Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

447. හේෂානී අනුත්තරා වීරරත්න
2 ශ්‍රේණිය
ශ්‍රී විමලකිත්ති දහම් පාසල - කලවාන

448. කේ. සංදීප මල්ෂාන්
10 ශ්‍රේණිය
ශ්‍රී විසුද්ධාරාමය – කළවානේගම

449. ටී. එච්. හපුආරච්චි
4 ශ්‍රේණිය
ශ්‍රී සම්බෝධි දහම් පාසල – රත්නපුරය

450. එච්. එම්. තවිරු දම්සන
03 ශ්‍රේණිය
ශ්‍රී නාගපුෂ්පාරාම දහම් පාසල - රත්නපුරය

451. එව්. එම්. එච්. බී. හේරත්
06 ශ්‍රේණිය
ශ්‍රී සුදර්මා දහම් පාසල – අම්පිටිය


අපේ පන්සල

පිය ගැට පෙළ මං නගිනව අපේ පන්සලේ
ඝණ්ටා නද රැව් දෙනවා වෙලේ බෝධියේ
පුංචි ළමෝ සුදු ඇඳගෙන පන්සල් මිදුලේ
සුදු වැලි මළුවේ පිරුවට එළුවා වාගේ

පහන් වැටිය දැල්වෙනවා හරිම ලස්සනයි
ලස්සන ඒ පහන් වැටිය සුවඳින් හැඩවෙයි
වෙලේ බෝධියේ ඝණ්ටා නද දස අත පැතිරෙයි
සාධු සාධු කියා වඳියි ධාතු මන්දිරෙයි

සඳරැස් වැටී ගං තෙර ලස්සනට පෙනෙනවා
බෝ අතුවල දැවටී එන සුළඟ දැනෙනවා
ඒ සුළඟින් ගත වගේම වෙහෙස නිවෙනවා
බෝධිය ළඟ පූජාවේ ගාථා ඇසෙනවා


සැරියුත් මහ රහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් තනතුර ලැබූ සැරියුත් මහරහතන් වහන්සේ තුළ පැවැති ධර්ම විශාරදභාවය නිසා ම ධම්ම සේනාධිපති යන නමින් ද උන්වහන්සේ හඳුන්වනු ලැබී ය. උපතිස්ස නමින් ගිහි කාලයේ හැඳින් වූ මෙතුමා කෝලිත පිරිවැජියා සමඟ ම ගිහිගෙය හැරගොස් විමුක්ති මඟ සෙවීමේ නිරත වූ අතර ම, අවසානයේ අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා බෞද්ධ ශ්‍රාවකයෙකු බවට පත් වී බුදු සසුනේ ප්‍රඥාවන්ත ම තෙරුන් බව පත් වූහ. ගුරු ගෞරවය හා ඉවසීම, අධිෂ්ඨානශීලී භාවය, යන උදාර ගුණවලින් පිරිපුන් සැරියුත් මහරහතන් වහන්සේ තම මව ඇතුළු සියලු දෙනා මිසදිටු අදහස්වලින් මුදවා තම නිවසේ දී ම පිරිනිවන් පා වදාළ සේක.


වැඩි තෘෂ්ණාව විනාශයට මුලය

සැවැත්නුවර එක්තරා වෙළෙන්දෙක් ගැල් පන්සියයක බඩු පටවාගෙන බුදුරදුන්ට වැඳ වෙළෙඳාමේ ගියේ ය. කාන්තාරයක ගමන් කරන ඔහු ළිඳක් දැක වතුර බීමට ගියේ ය. එහි යකඩ, ලෝකඩ, මුතු, මැණික් තිබුණි, ඔහුු ඒවා පටවාගෙන ගමට පැමිණ බුදුරජාණන් වහන්සේ මුණ ගැසී විස්තරය කියා සිටියේ ය. එවිට බුදුන් වහන්සේ වදාළේ ඒ ළිඳේ විසකුරු නාගයෙක් සිටින බවත්, මුතු මැණික් ගැනීමට ගිය අය නාගයා දෂ්ඨ කොට මිය ගිය බවත් ය. එනිසා වැඩි තෘෂ්ණාව විනාශයට මුල් වන බව උන්වහන්සේ වදාළ සේක.


සිරිපා පහසයි – බුදු කරුණාවයි

පද්ම සමන් රෝස කුසුම් පිපුණු මලේ
පියමං කරයි සමනලයන් එක රෑනේ
නැහැවෙයි සුවඳ වදිනා මේ සෑම වේලේ
කවි ගොත ගොතා නගිනෙමු අපි සිරි පාදේ

බුදු කරුණාවටයි දැඩි සිත මොළොක් වුණේ
බුදු කරුණාවටයි සිත වීරිය වැඩුණේ
බුදු සිරිපාදෙටයි දණ ලාගෙන වැන්දේ
බුදු සමිඳුන්ය මගෙ ලෝකය එළිය කළේ


දකුණත් අග්‍රශ්‍රාවක සැරියුත් තෙරුන් වහන්සේ

දඹදිව, රජගහනුවර ප්‍රසිද්ධ නගරයකි. ඒ සමීපයේ උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර නම් බමුණු ගමක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුතු උපතිස්ස නමින් ප්‍රකට විය. ජීවිතය ගැන කලකිරී සිටි උපතිස්ස කුමරුට දිනක් අස්සජි තෙරණුවන් හමු වී ධර්මාවබෝධය ලැබිණි. එතැන් පටන් උපතිස්ස සාරිපුත්ත මහරහතන් වහන්සේ නමින් ප්‍රකට විය.


පණ වගෙයි මට

මගේ ආගම
මගේ ජාතිය
මගේ දීපය
පණ වගෙයි මට...

මගේ පන්සල
මගේ පාසල
මා උපන් බිම
පණ වගෙයි මට

මගේ ගුරුවරු
මගේ නෑයෝ
මගේ යාළුවො
පණ වගෙයි මට


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

ලොව ඇති දාන අතරින් අග්‍ර වන්නේ ධර්ම දානයයි. ධර්ම දානය පිළිබඳව ඔබගේ අදහස් නිර්මාණාත්මකව, කෙටියෙන් අප වෙත ලියා එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා දහම් පඬුරක් පිරි නැමේ.



 

කඨින පින්කම

කේ.ජී. තරුෂ සංදීප
මූලික ශ්‍රේණිය
ප්‍රඥානන්ද මහ පිරිවන මහරගම


 

නාලාගිරි දමනය

ඩබ්. ආනන්ද රක්ඛිත හිමි
2 වසර
ප්‍රඥානන්ද මහ පිරිවන මහරගම