Print this Article


විසිවැනි සියවසේ ආශ්චර්යමත් මිනිසා

විසිවැනි සියවසේ ආශ්චර්යමත් මිනිසා

විසිවැනි සියවස තුළ මෙරට බිහි වූ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් අග්‍රගණ්‍ය පඬිවරුන් අතර මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා සිටියි.

එතුමා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පෙරදිග අධ්‍යයන විද්‍යාලය වෙතින් (School of Oriental Studies, University of London) ශාස්ත්‍රපති (M.A) සහ ශාස්ත්‍රසූරි (Ph.D) උපාධි එකවර ලබාගැනීමට සමත් විය. මෙය එදා මෙදාතුර එම විශ්ව විද්‍යාලයේ නොබිඳිය හැකි වාර්තාවක් ලෙසද සැලකේ.

ඉන් අනතුරුව 1926 කොලඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වන එතුමා නාලන්දාවෙහි අතිශය කීර්තිමත් යුගයක් නිර්මාණය කිරීමට සමත්විය. ඉන් අනතුරුව 1927 දි ලංකා විශ්ව විද්‍යාල විද්‍යායතනයේ (Ceylon University College) සිංහල පාලි සහ සංස්කෘත කථිකාචාර්යවරයකු වශයෙන් පත්වී 1938 දී ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙතින් සාහිත්‍යසූරි (D.Litt) උපාධිය ලබා එම විශ්ව විද්‍යාලයෙහි ම පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ මහාචාර්ය ධුරයට පත්ව 1942 දී ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රාචීන අධ්‍යයන පීඨයෙහි පීඨාධිපතිවරයා වශයෙන් පත්විය.

සිය අසමසම බුද්ධි මහිමයෙන් නිසි ප්‍රයෝජන ගත් එතුමා 1956 දී බෞද්ධ විශ්වකෝෂයේ (Encyclopedia of Buddhism) ප්‍රධාන කර්තෘවරයා බවට පත්වී විශිෂ්ට සේවාවක් සිදුකළේ ය. සෝවියට් දේශය, කැනඩාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක තානාපති වශයෙන් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික කාර්යභාරයක් ඉටුකළ මහාචාර්ය මලලසේකර මහතා එ.ජා. සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධුරය ද හෙබවී ය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ලේකම් සහ සභාපති ධුරය ද ඉසිලූ හෙතෙම 1950 දී ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කොට එහි ප්‍රථම සභාපති වශයෙන් වසර 08 ක් කටයුතු කළේ ය. ඔහු ලියා පළකළ විශිෂ්ට ග්‍රන්ථ අතර ඉංගී‍්‍රසි සිංහල ශබ්දකෝෂය සහ ඉංගීසි භාෂාවෙන් ලියා පළකරන ලද බෞද්ධ විශ්වකෝෂය ද වෙයි.

සිය උපන්බිම තුළ බෞද්ධ නායකයකු ද, දේශපාලනය නොකළ ජාතික නායකයකු ද ලෙස ඔහු හැමකල්හි ම දීප්තිමත් ව බැබළුණේ ය. ඩී.බී. ධනපාල ශූරින් සඳහන් කළාක් මෙන්, ස්වකීය ජනකාන්ත පෞරුෂය තුළ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණත්වයත් , පෞද්ගලික ආකර්ෂණයත් හා එකට යා කළ එක් මිනිසෙක් වී ද, හේ තෙමේ මලලසේකර විය.

සැබවින් ම, ගුණපාල මලලසේකර යනු, විසිවැනි සියවසේ ශ්‍රී ලංකාව විසින් බිහිකරන ලද ජගත් පරිමාණයේ ආශ්චර්යමත් මිනිසෙක් වූයේ ය.

(මෙම ලිපිය දිවංගත මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම නොවැම්බර් 09 දිනට යෙදී තිබීම නිමිත්තෙනි)