Print this Article


වපුරන බීජයට අනුව ලැබේ ප්‍රතිඵලය

වපුරන බීජයට අනුව ලැබේ ප්‍රතිඵලය

හිමිදිරි පාන්දර, හිරු නැඟ ගෙන එනවිට මහා වනාන්තරයේ සිටින කේසර සිංහයෙක් සීහ නාදය පතුරුවන කොට මොන තරම් බියකරු ද? කේසර සිංහයා අළුයම් කාලයේ අවදිව, ඇඟ මැලි හැර, පා දිගු කර සීහ නාදය පතුරුවන විට ගහ කොළ පවා ඒ නාදයෙන් බිය ගැන්වෙනවනේ .

මහා වනාන්තරයේ අනිත් සතුන්, දිය බොන්න යන සතුන් පවා ඒ මහා සීහ නාදයට බියේ තැති ගන්නවනේ. හරි පුදුමයි.පුංචි කුරුල්ලන්, මුව පොව්වන්, අලි ඇතුන් පවා කේසර සිංහයාගේ සීහ නාදයට බිය වෙනවානේ. මේ හඬ ඒ තරම්ම බියකරුයි. මහ පොළොව පවා ගිගුරුම් දෙන බියකරු හඬක්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, කේසර සිංහයෙක් සීහ නාදය පතුරවන්නේ කෙසේද? සංසාර බියත් අන්න ඒ වගේ” කියලා. ස්වාමීනි, ඔබ වහන්සේ අපට සංසාර බය කියලා දුන්නා. එයින් අත මිදෙන හැටි කියලා දුන්නා. ඔබ වහන්සේ මේ බියකරු සසර ගමනෙන් එතෙර වුණේ තනියම නෙමෙයි. ඔබ වහන්සේ, අන් අයටත් සසරින් එතෙර වන මාර්ගය කියලා දුන්නා. පින්වතුනේ ,බුදු ගුණ හිතන්න, හිතන්න හරි පුදුමයි ඒ තරම් සංසාරේ පින් කළ ජීවිතයක් තවත් තියෙනවද? මතකයි එදා, බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගැන බයෙන් ආනන්ද හාමුදුරුවෝ සමඟ අනිත් හාමුදුරුවන් වහන්සේලා ජේතවනාරාමයේ හතර වටේ මුරකාවල් යොදලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද අයි ආනන්ද අර මුරකාවල් යොදලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද ඇයි ආනන්ද අර භික්ෂූන් වහන්සේලා මුරකාවල් යොදාගෙන ඉන්නේ. කවුරු පරිස්සම් කරන්නද? ස්වාමීනි ඔබ වහන්සේ ආරක්ෂා කරන්නයි ඒ භික්ෂූන් වහන්සේලා එහෙම ඉන්නේ. එපා ආනන්ද මා පරිස්සම් කරන්න. සම්මා සම්බුදු කෙනෙකුට අනතුරක් කරන්න කාටවත් බැහැ. බුදු කෙනෙක් තමන් ම ආයු සංස්කාරය අත හරින තුරු බුද්ධ ජීවිතයට හිංසාවක් කරන්න කිසිවකුට නොහැකියි. පින්වතුනේ , බුදුහාමුදුරුවන්ගේ පරිවාර සම්පත්තිය කොපමණද? තුන් ලෝකයක් සැනසූ ඒ අසම සම නිදුකාණන් වහන්සේට අදටත් පරිවාර සම්පත්තියෙන් අඩුවක් තියෙනවද? සැනසිල්ලේ මග බුදුරජාණන් වහන්සේ. අසරණ වූ ලෝකයට සරණ වු බුදුරජාණන් වහන්සේ කොච්චර වටිනවද? අද අපිට සැනසීමක් තියෙනවද? එන්න එන්නම කරදර. ජීවිතේ ගැන සතුටු වෙන්න පුළුවන්ද? මොන දේ තිබුණත්, මොන තරම් ලස්සන ගේ දොර තිබුණත්, කොපමණ මිල මුදල් යාන වාහන තිබුණත් කාටද සිතේ සැනසිල්ල තියෙන්නේ? මාර රාජ්‍යයක නේද ජීවත් වෙන්නේ. මාරයාම නේද පෝෂණය කරන්නේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, මේ සේරම මාරයාගේ ආයුධ. අනේ අපිට සැනසීමක් තියෙනවද? ලස්සනට ඇඳ පැළඳගෙන හිටියත් සිත්වල තියෙන ප්‍රශ්න කාටද තේරෙන්නේ . අපි නිතරම බුදුගුණ හිතන්න පුරුදු වුණොත් සිත්වලට පුදුම විදියේ සැනසීමක් ලැබෙනවා. මෝහ අන්ධකාරයෙන් අන්ධ වූ සිත්වලට බුදුගුණ දැනෙනවද?

අපි සංසාරේ පව් කරගෙන ආවා. ඒ පව් මදිවෙලාද තව තවත් පව් කරන්නේ. අපේ සිත්වලට කාම රාගී ගිනි ආවොත් මොකද වෙන්නේ. පැළයක් වුණත් බලන්න. අඹ ඇටයක් පැළ කළොත් අඹ ගසක් හැදිලා අඹ නේද ලැබෙන්නේ. අන්න ඒ වගේ වපුරන බීජයට අනුව නේද ප්‍රතිඵලය ලැබෙන්නේ. නිතරම සිත නේද සුවපත් කරගන්න ඕනෑ. අපේ ලොව්තුරු දහම මොනතරම් වටිනවද? මොන තරම් උගත් වුවත් අරි අටගි මගේ ගමන් නොකරනවා නම් වැඩක් තියෙනවද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය මොන තරම් වටිනවද? අරි අටගි මගේ හැසිරෙන ඇත්තා ජීවිතේ ජයග්‍රහණය කරනවනේ. අපේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න, හිතන්න ඒ සිතට ඉබේම සැනසීම ලැබෙනවනේ. බලන්න පින්වතුනේ.බුදු රුවක් කඩදාසි කොළයක ඇන්දත් අපි ඒකට වඳිනවනේ. එහෙම නැතුව කඩදාසි කන්ඳක් තිබුණත් අපි වැඳුම් පිදුම් කරනවද? ඒත් ඒ කඩදාසි ඔක්කොම එකතු කරලා ඒකෙන් බුදුරුවක් නිර්මාණය කළොත් අපි වැඳුම් පිදුම් කරනවනේ. හරි පුදුමයි මේ සැනසීම.

අදත් ඔබේ සිත තුළ දහසක් ප්‍රාර්ථනා, දහසක් බලාපොරොත්තු තිබෙනවා. මගේ බලාපොරොත්තුව ඉටුවෙයිද? ඔබට වරදින්නේ නෑ. හිතන්න, ඔබේ සිතට ගත් අදහස ජයගන්න පෙරට යන්න. කළකිරීම ජීවිතේ ජයග්‍රහණයට මග නෙවෙයි. කළකිරීම ජීවිතේ පරාජයට මගයි. කොච්චර කරදර ආවත්, මොන තරම් ප්‍රශ්න ආවත් ඔබ තැබූ පියවර පස්සට ගන්න එපා. ඉදිරියට යන්න. ඔබට මතකද? සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ එදා බුද්ධගයා බෝධි මණ්ඩලය ළඟ වාඩිවෙලා අධිෂ්ඨාන කළ හැටි “මගේ සම, මස් නහර සිඳිලා ගියදෙන්. බුදු බව ලබා මිස මා මෙතනින් නැගිටින්නේ නැහැ.” මොනතරම් උතුම් අධිෂ්ඨානයක් ද? ඇයි ඔබට පොඩ්ඩක් වැරදුණා කියලා පටන් ගත්තු වැඩක් අතහරින්න හදන්නේ. එපා. ඔබ ළඟ ජය තියනවා. ඔබ ළඟ සතුටත් තිබෙනවා. ඔබ ළඟ බලාපොරෙත්තු ඉටු කරවන ශක්තියක් තියෙනවා. ඔබ තුළ ආත්ම විශ්වාසය. ආත්ම ධෛර්යය උපදවා ගන්න. ජීවිතයේ ජය ලබන්න පුළුවන්. ජීවිතය ගැන කවදාවත් කළකිරෙන්න එපා. තමන්ගේ ජීවිතේ ඇයි තමන්ම සැක කරන්න හදන්නේ, ලෝකයේ කවුරුත් බලාගෙන ඉන්නේ සමහර වෙලාවට අපේ හිත දුර්වල කරන්න තමයි. වැටිච්ච හිත තව වට්ටවන්න හදනවා. ඔබත් වැටෙන්නද හදන්නේ. නෑ. ඔබට පුළුවන් නැවත නැඟී සිටින්න. ඔබේ බලාපොරොත්තුව, ප්‍රාර්ථනය ජය ලබනතුරු ඉදිරියට යන්න. ජීවිතේ අද දවසේ ඔබ තැබූ සියලු බලාපොරොත්තු, ප්‍රාර්ථනා එලෙස ම සමෘද්ධිමත් වේවා. ඔබ තබන තබන හැම පියවරක් ම ජය සංකේත වේවා. කිසි විටෙකත් ඔබේ සිත දුර්වල නොවේවා. පෙරට යන්නට සවිමත් මනසක් ලැබේවා.

අසරණ ලෝසත අඳුරින් ගලවා
නිවන් මගට යොමු කළ සමිඳෝ
දුක් ඇති සසරේ දුකින් මිදෙන මඟ
අපට කියා දුන් බුදු  සමිඳෝ
ගිහිගෙයි ගින්දර නිවා දමන්නට
ඔවදන් දුන් අපෙ බුදු  සමිඳෝ
නැවත වරක් හිමි අහසෙහි වැඩ හිඳ
අම පැන් ඉස්සද බුදු  සමිඳෝ...