UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ කලාශිල්ප

බෞද්ධ කලාශිල්ප

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

පුරාණ ශ්‍රී ලංකාවේ කලාශිල්ප සමස්තයක් ලෙසින් විමසීමේ දී එයින් ඉතා විශාල සංඛ්‍යාවක් බෞද්ධ ස්වරූපය දරණ බව ඉතා ප්‍රකට කරුණකි. මේ පිළිබඳ ඉතා ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය නන්දදේව විජේසේකර මහතා මෙසේ සඳහන් කරයි.

“මහින්දාගමනයට පසු අසෝක රාජ සමයේ දී ම බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කිරීමත් සමඟ ශිල්ප ශ්‍රේණි දහඅටක් පැමිණි බව වංසකතාවල සඳහන් වෙයි. බෞද්ධ කලාශිල්ප පිළිබඳ නිසැකව ම ආදර්ශයට ගන්නට ඇත්තේ භාරුත් සාංචි, බුද්ධගයා යන පුදබිම්වල පිහිටි වෙහෙර විහාර දාගැබ්වල මූර්ති කැටයම් මෝස්තර ය. ඉන්දියාවේත් (පුරාණ දඹදිව) එකල ඇති පූජනීය වස්තු ලෙසට සලකා ඇත්තේ ස්තූපය සහ බෝධිය යි. මෙ රට පළමුවෙන් ම ථූපාරාම දාගැබ සෑදු බව වංසකතාවල සඳහන් වේ. මෙය පුරාණ දඹදිව සාංචි දාගැබේ රූපකාරය හා අලංකාරය හොබවන සේ නිර්මාණය කර ඇත. පසුකාලවල දී සංරක්ෂණය කිරීම නිසා වෙනස් විය. දේවානම්පියතිස්ස රජුට පසු රජවරුන්ගේ වෑයම වූයේ වැඩිවැඩියෙන් විශාල දාගැබ් සෑදීම යි.මිහින්තලේ මහාස්තූපය, කණ්ඨක චේතිය, මිරිසවැටිය, රුවන්වැලිසෑය ,අභයගිරිය, ජේතවනය ආදී දාගැබ් විශාලත්වයෙන් ඉන්දියාවේ ස්තූප අභිබවා සිටී. ඉන්දියාවේ ස්තූපයක වාහල්කඩත්, තොරණත්, මූර්ති කැටයම් නිර්මාණයට සුදුසු විය. පූජනීය ගොඩනැගිලි ලෙස ආසන ඝර, බෝධිඝර, ප්‍රතිමාඝර (පිළිම ගෙවල්) ආදිය නිර්මාණය කර තිබේ.

මූර්ති කලාව පුරාණ සිංහලයාගේ සහජ දස්කම් පෙන්නුම් කරන පැරැණි ප්‍රතිභා පූර්ණ මාධ්‍යයක් වී ඇත.

පැරැණිතම මූර්ති කැටයම්

පුරාණ ලංකාවේ පැරැණිතම මූර්ති කැටයම් දක්නට ලැබෙන්නේ මිහින්තලේ නැගෙනහිර වාහල්කඩ මූර්ති කැටයම්වල ය. එහි ගල් කණුවල නෙළා ඇති රූ සටහන් රැසකි.

පසුකාලවලදී නෙයෙක් විට දාගැබ් නිර්මාණයේ දි වාහල්කඩවල දක්නට ලැබෙන මෝස්තර, මූර්ති කැටයම් මෙහි දක්නට ලැබේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත්, සාංචි සහ බුද්ධගයාවේ ශිලා මූර්ති කැටයම්වලට ඉතා සමාන සබඳකම් කණ්ඨක චේතියේ මූර්ති කැටයම්වල දක්නට ලැබේ. එම මූර්ති කැටයම්වල පැතලි ස්වරූයක් ඇත. අල්ප උන්නත ය. පුන්කලස්, මල් කළඹ, සිංහ, ඇත්, අශ්ව, ගව රූප මාරුවෙන් මාරුවට මෙම තීරුවල දක්නට ලැබේ. (තෝරාගත් ලිපි සංග්‍රහය ආචාර්ය නන්දදේව විජේසේකර පි. 106-1967)

පුරාණ ශ්‍රී ලාංකික මූර්ති කැටයම් ශිල්පීහු සිය නිර්මාණ සඳහා ගල් (ශිලා) දැව (ලී) මැටි ලෝකඩ ඇත්දළ සහ තවත් නොයෙක් අමුද්‍රව්‍ය භාවිත කර ඇත. මේවා අතරින් අද වඩාත් ආරක්ෂා වී ඇත්තේ ගලින් හා ලෝකඩවලින් නිර්මාණය කරන ලද මූර්ති කැටයම් ය.

මූර්ති කැටයම්වල විකාශය

ඉතා පැරැණිතම මුරගල් නමින් මෙකල හඳුනාගෙන ඇති එම නිර්මාණ මුල් කාලයේ දි ඉතා සරල වු ලෙසින් දැවයෙන් සාදන්නට ඇත. පුරාණ පුදබිම්වලින් හමුවන ඉතා පැරැණිතම සඳකඩ පහන ඉතා සරල වන අතර ඒවායේ අර්ධ කවාකාර ස්වරූපය ද නිර්මාණය වී ඇත්තේ පසුකාලීනව ය. මේ බව මෙම සඳකඩපහණ සහ මුරගල්, කොරවක්ගල් ආදිය පිළිබඳ විමසා බලන විට පැහැදිලි වන කරුණකි. (පැරැණි හෙළ කලා විස්කම් සිරිසමන් විජේතුංග පි. 16-18 දෙවැනි මුද්‍රණය -2017 සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ)

පුරාණ කාලයේ බෞද්ධයන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තම ශ්‍රද්ධාව ප්‍රකාශ කළේ බුද්ධත්වය ලබා ගැනීමට භාග්‍යවතුන් වහන්සේට ඉවහල් වූ බෝධි වෘක්ෂයට ගෞරව දැක්වීමෙනි. සාමාන්‍ය මහජනයා අතර පැතිර පැවැති බුද්ධාගමේ මේ ලක්ෂණය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයට වැඩම කරවා මහමෙවුනා උයනේ උඩමළුවෙහි උත්සවශ්‍රීයෙන් රෝපණය කිරීමෙනි. එම ශී‍්‍ර මහා බෝධි ශාඛාව රෝපණය කරන ලද්දේ මාලකයක ය. සාංචියේ සහ අමරාවතියෙහි මූර්ති කැටයම්වල දක්නට ලැබෙන වර්ගයේ ගෘහයක් පසුකාලයේ දී ඒ ශාඛාව වටා ද ගොඩනගන ලදී. එපමණක් නොව මේ ජය ශී‍්‍ර මහා බෝධි ශාඛාව වටා ගරාදි වැටක් ද උතුරු පැත්තේ දොර කොටුවක් ද කරවන ලදී. සතර පැත්තේ දොරටු සතරෙහි ගල්කණු තිබුණේ ය. ඒ ගල් කණු මුදුණේ ධර්මචක්‍ර රූප විය. දකුණු දොරටුව අසල සෙල්මුවා සිහසුනක් ද විය. අනුරාධපුරයේ බෝධිඝරයේ සැලැස්ම (බෝධින්වහන්සේට සාදන ලද ගෘහය) පිළියෙල කරන ලද්දේ මුල්කාලයේ බුද්ධගයාවේ තිබුණු බෝධිඝරය අනුකරණය කිරීමෙන් බව පෙනෙයි. පසුකාලයේ දී කරන ලද ප්‍රතිසංස්කරණ නිසා ඒ පැරැණි ලක්ෂණ මැකී ගොස් ඇත.

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය – 1 කොටස ආගම හා කලාශිල්ප – මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 249 1964 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයේ සිංහල පරිවර්තනය )

මීට වසර දෙදහස් තුන්සිය විසිපහකට ඉහත දී මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩමකර මාස කීපයකට පසුව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලංකාවට වැඩම කරවන ලදී. අපේ පුරාණතම සජීවි පූජ්‍ය වස්තුව වූ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ආශි‍්‍රතව කලා ශිල්ප සහ අප රටේ පුදබිම් රැසක් ම නිර්මාණය වූයේ ය.

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

දහ නවවන සියවසේ මුල් භාගයේ මෙරට සේවය කළ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙකු මෙන් ම ඉතිහාසඥයෙකු වූ ද ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඓතිහාසික වටිනාකම ගැනත්, මහානුභාවසම්පන්න භාවය ගැනත් බොදු සැදැහැවතුන්ගේ අසීමිත භක්ත්‍යාදරය ගැනත් 1860 දී ඔහු විසින් ලියන ලද “ශ්‍රී ලංකාව“ නමැති ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේ ය. “මෙම පැරැණි ඓතිහාසික නගරය විටින් විට ප්‍රපාතයට වැටී ඇතත් එහි ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නේ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ එහි වැඩ සිටින නිසා ය. ලංකා ඉතිහාසයේ ඉතාමත් ශ්‍රේෂ්ඨ අවස්ථාව ලෙස ගැනෙන්නේ මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කිරීම ය. සෑම අතින් ම බලන විට අනුරාධපුරයේ ඇති බෝධින් වහන්සේ ලෝකයේ ම ඇති ඉතාමත් ම පැරැණි ඓතිහාසික වෘක්ෂය ය. බුදුරජාණන් වහන්සේ නමින් පුදනු ලබන වෙහෙර විහාර විනාශ කර ඒවායේ නිධන්කර තිබු වටිනා වස්තූන් පැහැර ගෙන ගිය අතර ශ්‍රී මහා බෝධින් වහන්සේට පමණක් ආක්‍රමණිකයන් විසින් හානි නොකර විනාශ නොකර තිබෙන්නට ඉඩ හරින ලදී. ශී‍්‍රමත් ටෙනන්ට් ගේ ග්‍රන්ථයේ තවදුරටත් මෙසේ සඳහන් වේ. මෙම වෘක්ෂයේ වර්තමාන තත්ත්වය අනුව එය ඉතා පැරැණි බව හැගී යයි. හිතුමනාපයට සීමාවෙනුත් පිටතට වැඩී ඇති අතු ද, ඒවාට රුකුල් වශයෙන් තනා ඇති කණුද බෝධින් වහන්සේගේ කඳ පවා නොපෙනෙන ආකාරයෙන් බැඳ ඇති ප්‍රාකාර වලින් ද කාලාන්තරයක් තිස්සේ සැදැහැවතුන්ගේ පාදයන්ගෙන් ගෙවී ඇති පියගැට පෙළ ද බෝධින් වහන්සේ වටා ඇති කැටයම් ආදිය ද විදහා පෙන්වන්නේ ව්‍යාජ වස්තුවකට කිසිදා නොලැබෙන සදාකාලික භක්ත්‍යාදර ගෞරවයකින් මෙම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රැක බලාගත් බවත් එයට වැඳුම් පිදුම් කරන්නේ ද සැදැහැසිතින් ඉක්මගිය සෙනෙහසින් බවත් ය.

(ජය සිරි මහ බෝ සිරිත – ජයසිරි මහ බෝමැඩ මෑත කාලීන සංවර්ධනය කේ.එච්.ජේ.විජේදාස පි. 103- ප්‍රකාශනය රන්වැට අරමුදල රන්වැට අරමුදලේ සටහන – 2007

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]