෙමින් ඒ සඤ්ඤාවල – යයි එකකින් තව එකකට

ආර්ය ශ්‍රාවකයාගේ සෘජුබව

එනමුත් දහම තුළ ස්ථිරව පිහිටි ආර්ය ශ්‍රාවකයා එවැනි චංචල මානසිකත්වයක් නො මැති, ඍජු ගති ඇති කෙනෙකු බව භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලෙසිනි.

සදහම් නැණින් දැකගත්, මහා නුවණැති මුනිවරයා ඒ ලෙසින් එක මතයකින් තවත් මතයකට කිසිදා නො යයි කියා ය. එ මෙන්ම මාර සේනා පරාජය කොට, සදහම් අවබෝධ කළ, රහසින්වත් පව් නො කරන, රහතන් වහන්සේ නමක්, අසන දකින දේ ද, සුවඳ රස පහස කෙරෙහිද කිසිදු අයුරකින් පැටලීමක් ඇති කර නො ගන්නා බව ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

ඉන්පසුව ඒ උත්තම රහතන් වහන්සේලාගේ නික්ලේශී මානසිකත්වය මනරම් අයුරින් විවරණය කරමින් මෙම ගාථාව වදාළ සේක.

න කප්පයන්ති න පුරෙක්ඛරොන්ති
අච්චන්තසුද්ධීති න තේ වදන්ති
ආදානගන්ථං ගථිතං විසජ්ජ
ආසං න කුබ්බන්ති කුහිඤ්චි ලෝකේ

අතීතයේ නො ම පැටලෙත් – අනාගතේ නො ම සකසත්
නො කියත් අරහත් මුනිවරු – සියලු වාද පිරිසුදුයයි
අවුල්වලට පැටළි යන – සියලු වාද ගැට ලිහමින්
ලොවේ තිබෙන කිිසි දෙයකට – ආශාවෙන් තොරව සිටිත්

මෙම සූත්‍ර දේශනාවේ අවසාන ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ සිංහ නාදයක් පරිද්දෙන් මෙලෙසින් වදාළ සේක.

කෙලෙස් වැටෙන් එපිටට ගිය – ඒ අරහත් බමනිදු හට
යමක් දැක්ක විට ඇලෙනා – ගති කිසිවක් නැත්තේ වේ
රාගයට ද නො ම ඇලෙමින් – විරාගයෙන් නො ම ඇලෙමින්
දැඩි ලෙස ගත් කිසිම දෙයක් – මුනිදුන් හට නො මැත්තේ ය

එනිසා ආර්ය ශ්‍රාවකයා සෝතාපන්නවීමත් සමඟ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා , සීලබ්බත පරාමාස යන සංයෝජනයන්ගෙන් සදහටම නිදහස් වෙනවා. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ ආර්යකාන්ත ශීලයේ පිහිටනවා. ඒ වගේම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ නො පිරිහෙන ආකාරයට ස්ථාවරව පිහිටනවා. දුගතිගාමී රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරනවා.

එවැනි ආර්ය ශ්‍රාවකයෙක් කිසිදා බාහිර මතවාදයකට හසුවන්නේ නැහැ. ධර්මයෙන් පරිබාහිර ක්‍රමයකට පිරිසුදු බව සොයන්නේ නැහැ. ලෝකයා මංගල සම්මත යැයි දක්වන හිස් නිස්සාර දෙයට රැවටෙන්නෙත් නෑ.

අපටත් එවන් ආර්ය ශ්‍රාවකත්වයක් ඇති කර ගන්නට ඇත්නම් එය කෙ තරම් වාසනාවක් ද? එවැනි ශ්‍රාවකත්වයක් ඇතිකර ගන්නට අපටද වාසනාව උදාවේවා!