Print this Article


පංච ධර්මය දැන දැක ගනිමු

පංච ධර්මය දැන දැක ගනිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉධුදායි මමං සාවකා අධිසීලෙ සම්භවෙන්ති සීලවා සමණෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති, යම්පනුදායි මමං සාවකා අධිසීලේ සම්භවෙන්ති, සීලවා සමණේ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති අයං ඛෝ උදායි පඨමෝ ධම්මෝ යෙන මමං සාවකා සක්කරොන්ති, ගරුකරොන්ති, මානෙන්ති, පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

පින්වත්නි,

අද ධර්ම දේශනාව ලෙස මා තෝරා ගන්නේ මජ්ක්‍ධිම නිකායේ සකුළුදායි සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින දිනක පිඬු පිණිස රජගහනුවරට වැඩම කළහ. පිණ්ඩපාතය ලබා ගැනීමට කල්වේලා ඇති නිසා ‘මෝරනිවාප’ නම් වූ සකුළුදායි අසපුවට යාමට තීරණය කළහ. සකුළුදායි, තාපස පැවිද්දෙන්, ගෝලයන් ද සමඟ එම අසපුවේ වාසය කරන බැවින් බුදුරදුන් එහි වැඩම කිරීම තුළ ආගමික සුහදශීලීත්වය මනාව පැහැදිලි වන්නේ ය.

මෝරනිවාපයේ අනුගාමිකයෝ ශබ්ද කරමින්, ඝෝෂා කරමින් දෙතිස් කතාවල යෙදෙමින් කාලය ගත කරන හෙයින් බුදුරදුන් අසපුවට වඩින විට සකුළුදායි තම ගෝල පිරිස නිශ්ශබ්ද කරයි. “ශබ්ද නොකරනු” නිශ්ශබ්දතාවය පි‍්‍රයකරන ‘නිහඬව වැඩ සිටින’ ‘ඝෝෂාවට අකැමැති’ බුදුරජාණන් වහන්සේ අපේ අසපුවට වඩිනවා. අපිට ලොකුම ලාභයක්’ හරිම ප්‍රයෝජනයි. නිශ්ශබ්ද වෙන්න’ යැයි කියමින් සියලු දෙනා සන්සුන් කළේ ය. පෙරමග ගමන් කළ සකුළුදායි පිරිවැජියා බුදුරදුන් ඉතාම ඉහළින් පිළිගෙන තම අසපුවට වඩින ලෙසත්, අසුන් පනවා ඇති බවත් කියා සිටියේ ය. අසපුව ඇතුළට වැඩම කළ බුදුරදුන් පනවන ලද ආසනයේ වැඩ සිටි අතර, සකුළුදායි මිටි අසුනක් ගෙන බුදුරදුන් සමීපයෙහි ම අසුන් ගත්තේ ය. එහි වැසි සියලු දෙනා බුදුරදුන්ට ගරු කරමින් බිම වාඩි වූහ.

බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වී සිටින සියලු දෙනාගේ නිශ්ශබ්දතාවය අතරින් බුදුරදුන් මුලින්ම කතා කරයි. එය බුදුරදුන්ගේ ලක්ෂණයකි.

“මම අසපුවට වඩින විට මහා ශබ්දයක් ඇසුණා. විවිධ සාකච්ඡා, කළ බලයක් වගෙයි. මොකක්ද ඒ ඝෝෂාව, කියා අසයි. එම නිරර්ථක කතා වැඩක් නැති බව කියා සකුළුදායි වෙනත් දෙයක් ගැන කියමින් කතාව වෙනත් පැත්තකට යොමු කරයි. බුදුරදුනි, පසුගිය දිනෙක රජගහනුවර සන්නිපාත ශාලාවේ කතා බහක් ඇති වුණා. විවිධ ආගමික නායකයන් සිටින රජගහනුවර හරිම වාසනාවන්තයි කියා අයෙක් කියනවා මට ඇසුණා. නමුත් ඒ ශාස්තෘන්වහන්සේලාට තම අනුගාමිකයන් ගරු නොකරන බව ද, වෙනත් අයෙක් කියනවා. අනුශාසනා කරන විට ඇහුම්කන් නොදෙන බව, කියනා දේ පිළිනොගෙන ඒක එහෙම වෙන්න බැහැ කියනවා.

නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඇසෙන විට ශ්‍රාවක පිරිස් කිසි ශබ්දයක් නොකරයි. හුස්ම ගන්නා ශබ්දයක් හෝ නොඇසෙන තරමට නිශ්ශබ්දයි. මීයක් කඩන තැනක මී පැණි ටිකක් රස විඳීමට බලා ඉන්නා අයුරින් ධර්මය අහගෙන ඉන්නවා යැයි තවත් අයෙක් කියනවා. දිනක් ශ්‍රාවකයෙක් හට කිවිසුමක් ගියා. බණ අසන වෙලේ ශබ්ද කිරීම සුදුසු නැති බව දණහිසින් ඇන නිශ්ශබ්ද කළා. එතරම් ගරු කිරීමක්, ශාස්තෘ ගෞරවයක් බුද්ධ ශ්‍රාවකයන් තුළ ඇති බව සාකච්ඡා වුණු බව සකුළුදායි පිරිවැජියා බුදුරදුන්ට පැවසුවා.

පිරිවැජිය, මාගේ ශ්‍රාවකයන් කවදත් බුද්ධ වචනය මැනවින් අසනවා. ගරුකරනවා. තැන්පත් හදවතක් ඇති කර ගන්නවා.

සකුළුාදායි ඔබ දන්නවාද? ශ්‍රාවකයන් මට ගරු කරන්නේ, සත්කාර කරන්නේ, මානන පූජා කරන්නේ කෙබඳු කාරණාවක් නිසාද කියා? යැයි බුදුන්වහන්සේ විමසති. එවිට පිරිවැජියා ඊට හේතු කරුණු පහක් ඇති බව කියයි.

භාග්‍යවතුන් වහන්සේ, අප්පහාරෝ’ අල්පආහාර ඇති කෙනෙකි.

ඉතරිතරෙන චීවරේන - රළු සිවුරු පොරවා ගැනීම, ‘පිණ්ඩපාතෙන’ පිණ්ඩපාතයෙන් යැපීම ‘ඉතරිතර සේනාසනේන’ සෙනසුන්වල වැඩ සිටීම ‘පව්වේක චිත්තෝ’ උපධි විවේකයෙන් සිටීම යන කරුණු විස්තර කරයි. පිරිවැජිය භාග්‍යවතුන් වහන්සේ එවැනි ව්‍රතයන් සමාදන්ව නැත. මගේ ශ්‍රාවකයෝ ඒ කරුණු අනුව සිටින්නට පුළුවනි. ඒ ශ්‍රාවකයෝත් මට සලකනවා, ගරු කරනවා, මගේ දේශනා අහනවා. නමුත් ඔය කරුණු කාරණා නොව වෙනත් කරුණු රාශියක් පැහැදිලි කරමින් සකුළුදායි ඇතුළු අනුගාමිකයන්ට අනුශාසනා කළහ.

සම්බුදු ශාසනයේ ශ්‍රාවකයෝ මට සලකන පළමු කාරණාව සිල්වත් වූ උත්තම ශීලස්කන්ධයෙන් සමන්විත හෙයිනි. චරිතය බැබළෙන්නේ ශීලයෙනි. ශීලයෙන් හැදියාව ඇති කෙරෙයි. ශ්‍රාවක පිරිස භාග්‍යවතුන් වහන්සේගේ අති උත්තම සිල් ගුණය දන්නා නිසා සැලකීම, ගරු කිරීම, සවන් දීම, ආචාරශීලී භාවය, තැම්පත් බව, නිහඬ බව, ශ්‍රාවකයන් තුළ ඇතිවෙනවා. ‘පඨමෝ ධම්මෝ’ මෙය පළමු කාරණය වන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥාන දර්ශනයෙන් යුක්ත වන බව ශ්‍රාවකයෝ දනිති. දහම දැන දැක ප්‍රත්‍යක්ෂ කොට දේශනා කරන සේක. ගරු කිරීමට, සත්කාර කිරීමට හේතු වන ‘දුතියෝ ධම්මෝ’ දෙවැනි කාරණාව එය වන්නේ ය.

