Print this Article


 සතිපට්ඨාන භාවනාව 39: ධම්මානුපස්සනාව - සති සම්බොජ්ඣංගය: සෑම දෙයකටම වැදගත් සිහි කල්පනාව

ධම්මානුපස්සනාව - සති සම්බොජ්ඣංගය:

සෑම දෙයකටම වැදගත් සිහි කල්පනාව

බොජ්ඣංග භාවනාව ගැන සඳහන් කිරීමේ දී කරුණු හතකින් සමන්නාගත විදසුන් භාවනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ විවේකස්ථානයක වැඩ සිට තමන්ගේ සිත ගැන විමසා බලමින් බොජ්ඣංග භාවනාව වැඩිය යුතු බව පැහැදිලි කළා.

බෝධි අංග බොජ්ඣංග නම් වෙයි. නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා බුදු , පසේ බුදු, මහ රහත් පදවි ලබා ගැනීම සඳහා සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵලයන් ලබා ගැනීමට අවශ්‍ය කරන විශේෂ ගුණ ධර්ම හතකට බොජ්ඣංග යනුවෙන් සඳහන් කරයි. බොජ්ඣංග ධර්මත් මොහොතින්, මොහොත වෙනස් ව යයි. එක මොහොතක හටගෙන නැවත නැති වී යයි. එවිට සිහි කල්පනාවෙන් සෑම දෙයක් ම විය යුතු යි. එවිට නුවණ යෙදෙයි. සිහි කල්පනාවෙන් යමක් කරනවා නම්, බොජ්ඣංග ධර්ම ටික හොඳට දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගැන දෙවියෙක්,බ්‍රහ්මයෙක් , කියනවා නෙවෙයි, අන්‍ය ආගමක කෙනෙක් කියනවා නෙවෙයි, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ම යි බොජ්ඣංග ධර්ම ගැන පැහැදිලි කරන්නේ.

බොජ්ඣංග යන උතුම් වචනය බුදු දහමේ පමණයි තිබෙන්නේ. ඒවා දියුණු තියුණු කරන සෑම කෙනෙක් ම සිහි නුවණින් වාසය කළ යුතු යි. ඕනෑම පින්කමක් කරන විට සිහි නුවණින් වාසය කරනවා නම්, බොජ්ඣංග ධර්ම පහළ වෙයි. මුලින් ම තමන් විවේකස්ථානයක වාඩි වෙලා, තම තමන්ගේ සිත ගැන විමසා බලමින්, බොජ්ඣංග භාවනාව වැඩිය යුතු යි. සති සම්බොජ්ඣංග ආදී දියුණු කරගැනීමේ දී තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගයක් ඇති කල්හි, තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගය තිබෙන බව දැනගත යුතු යි. දෙවන ක්‍රමය තම සිතෙහි සති සම්බොජ්ඣංගය නැති කල්හි තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගය නැති බව දැනගත යුතු යි. තම සිතෙහි නූපන් සති සම්බොජ්ඣංගය උපදවා ගන්නේ ය යනුවෙන් විමසා බැලිය යුතු යි. තමන්ගේ සිතෙහි නූපන් බොජ්ඣංගය වැඩි දියුණු කරගත යුතු යි. එවිට මෙම කරුණු සොයා බැලීමේ දී තමන්ට සති සම්බොජ්ඣංගය හොඳට දියුණු කරගන්න පුළුවන්. සිහියත් වෙනස් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඒ නිසා සති සම්බොජ්ඣංගයත් අනිත්‍ය, දුක්ඛ , අනාත්ම කියා මෙනෙහි කළ යුතු යි. වෙනස් නොවන්නේ අසංඛත ධාතු යි. එනම් සංඛ්‍යාත නිර්වාණය යි. එය වෙනස් වන්නේ නැහැ. එසේ ම ලෝකෝත්තර සිතෙහි චිත්ත, චෛතසික වෙනස් වන්නේ නැහැ. ඒවා ස්ථිර යි. අනෙක් සියල්ල ම වෙනස් ව යයි. මාර්ග සිත සැමදාමත් මාර්ග සිතම යි. එය වෙනස් කරන්නට පුළුවන්කමක් නැහැ.

සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාරක ධර්ම හතරක් තිබෙයි. සති සම්පජඤ්ඤය ( සෑම දෙයක් ම සිහි කල්පනාවෙන් කිරීම), සිහිය ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම, සිහි කල්පනාව නැති අය ආශ්‍රය නොකළ යුතු යි, සිහි කල්පනාවෙන් ම සෑම දෙයක් කෙරෙහි ම ඇලී ගැලී කටයුතු කළ යුතු යි. හැබැයි, ඒ තණ්හාව නෙවෙයි. මුළාව නෙවෙයි, එය ඤාණ සම්ප්‍රයුක්ත ලක්ෂණයක්. එසේනම්, මේ කරුණු සතරින් සමන්නාගත වූ සිහි කල්පනාව සති සම්බොජ්ඣංගය දියුණු කිරීම සඳහා කවුරුත් මහන්සි ගත යුතු යි.

