Print this Article


පිරිත් දේශනාව - 28 : ආලවක සූත්‍රය - 2 කොටස

ආලවක සූත්‍රය

2 කොටස

කුස රජ්ජුරුවන්ගේ බිරිඳ වු ප්‍රභාවතිය පැහැර ගැනීමට සතුරු රජවරු පැමිණි විට කිසිවෙකුට තම බිරිඳ පැහැර ගැනීමට අවස්ථාව නොදෙන බවට කුස රජ්ජුරුවෝ කළ අභීත නාදය මුළු දඹදිව පුරා පැතිර ගියේ ය.

තමාගේ අවසරයක් නොමැති ව තම වාසස්ථානයට ශ්‍රමණයෙකු පැමිණියේ කෙසේ දැයි ආලවක කළ ගෝරනාඩුව මුළු දඹදිව පුරා පැතිර ගියේ ය.

දඹදිව පුරාම පැතිර යන ඝෝෂාවක් කළ ද බුදුරදුන් බියට පත් කිරීමට නොහැකි විය. මින් පසු ආලවක බුදුරදුන් පළවා හැරීම සඳහා නව විධ වර්ෂාවක් පතිත කළේ ය.

ආලවක සුළඟක් මැවී ය. සුළඟ ගස්, ගල්, පර්වත උදුරා දමන වේගයෙන් දසත පැතිර ගියේ ය. එහෙත් බුදුරදුන්ගේ චීවරයේ කොනකුදු නොසෙල්විණි.

වර්ෂාවක් පතිත කරවන ලදී. පොළොව හෑරෙන තරම් වේගයෙන් වහලවල සිදුරු සෑදෙන තරම් ප්‍රබල ව වැහි කැට පොළොවට වැටුණත් කිසිවෙකුට හානියක් නොවී ය. බුදුරදුන්ගේ චීවරයේ එක කොනක්වත් නොතෙමිණි.

ගල් වර්ෂාවක් පතිත කරවන ලදී. එ්වා බුදුරදුන් පාමුල සුවඳ මල් වී පතිත විය.

ආයුධ වර්ෂාවක් පතිත කරවන ලදී. අහසෙහි දිලුන ආයුධ බුදුරදුන්ගේ දෙපාමුල දිව්‍ය මල් වී පතිත විය.

අඟුරු වර්ෂාවක් පතිත කරවන ලදී. අඟුරු ද බුදුරදුන්ගේ දෙපාමුල දිව්‍ය මල් වී පතිත විය.

අළු වර්ෂාවක් පතිත කරවන ලදී. අළු ද බුදුරදුන්ගේ දෙපාමුල සුවඳ සඳුන් වී පතිත විය.

වැලි වර්ෂාවක් පතිත කරවන ලදී. වැලි ද දුම් දමමින් පැමිණ බුදුරදුන් ඉදිරියේ දිව මල් වී වැටුණාහ.

මඩ වැස්සක් පතිත කරවන ලදී. මඩ ද දුම් දමමින් පැමිණ බුදුරදුන් ඉදිරියේ දිව මල් වී වැටුණාහ.

අන්ධකාරයක් මැවී ය. බුදුරදුන් ඉදිරියට පැමිණ හිරු උදාවූවක් මෙන් අන්ධකාරය ද අතුරුදහන් වී ගියේ ය .

නව විධ වර්ෂාවක් පතිත කරවා ද බුදුරදුන් බියට පත් කිරීමට හෝ ඉන් බැහැර කරවීමට අසමත් වූ ආලවක තමාට හිමි ආයුධය මුදා හැරීමට තීරණය කළේ ය. ලෝකයේ ප්‍රබලම ආයුධ හතරක් දක්නට ලැබේ.

සක් දෙවිඳුන්ගේ වජ්‍රායුධය - සක් දෙවි විසින් කෝප වී වජ්‍රායුධය මහ මෙර මත ගැසුවොත් අට සැට දහසකට අධික කොට ඇති යොදුන් ලක්ෂයක් විනිවිද යට යන්නේ ය. අබ ඇට ප්‍රමාණයට මහමෙර සුනු විසුනු වන්නේ ය.

වෛශ්‍රවණගේ ගදායුධය - වෛශ්‍රවණ විසින් පෘථග්ජන කාලයෙහි ගදායුධය ගසන කල්හි දහස් ගණන් යකුන්ගේ හිස හෙලා නැවත තමන් අතට පත් වේ.

යම රජුගේ නයනායුධය – කිපුණා වූ යම රජු විසින් බැලූ කල්හි රත් වූ කබලකට දමන ලද තල මෙන් මිනිස්සු සුනු විසුණු වන්නේ ය.

ආලවකගේ දුස්සායුධය – ආලවක විසින් මෙය මුදා හළ විට දොළොස් යොදුනක් පුරා ඇති ගස් වැල් ආදිය වියළේ. සමුද්‍රයෙහි යවන්නෙ හි ද සියලු ජලය වියළෙන්නේ ය. මහ මෙරට සම වූ පර්වතයක යොදන්නේ ද පර්වතය සුනු විසුණු වන්නේ ය.

දුස්සායුධය උතුරු දෙසට මුදා හළේ ය. දස දහසක් ලෝකධාතූහි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ අද ආලවක යක්ෂයා දමනය කරන්නේ යැයි එහි රැස් වූහ. ආලවක විසින් මුදාහළ දුස්සායුධය අසනි චක්‍රයක් මෙන් අහසෙහි බිය ජනක ශබ්ද කරමින් දුම් දමමින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පාපිස්නාවක් වී පාමුල වැටුණේ ය. මෙය දුටු ආලවකගේ කෝපය අසීමිත විය. අං කැඩුණු ගවයෙකු මෙන් ම උදුරන ලද දළ ඇති සර්පයෙකු මෙන් ද තේජස් රහිත වූ දුස්සායුධය ශ්‍රමණයා අභිබවනය නො කළේ කුමක් නිසා ද මෙහි හේතුව ශ්‍රමණයා මෛත්‍රී විහරණයෙන් යුක්ත වීමයි. එසේ නම් අනිවාර්යයෙන් ම ඔහු කෝපාවිශ්ඨ කිරීමෙන් මෛත්‍රියෙන් වෙන් කරමි යැයි සිතී ය.