ශ්‍රාවකයෝ මා අධි ප්‍රඥාවෙන් යුක්තයැයි හඳුනති. උත්තම ප්‍රඥාස්කන්ධයෙන් සම්භාවනා කෙරෙති. තුන්වැනි නුවණෙහි යුක්ත බව දනිති. එහෙයින් සත්කාර ගරුකාර, මානන පූජා කෙරෙති. ‘අයං ඛෝ උදායි තතියෝ’ මෙය තුන්වැනි කාරණාවයි,

මාගේ ශ්‍රාවකයෝ දුකට පත් වූ විට මා කරා පැමිණ දුක්ඛ ආර්ය සත්‍ය අසති. එය විස්තර කර ප්‍රශ්න ව්‍යාකරණයෙන් සතුටු කරවමි. මෙසේ චතුරාර්ය සත්‍ය ප්‍රශ්න ව්‍යාකරණයෙන් ඔවුන්ගේ පැහැදීම වැඩියෙන් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේට ගරු කිරීමට, සත්කාර කිරීමට හේතුවන හතරවන කාරණාව එයයි.

පිරිවැජිය ශ්‍රාවකයනට පිළිවෙත් කියාදෙන බැවින් සතර සතිපට්ඨානය වඩති. සම්‍යග්ඥානයෙන් යුතුව අභිධ්‍යාදෝමනස්සයන් දුරුකොට ධර්මයෙහි ධර්මානුදර්ශීව වෙසෙති. එම නිසා ශ්‍රාවකයෝ අභිඥාලාභී වෙති. අභිඥපාරමී සංඛ්‍යාත අරහත්වයට පැමිණෙති. එමෙන්ම මගේ ශ්‍රාවකයෝ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද පඤ්චේන්ද්‍රිය, පංචබල සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අෂ්ට විමෝක්ෂය වඩති. එමඟින් බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන සහ අභිඥාපාරමී සංඛ්‍යාත රහත් බවට පැමිණ වාසය කරති.

ශ්‍රාවක සංඝයා පිළිවෙත් දැන අෂ්ට අභිහායතන වඩති, දස කසින වඩති. සතර ධ්‍යාන වඩති. සතරමහා භූත දැන දැක ගනිති. සෘද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබේබනිවාසානුස්සති, චුතූපපාත ඥාන උපදවා අභිඥාවසාන හා අභිඥාපාරමී සංඛ්‍යාත චීර්ණ වශී බවට පැමිණ වසති. ආශ්‍රවයන් ක්ෂයවීමෙන් අනාශ්‍රව ඵල සමාධියත්, ඵල ප්‍රඥාවත් මේ ආත්මයේම දැන ප්‍රත්‍යක්ෂ කොට ශ්‍රාවක සංඝයා වාසය කරති.

ශ්‍රාවක සමූහයා ශාස්තෘ ගෞරවය උපදවා භාග්‍යවතුන් වහන්සේට ගරු සත්කාර සිදුකරන්නේ මෙම පඤ්ච ධර්ම හේතුවෙන් බවත්, එතුළින් පුද්ගලයෙකු තුළ ගොඩනැඟෙන අභ්‍යන්තර, අධ්‍යාත්මික සංවරය බවත් සකුළුදායි පිරිවැජියාට පැහැදිලි කර වදාළහ. මෙම දේශනාවසානයේ සකුළුදායි පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු සිත් ඇති කර ගත්තේ ය. ඉහත දක්වන ලද පංච ධර්ම අවබෝධයට හා දැන දැක ගැනීමට, නිවනින් සැනසීමට උත්සාහ ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි