Print this Article


අධි සිල් ලබා 60 වන විය සපුරන මාරකඩ සුමනසිරි නාහිමි

අධි සිල් ලබා 60 වන විය සපුරන මාරකඩ සුමනසිරි නාහිමි

පලුගස්වැව නාමල්පුර ඓතිහාසික ටැම්පිට රජ මහා විහාරය, නිට්ටඹුව ,දෙබහැර ශ්‍රී ජනනන්දනාරාම පුරාණ විහාරය, මීවිටිය ශ්‍රී බෝධිඅංගනාරාම පුරාණ විහාරය ,පස්යාල මැදිවත්ත බෞද්ධ මධ්‍යස්ථානයන්හි ආධිපත්‍ය දරණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පොළොන්නරුව ප්‍රාදේශීය සංඝ සභාවේ අධිකරණ සංඝ නායක (අනුවිජ්ජක) මුළු දිවයිනටම සාමවිනිසුරු මාරකඩ සුමනසිරි නාහිමිපාණන් වහන්සේගේ උපසම්පදාවෙන් හැට වෙනි වස නිමිති කරගෙන දැනට උන්වහන්සේ වැඩ සිටින නාමල්පුර ඓතිහාසික පුරාණ ටැම්පිට රජමහා විහාරස්ථානයේ දී මෙම මස 05,06 යන දෙදින තුළ පින්කම් මාලාවක් සිදුකිරීම සඳහා තත් විහාරස්ථානයන්හි සියලු දායක සභා සහ උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා විසින් සංවිධානය කොට ඇත.

එම පින්කමට සමගාමීව දෙබහැර ශ්‍රී ජනනන්දනාරාම පුරාණ විහාරස්ථානය නියෝජනය වන නිට්ටඹුව සංඝ සභාවෙන් උන්වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක රාජකීය පණ්ඩිත,අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේ විසින් පිරිනමන ලද ගෞරව නාම, සම්මුති අක්තපත්‍ර ප්‍රදානය කිරීම නාමල්පුර මඩවල මහාවිද්‍යාලයේ විදුහල්පති ඩී.බී.ඉලංගසිංහ මහතා සහ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රදානය කිරීමට නියමිත ව තිබිණි. උත්සව සභාවේ මුලසුන උතුරුමැද පළාත් සංඝ නායක අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පොතානේ ධම්මානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර එම උත්සව සභාව ප්‍රාදේශීය මහසඟ රුවන සහ මැතිඇමතිවරු ආදි ආරාධිත ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

ශාසනික ගෞරවනාම සම්මුති පත්‍රයෙන් 06 වන දින පිදුම් ලබන නාහිමිපාණන් වහන්සේ ප්‍රදේශයේ සහ පළාතේ විශාල සාසනික හා සමාජීය මහත් මෙහෙවරක් ඉටුකරනු ලබන දැනට අසූ දෙවසක් ආයු වළඳමින් නිරෝගීව වැඩ සිටින අතර උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමි.