Print this Article


සුත්ත නිපාතයෙන් ... - නිවනින් සැනහී ගිය ධනිය ගෝපාල - ධනිය සූත්‍රය - 2 කොටස

සුත්ත නිපාතයෙන් ...

නිවනින් සැනහී ගිය ධනිය ගෝපාල

ධනිය සූත්‍රය - 2 කොටස

සුත්ත නිපාතයේ සඳහන් ධනිය සූත්‍රයේ මුල් කොටස අප පසුගිය සතියේ ඉගෙන ගත්තෙමු. එහි ඉතිරි කොටස පිළිබඳ ව මෙසේ සිත පහදවා ගනිමු.

භාග්‍යවතුන් වහන්සේගෙන් තවදුරටත් දහම් කරුණු අසනු රිසි වූ ධනිය මෙම ගාථාය පැවසූවේ ය.

අත්තවේතන භතෝ හමස්මි
පුත්තා ච මේ සමානියා අරෝගා
තේසං න සුණාමි කිඤ්චි පාපං
                               අථ චේ පත්ථයසි පවස්ස දේව

හරි හම්බ කරගත්ත - මගේ දෙයින් යැපෙමි
මම ලෙස ම දරුවෝද - ලෙඩ දුකින් තොරයෝ ය
ඔවුන්ගේ කිසි දොසක් -නොම අසමි කිසි දිනෙක
එම්බා වළාවෙනි –කැමැතිනම් වැසි වසිනු මැන!

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙම පිළිතුරු ගාථාව වදාළ සේක.

නාහං භතකෝස්මි කස්සචි
නිබ්බිට්ඨේන චරාමි සබ්බ ලෝකේ
අත්ථෝ භතියා න විජ්ජති
අථ චේ පත්ථයසි පවස්ස දේව

කාගෙවත් ළඟ මෙමා -වැඩ කරන්නෙක් නො වෙමි
වැඩ රහිත කෙනෙක් ලෙස සැරි සරමි සියලු ලොව
හම්බ කරනා යමක් –ඇවැසි නැත මට කිසිත්
එම්බා වළාවෙනි – කැමැති නම් වැසි වසිනු මැන!

අමා නිවන සාක්ෂාත් කොට, තණ්හා දාස භාවයෙන් නිදහස් වී ලොව්තුරු සමාධි සුවයෙන් තමන් වහන්සේ වසන ආකාරය භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවෙන් පහදා දුන් සේක. එවිට ධනිය ඉතා සතුටු වී තව තවත් කරුණු දැන ගනු කැමැතිව මෙසේ පැවසුවේ ය.

අත්ථි වසා අත්ථි ධේනුපා
ගෝධරණීයෝ පවේණියෝපි අත්ථි
උසභෝති ගවම්පතීධ අත්ථි
අථ චේ පත්ථයසි පවස්ස දේව

තරුණ වස්සෝ ද වෙති - චූටි පැටවුද වෙති
ගැබ් දරන දෙන්නු වෙති - පට්ටි ගවයෝ ද වෙති
වැඩුණු ගවයන් ඇතුළු - මහා වස්සෝ ද වෙති
එම්බා වළාවෙනි, - කැමැති නම් වැසි වසිනු මැන!

භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථාවකින් මෙසේ වදාළ සේක.

නත්ථි වසා නත්ථි ධේනුපා
ගෝධරණියෝ පවේණියෝපි නත්ථි
උසභෝවි ගවම්පතිධ නත්ථි
අථ චේ පත්ථයසි පවස්ස දේව

තරුණ වස්සෝ ද නැත – චූටි පැටවුන්ද නැත
ගැබ් දරණ දෙනුන් නැත - පට්ටි ගවයින් ද නැත
වැඩුනු ගවයන් ඇතුළු – මහා වස්සෝ ද නැත
එම්බා වලාවෙනි – කැමැතිනම් වැසි වසිනු මැන!

” ධනිය, ඔබ ශෝකය ඇතිවන ගව සම්පත් ආදිය ඇතැයි සතුටු වන්නේ ය. මම මේ කාම සම්පත් ඇතුළු සියලු දේ එක්රැස් කිරීම් හා නො බැෙඳන ඒවා නැතැයි සතුටු වෙමි. එබැවින් සියලු බැඳීම්වලින් සතුටුවන තථාගතයන් වහන්සේට කැමති නම් වැසි වසින්නයි කීම සුදුසු ය” කියා එම ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ පහදා දුන් සේක. ඒ අසා ධනිය තවදුරටත් යහපත් දේ තුළින් වටිනා හරයක් ලබනු කැමැතිව මෙසේ පැවසී ය.

ඛීළා නිඛාතා අසම්පවේධ්
දාමා මුඤ්ජමයා නවා සුසන්ඨානා
නහි සක්ඛින්ති ධේනුපාපි ජෙත්තුං
අථ චේ පත්ථයසි පවස්ස දේව

නො සෙල්වෙන ලෙස කණුද - හොඳින් සිටුවා තිබේ
මුදු කණින් කළ සොඳුරු කඹවලින් බැඳ තිබේ
චූටි පැටවුන්ට එය - සිඳලන්ට නො හැකිමය
එම්බා වළාවෙනි, කැමති නම් වැසි වසිනු මැන!

එවිට භාග්‍යවතුන් වහන්සේ නිකෙලෙස් බව ගැන

සිංහ නාදයක් පවත්වමින් මෙසේ වදාළ සේක.

උසභෝරිව ජෙත්ව බන්ධනාති
නාගෝ පුතිලතං ව දාළයිත්වා
නාහං පුන උපෙස්සං ගබ්භ සෙයි්‍යං
අථ චේ පත්ථයසි පවස්ස දේව

හැම බැඳුම් බිඳ දැමූ - මහා වස්සකු විලස
ඇත් රජෙක් සිඳ දමන – දිරා ගිය වැලක් ලෙස
නො එන්නෙමි යළිත් මම – මව් කුසක නිදන්නට
එම්බා වළාවෙනි, කැමතිනම් වැසි වසිනු මැන!

භාග්‍යවතුන් වහන්සේ දෙසූ එම ගාථා රත්නයේ අර්ථය සුත්තනිපාත අටුවාවේ අට්ඨ කථාවේ විවරණය කොට ඇත්තේ මෙලෙසිනි.

”ධනිය, මම බැඳුම් පිළිකුල් කරමින් , බලවත් වෙර වීරියෙන් යුතුව භව සංයෝජන සිඳ දමා, රසකිඳ වැල සිඳබිඳ දමන රජෙකු මෙන් කෙලෙස් සිඳ බිඳ දැමු හෙයින්, නැවත මව් කුසකට නො පැමිණෙන්නෙමි. එනිසා මම ඉපදීම ආදී කොට ඇති සියලු දුක්වලින් මිදීමෙන් තුටු වී කැමැති නම් වැසි වසින්න කියා පවසමි” කියා ය. එවිට ධනිය මෙසේ සිතන්නේ ය. “ භාග්‍යවතුන් වහන්සේ හැර අන් කවරෙක්නම් මෙවැනි සිංහ නාදයක් පවත්වන සේක් ද? ඒ උතුම් ශාස්තෘන් වහන්සේ මෙහි වැඩ සිටින සේක” යනුවෙනි. එවිට භාග්‍යවතුන් වහන්සේ සවණක් රැස් මාලාවන් විසිතුරු වූ සිරුරෙන් ආලෝක ධාරාවක් ධනියගේ නිවසට මුදාහළ සේක. එකනෙහි ම මහා වැස්සක් ද ඇද හැලුණි. ජලයේ හැම තැනම පිරී ඉතිරි යන මහා වැසි ඇද හැලුණත්, බුද්ධානුභාවය නිසා ධනිය, බිරිය සහ ගවයින්ට ජල ගැලීමෙන් කිසිදු පීඩාවක් සිදු නො විය. අතිශයින් ම සතුටට මෙන්ම පී‍්‍රතියට පත් ධනිය, මෙසේ පැවසූවේ ය.

ලාභෝ වත නෝ අනප්පකෝ
යේ මයං භගවන්තං අද්දසාම
සරණංතං උපේම චක්ඛුම
සත්ථා නො හෝහි තුවං මහාමුනි

සැබවින්ම අපට නම් – මහත් වූ ලාභයකි
ඇස් පුරා දැක ගනිමු - අපගේ භාග්‍යවතුන්
නැණස් ඇති සමිඳුනේ – අපි ඔබ සරණ යමු
අප සියලු දෙනා හට - ශාස්තෘ වනු මැනව!

