Print this Article


වසල සූත්‍රය

වසල සූත්‍රය

බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි පෙරවරුවේ ගෙපිළිවෙලින් පිණ්ඩපාතයේ වැඩම කළ සේක. එම අවස්ථාවේ අග්ගිකභාරද්වාජ බමුණාගේ ගේ දොර අසල ගිනි දල්වා යාගයක් සූදානම් කර තිබිණි. බ්‍රහ්මයා සඳහා පුද පූජා පවත්වන වේලාවෙහි ශ්‍රමණ දර්ශනය අයහපත් කාරණාවක් ලෙස ඔහු කල්පනා කර තිබිණි. බුදුරජාණන් වහන්සේ එහි වැඩම වීම ඔහුගේ කෝපයට හේතු විය. බුදුන් වහන්සේ දුටු බමුණා කෝපයෙන් , වසල වාදයෙන් බැණ වැදුණේ ය. එහි නොපැමිණෙන ලෙසත්, නතරවන ලෙසත් බුදුරදුන්ට දැන්වූයේ ය. එවිට බුදුරදුන් ඔබ වසල කාරණා දන්නේදැයි විචාළ සේක. ස්වාමීනි මම නොදනිමි. එය වදාළ මැනවැයි කීවේ ය.

කිපෙන සුළු බව, බද්ධ වෛර ඇති බව, ලාමක ගුණමකු බව, අයහපත්

දෘෂ්ඨින් ඇතිබව, මායාකාරි ගුණය.

යමෙක් කිසියම් ජීවියෙකුගේ දිවි තොර කරන්නේ ද, ජිවීන් කෙරෙහි දයාවක් නැති වීම.

යමෙක් ගම් නියම්ගම්වල ඇති දේ පැහැර ගැනීම

ගමක දී හෝ කැලයක දී හෝ අයිතිකරුවන් විසින් ලබා නොදුන් දෙයක් සොර සිතින් ගැනීම

යමෙක් ණය ගෙන ඔබෙන් ගත් ණයෙක් මට නැතැයි කියමින් ණය

නොගෙවා හැරීම

යමෙකු අල්පමාත්‍ර හෝ කිසිවක් කැමැත්තෙන් මග යන ජනයා නසා ඔවුන්ගේ සම්පත් සොරා ගැනීම

යමෙක් තමා නිසා හෝ , අනුන් නිසා හෝ , ධනය නිසා හෝ සත්‍ය අසද්දී බොරු කීම.

යමෙක් යහළුවන්ගේ අඹුවන් කෙරෙහි කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් අනාචාරයේ හැසිරීම

යමෙක් සම්පත් තිබෙද්දී ජරා බවට පත් දෙමාපියන් පෝෂණය නොකිරීම

යමෙක් මව හෝ පියා හෝ ඥාතීන් හෝ සහෝදර සහෝදරියන් හෝ කෙරෙහි වචනයෙන් හෝ කෝපය උපදවා ගැනීම

යමෙක් අර්ථවත් දේ අසද් දී අහිතක්ම පවසා අර්ථය සඟවා කතා කිරීම

යමෙක් පාප කර්ම කොට ඒවා වසා කටයුතු කිරීම

යමෙකු අන්‍යයන්ගේ ගෙවල්වලට ගොස් ආහාර පානාදියෙන් සංග්‍රහ ලැබ තම නිවසට පැමිණි විට ඔවුන්ට සංග්‍රහ නො කිරීම

යමෙක් පැවිද්දෙක් හෝ , බමුණෙක් හෝ , යාචකයෙක් හෝ බොරුවෙන් රැවටීම

යමෙක් ආහාර අනුභව කරන වේලාව පැමිණි කල්හි පැවිද්දෙකු හෝ වේවා බමුණෙකු හෝ වේවා අයහපත් බසින් කෝප උපදවා කිසිවක් නොදීම

යමෙක් මුලා සිහියෙන් යුක්තව යමක් ගනු කැමැත්තෙන් බොරු පැවසීම

යමෙක් තමා උසස් කොට අන්‍යයන් හෙලා දැකීම

කෝප ඉපදවීම, මසුරු බව , ඊර්ෂ්‍යා කිරීම, කපටි බව, පවට ලජ්ජා

නැතිවීම , පවට බිය නැති බව,

යමෙක් බුදුරදුන්ට, පැවිද්දන්ට, ගොවියෙකුට, අපවාද කිරීම

යමෙක් රහත් නොවී මම රහත් යැයි ප්‍රකාශ කිරීම

මෙලෙසින් වසලයෙකු වීම සඳහා බලපාන කාරණා දේශනා කළ බුදුන් වහන්සේ වැඩිදුරටත් දේශනා කරන්නේ

කෙනෙක් ජාතියෙන් වසලයෙකු නොවේ. ජාතියෙන් බමුණෙකු ද නොවේ.

කර්මයෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන බව .

බුදුරජාණන් වහන්සේ මාතංග ජාතකය දේශනා කරමින් කරුණු පැහැදිලි කළහ.