කුඩා දරුවන් ඉහළට සමත් වීමට හොඳට මතක ශක්තිය ලබා ගන්න සිහි කල්පනාව තිබිය යුතු යි. එයට ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව පුරුදු පුහුණු කර, සිහිය දියුණු කළ යුතු යි. එවිටත් වැඩෙන්නේ සති සම්බොජ්ඣංගය යි. රැකියාව, වෙළෙඳාම, ගොවිතැන් වැඩ සිහි කල්පනාවෙන් කළ යුතු යි. එසේම බණ ඇසීමෙන්, භාවනා කිරීමෙන් සති සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා. සියලු පින්කම් සිහි කල්පනාවෙන් සිදු කළොත් එහි දී සති සම්බොජ්ඣංග වැඩෙයි. උදේ කාලයේ දාන මාන පූජාව සුදුසු වන අතර එය හවසට කළොත් එතැන සති සම්බොජ්ඣංගය නැහැ. අකාලයේ ඒ ගැන සිතා බලා කටයුතු කිරීමට ශක්තිය නැහැ. ඒ නිසා දාන, ශීල, භාවනා සියලු පින්කම් ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන සේ කරගන්නට නම්, අත්‍යවශ්‍යම කාරණය සති සම්බොජ්ඣංගය යි.

එය දියුණු කරගත් විට කොයි කාටත් මෙලොව, පරලොව දෙලොවටත් , සංසාරෙටමත් හොඳ යි. සිහි කල්පනාව නැති නිසා හැම දුක් කරදරයකට මුහුණ පාන්න සිදු වෙයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්යය ඉන්ද්‍රිය , සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රියයන් අතේ තිබෙන ඇඟිලි පහක් වගෙයි. මෙම ඉන්ද්‍රිය ධර්ම පහ සම මට්ටමකට ගේන්නට සිහි කල්පනාව අත්‍යවශ්‍යය යි.

ලොවුතුරා බුදු කෙනෙක් ධර්ම දේශනා කරන විට, හැම දෙනාගේම සිහි කල්පනාව එක අරමුණක තබා ගැනීමට යි, දේශනය පවත්වන්නේ. බුදුවරයෙක් දේශනාවක් කරන විට කිසිවකුගේ සිත විවිධ අරමුණු කරා යන්නේ නැහැ. එක අරමුණකින් සිහිය පිහිටුවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි, ඒ අයට ධ්‍යාන අභිඤ්ඤා, විපස්සනා ඤාණ ආදී උත්තරීතර ධර්ම අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ ගැන කොයි කවුරුත් කල්පනා කර, සති සම්බොජ්ඣංගය නම් වූ උත්තරීතර ධර්මය දියුණු කර ගැනීම සඳහා අනිවාර්යෙන් කටයුතු කළ යුතු යි. එවිට තමන් ගමන් කරන මඟ වැරැදි සහගත නැතිව, නිවැරැදි මඟක යන්නට පුළුවන්.

සති සම්බොජ්ඣංගය වැඩෙන විට, සම්මා දිට්ඨිය පිරිපුන් ව දියුණු වෙයි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම පදයකට ම සතිය, සති සම්බොජ්ඣංගය අනිවාර්යෙන් සම්බන්ධ යි. සම්මා සතිය නැතිව , සති සම්බොජ්ඣංගය නැතිව සම්මා දිට්ඨි ආදී මාර්ගාංග පහළ වන්නට බැහැ. එසේම මෙම බොජ්ඣංගය නැතිව කවර දවසකවත් ප්‍රථම ධ්‍යානය, දුතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය ලබන්නට බැහැ. අරූපාවචර ධ්‍යාන ලබන්නට බැහැ. සෝවාන්, සකෘදාගාමී,අනාගාමී, අර්හත් , පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය ආදී විශේෂ තනතුරු ලබන්න පුළුවන්කමක් නැහැ. එසේනම්, සති සම්බොජ්ඣංගය යනු ප්‍රධාන දෙයක්. එය දියුණු කළොත් විතරයි, උත්තරීතර ධර්ම වලට පත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ අනුව බෝධි පාක්ෂික ධර්මයන්ගේ ප්‍රධානියා ලෙස සති සම්බොජ්ඣංගය සලකන්නට පුළුවන්.

ගමනක් බිමනක් යන්නට, වාහනයක ගමනක් යන්න, කඩයකට යන්න, අධ්‍යාපනය ලබන්න සෑම දෙයකටම අවශ්‍ය කරන්නේ සිහි කල්පනාවයි. සිහිය නැතිනම්, කිසිම වැඩ රාජකාරියක් කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා කවුරුත් මෙම ගුණ ටික දියුණු කර ගැනීම සඳහා , සති , සමාධි, ඤාණ දියුණු කර ගැනීම සඳහා බලවත් උත්සාහයෙන් වැඩ කිරීම සඳහා සති සම්බොජ්ඣංගය හෙවත් සිහි කල්පනාවෙන් ම වැඩ කටයුතු කළ යුතු යි. එවිට කාය, වාග්, මනෝ ද්වාරත්‍රයත් සංවරයි. ශීලයත් හොඳින් රැකෙයි. පස් පවින් වළකියි. ඒ අනුව බලද්දී සම්මා සතියට , සති සම්බොජ්ඣංගයට සියලු ම දේ අනුයුක්ත ව තිබෙනවා. සිහිය නැතිනම් කුමන දෙයක්වත් දියුණු කරන්නට බැහැ. එසේනම්, බුදු දහමට අනුව වැඩ කරන සියල්ලෝම සම්මා සතිය, සති සම්බොජ්ඣංගය යන මේවා හොඳට නුවණින් පිරික්සා බලා කටයුතු කළ යුතු යි.

බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ අබියස දී ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සතර , අරූපාවචර ධ්‍යාන උපදවා ගත්තේ සති සම්බොජ්ඣංගය හොඳට තිබුණ නිස යි. එසේම බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී පංචවග්ගිය භික්ෂූන් වහන්සේලාත්, දෙවියෝත්, බ්‍රහ්මයෝත් අමතා කළ විශේෂ ධර්ම දේශනාවෙන් අසංඛ්‍යෙයක් නිවනට පත් වුණේ, සියලු දෙනාම සති සම්බොජ්ඣංගය වැඩෙන සේ බණ ටික ශ්‍රවණය කළ නිසයි. දේශනාවේ දී අඤ්ඤා කොණ්ඩඤ්ඤා ස්වාමීන් වහන්සේ අසංඛ්‍යෙයක් සෝවාන්, ආදී මාර්ග ඵල ලැබීම ම කෙතරම් විශේෂ කරුණක් ලෙස සැලකිය යුතු ද? ප්‍රථම මංගල දේශනාවේදී එලෙස නිවන් අවබෝධ කළා. ඒ අනුව කල්පනා කර අපටත්, මේ ජීවිතයේ මඟ ඵල නිවන් සුව ලැබේවා, යන පැතුමත්, මේ ජීවිතයේ ම නොලැබුණොත් ඉක්මන් භවයකදී ම නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබේවා යන ප්‍රාර්ථනාව කවුරුත් සිතෙහි තබාගෙන සියලු පින් දහම්වල යෙදෙන්නට අවශ්‍යය යි.

කවරදේ කරන්න ගියත්, සිතේ සතුට තිබිය යුතු යි. සිතේ අසතුට ආවොත්, කෙදිනකවත් සිත සති සම්බොජ්ඣංගය කෙරෙහි ගෙනෙන්නට බැහැ. සති සම්බොජ්ඣංගය පිහිටුවාගෙන කටයුතු කිරීමට නම්, කොයි කාගෙත් හිත හොඳ විය යුතු යි. තණ්හාව, තරහව, වෛරය , ඊර්ෂ්‍යාව වැනි පහත් සිතිවිලි හැකිතාක් දුරු කර, තමන්ගේ චිත්ත සන්ථානය ආලෝකවත් කර ඉදිරියට යාම වැදගත් ම කාරණය යි. ඒවා දියුණු තියුණු කර ගැනීමෙන් පාරමී ගුණ හොඳට දියුණු කරගන්න පුළුවන්. එසේම සිත ශක්තිමත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. එපමණක් නොවෙයි, තමන් බලාපොරොත්තු වන උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට නම්, සති සම්බොජ්ඣංගය ඉතාම හොඳට පැහැදිලිව තිබෙන්නට අවශ්‍යය යි. එලෙස කටයුතු කරගෙන යන අයට පමණක් ලැබෙන, උත්තරීතර දෙය වන්නේ ධර්මය යි. උත්තරීතර ධර්ම සියල්ලක්ම සති සම්බොජ්ඣංගයට යටත්ව තිබෙනවා. ඒ අනුව සලකා බලනවිට බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේ දීර්ඝ කාලයක් පුරා පුරන ලද පාරමිතාවන්ගේ ආනුභාවයෙන් තමන් වහන්සේලාට පුළුවන්කම ලැබුණා, සිහි කල්පනාව හොඳින් දියුණු වී තිබුණ නිසා, තථාගත ධර්මය අවබෝධ කරගැනීමට. එය සැමටම බැහැ. බොහොම ස්වල්ප වූ පින්ඇත්තෝ පමණයි එය අවබෝධ කරගන්නේ. පිනට, දහමට, ගුණයට නැඹුරු අය පමණක් ධර්මය අවබෝධ කරගන්නවා. අන් කිසිවෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. මේ ගැන හසල දැනුමක් කවුරුත් ඇතිකරගෙන, සති සම්බොජ්ඣංගයත් ඇතිවෙලා, නැතිවෙලා යනවා. ඒ නිසා සති සම්බොජ්ඣංගයත් අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. උපදින ආකාරය, පවතින ආකාරය, නැතිවෙන ආකාරය බැලිය යුතු යි. සෑම සිතකම පහළ නොවන ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිතක පමණක් පහළ වන මේ බොජ්ඣංග ධර්ම ගැන දැනගෙන කොයි කවුරුත් සිහියෙන් ම වැඩ කටයුතු කර, පාරමී ගුණ ද දියුණුවෙන්, ඉක්මන් භවයක දී ම නිවන් පසක් කරගන්නට හේතු වාසනා වේවා!