මෙහි දී ධනිය දූ පුතුන් සමඟ දෑසින් ම භාග්‍යවතුන් වහන්සේ ගේ රූප කාය දුටුවේ ය. උන්වහන්සේ දුටු විට ඒකාන්තයෙන් ම භාග්‍යවතුන් වහන්සේ අපි දුුටුවෙමු. එය අප ලැබූ මහත් ලාභයකැයි “ ඔවුහු උදම් ඇනුවෝ ය. ධනිය ගෝපාල දූ පුතුන් සමඟ අචල ප්‍රසාදයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ සරණ ගියේ ය. සියලු දෙනා සෝතාපන්න ශ්‍රාවකයින් බවට පත් වූ අතර, ධනිය සහ බිරිය භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් පැවිදි බව ඉල්ලා සිටියේ මෙසේ ය.

ගෝපි ච අහඤ්ච අස්සවා
බ්‍රහ්මචරියං සුගතේ චරාමසේ
ජාති මරණස්ස පාරගා
දුක්ඛස්සන්තකරා හවාමසේ

ගෝවින් සමග මම – කීකරුව වසන්නෙමු
සුගතයන්ගේ සසුන් – බඹසරෙහි සරන්නෙමු
මැරෙන ඉපදෙන ලොවේ – එතෙරට දුවන්නෙමු
සියළු දුක්වල නිමාවක් -මෙහි ම කරන්නෙමු

මෙසේ කියා නැවත ඔවුහු දෙදෙනම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට “අප පැවිදි කරන සේක්වා” යි ඉල්ලුහ. ඒ දෙදෙනා පැවිද්ද ඉල්ලන ආකාරය දුටු පවිටු මාරයා “මොවුහු ධර්මාවබෝධය කොට මගේ බලය ඉක්මවනු කැමැති වෙති. එනිසා ඔවුන්ට අනතුරක්, පැවිද්දට බාධවක් කරමියි” සිතා එහි ගොස් ගිහි ගෙයි ගුණ දක්වමින් මෙසේ කී ය.

නන්දති පුත්තෙහි පුත්තිමා
ගෝමිකෝ ගෝහි තථේ්ව නන්දති
උපධීහි නරස්ස නන්දනා
න හි සෝ නන්දති යෝ නිරූපධී

සතුටු වෙයි පුතුන් නිසා - ලොව් පුතුන් සිටින කෙනා
ගව හිමි තුටු වෙයි එලෙසින් –හරකාබාන සිටින නිසා
මිනිසා හට කෙලෙස්වලින් - සතුටක්ම ය ලැබ දෙන්නේ
යමෙක් කෙලෙස් රහිත වේ ද - ඔහු සතුටින් නොව ඉන්නේ

එවිට භාග්‍යවතුන් වහන්සේ මොවුන්ට පවිටු මාරලයා අනතුරක් පිණිස පැමිණියේ යි දැන මාරයා පැවසූ උපමාව ගෙන මාරයාගේ මතය බිඳලමින් මෙසේ පෙරළා වදාළ සේක.

සෝචති පුත්තේහි පුත්තිමා
ගෝමිකෝ ගෝහි තථේව සෝචති
උපධීහි නරස්ස සෝචනා
න හි සෝ සෝචති යෝ නිරූපධී’ති

ශෝක වෙයි පුතුන් නිසා - ලොවේ පුතුන් සිටින කෙනා
ගව හිමි දුක් වෙයි එලෙසින් – හරකබාන සිටින නිසා
මිනිසාහට කෙලෙස් වලින් – ශෝකයම යි උපදින්නේ
යමෙක් කෙලෙස් රහිත වේ ද – ඔහු ශෝකෙන් නොව වෙසෙන්නේ

මෙසේ පි‍්‍රයමනාප දෙයින් වෙන් වෙන්නට සිදුවීමෙන් ශෝක හුලෙන් පහර කන බව ඉස්මතු කරමින් ඇතැමෙක් උමතු බවට ද, මරණයට ද, පත්වීමට හේතුවන කාම සම්පත්වල නිසරු බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙම දේශනාව අවසානයේ දී ධනිය ගෝපාල සහ ඔහුගේ බිරිඳ සසුන් ගත ව නිවන් සුව ලබා ගත් සේක.